Sunday 12th of July 2020

English Tamil
Advertiesment


ආසාදිතයින් සොයන්න නාවික හමුදාව යෙද වූයේ කවුද..?


2020-05-20 3355

එසේ කළේ සෞඛ්‍ය-වෛද්‍ය නිර්දේශ මතද..?

 

ඔවුන් නිරෝධායනය නොකර නිවෙස්වලට යැව්වේ ඇයි..?
 

අපරික්ෂාකාරී ලෙස මෙවැනි තීන්දු ගත්තේ කවුද..?
 

බෝල පාස් නොකර රජය පිළිතුරු දිය යුතුයි 

 

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩුවට ප‍්‍රශ්න පත‍්‍රයක්..! 

 

ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ඇතුළු පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් තොරව නාවික හමුදාවේ රණවිරුවන් COVID-19 ආසාදිතයින් සෙවීම සඳහා යෙද වූයේ කවුරුන්දැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක සහ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අඟහරුවාදා (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කර සිටියේය.

කොළඹ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් ඇතුළු පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් තොරව නාවික හමුදාවේ රණවිරුවන් COVID-19 ආසාදිතයින් සෙවීම සඳහා යෙද වූයේ කවුරුන්ද..? කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැතිව මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතුයි.

කොරෝනා ආසාදිතයින් සෙවීමේ කටයුතු සදහා ඒ පිළිබද නිසි අවබෝධයක් නැති, සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කටිටල පවා නොමැතිව අහිංසක නාවික හමුදා නිලධාරින් යෙදවුයේ ඇයි..? අනතුරුව ඒ නාවික හමුදා නිලධාරින් ගම්වලට යැවීමට අවසර දුන්නේ කවුද..? මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළා යැයි කිසිසේත් විස්වාස කරන්න බැහැ. මම වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අහන්න කැමතියි එතුමාගේ අවසරය ගත්තාද කොරෝනා ආසාදිතයන් සෙවීම සදහා නාවික හමුදාව යොදවන්න. වෛද්‍යවරු අවසර දුන්නාද..? ජනාධිපති කාර්ය සාධන බලකාය අවසර දුන්නාද..? නැත්නම් නාවික හමුදාපති අවසර දුන්නාද..? 

මේ ප‍්‍රශ්නය ඉදිරියේ අද ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින්නේ. අහිංසක නාවික හමුදා නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් නොමැතිව යෙද වූයේ කවුද යන්න බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා නිවේදනයක් නිකුත් කරලා තිබුණා නාවික හමුදාවේ සිටින කොරෝනා ආසාදිතයින් සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ කියා.

අනෙක් කාරණය ජනවාරි මාසයේ ගුවන් තොටුපොළ වසා දමන ලෙසට අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව ඊට පිළිතුරු දුන්නේ හාස්‍යයෙන්. නමුත් එලෙස කි‍්‍රයා කළ අනෙක් රටවල් අද සාර්ථකව කොරෝනා වසංගතය මර්දනය කරලා.  රජය ගුවන්තොටපළ වසා නොදමා රජයට ආවඩන මාධ්‍ය ආයතන කිහිපයක් හා එක්ව වීඩියෝ පටයක් නිර්මාණය කළා ශී‍්‍ර ලංකාවේ කොරෝනා නැහැ අපේ රටට එන්න කියලා. ඉන්පසු බොහෝ පිරිසක් අපේ රටට එන්න පටන්ගත්තා.  ජනවාරි මාසයේ අග සිට මාර්තු 20 දක්වා කාලයේ තමා මේ අය ශ්‍රී ලංකවාට ආවේ.  සංචාරක මග පෙන්වන්නන් සමග යුරෝපිය සංචාරකයෝ, ඉතාලිය හා මැද පෙරදිග සිට පැමිණි අය, ව්‍යාපාරිකයන්, ඉන්දියාවට ගිය වන්දනාකරුවන් ආදි සති 6ක කාලයක් තිස්සේ මෙරටට ආ පිරිස් සම්බන්ධව ගුවන්තොටුපලේදි කිසිම පරීක්ෂණයක් සිදු කළේ නැහැ. මේ සති 6 දි තමයි අපේ රටට කොරෝනා පැමිණියේ.  පළමු කොරෝනා රෝගින් සියය විදේශීකයින්. නිසි වෙලාවට ගුවන්තොටුපළ වසා දැමුවා නම් අපේ රට සුරක්ෂිත වෙන්න තිබුණා. මාර්තු 17 රටේ නායකයා ඇහුවා කොරෝනා රෝගින් 28ක් තියා ගෙන රට වහන්න පුලුවන්ද කියා. මේ ගැන මාධ්‍ය හෙළි කරන්නේ නැහැ. 

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ නිසා. එත කොට මේ සියලු කරුණු හෙළදරව් වෙනවා. කොරෝනා තිබෙන හැම රටකම පාර්ලිමේන්තුව කි‍්‍රයාශීලි දායකත්වයක් දක්වනවා. මේ සියලු ප‍්‍රශ්න සාකච්ඡා කරලා විසදුම් ලබාදෙන්න තිබුණා. නමුත් ජනවාරි සිට මාර්තු දක්වා ආණ්ඩුව කළේ දේශපාලනය පමණයි.  එක්සත් ජාතික පක්ෂයේ බෙදිල්ල වාසියක් කර ගෙන නාම යෝජනා ගන්න ආණ්ඩුව මාර්තු වෙනකන් කළේ දේශපාලනය. කොරෝනා මර්දනය නෙමේ. ආණ්ඩුව වැරුද්ද භාර ගන්න  ඕන නිහතමානිව. 

ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා අපිව විවේචනය කරන බලපැම් කරන ජාත්‍යන්තර සංවිධාන සමග තිබෙන සම්බන්ධතා නවත්වනවා කියා. මම අහන්න කැමතියි එම් සී සී ගිවිසුම අහෝසි කරනවාද..?  මොකද අපේ රටට බලපැම් කරන සංවිධාන පිටු පස සිටින්නේ ඇමරිකාව හා බටහිර රටවල්. 

වත්මන් තත්ත්වය හමුවේ ඉදිරි මහ මැතිවරණය ජයග‍්‍රහණය කළ හැකිදැයි යන්න මෙහිදි මාධ්‍යවේදින් විමසා සිටී අතර ඊට පිළිතුරු ලබා දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය. 

මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත් වුණේ නොවැම්බර් මාසයේ. මේ වෙනකන් කරපු එක දෙයක් කියන්න පුළුවන් නම්. යහපාලන ආණ්ඩුවේ දින සියයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප‍්‍රශ්න කළාම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන්වලින්. 

අපිට සතුරෝ නැහැ. මත ඉදිරිපත් කිරිම් පමණයි. ගැටුම් නැහැ.  අපිට ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂයේ සමහරු ආණ්ඩුවට එක් වෙන්න බලා ගෙන ඉන්නේ.  සමහරු ආරාධනා එනකන් බලා ගෙන ඉන්නවා. අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. අපිට ජන වරමක් හම්බ වුණොත් අපි ආණ්ඩුවක් හදනවා. පස්ස දොරෙන් ආණ්ඩු හදන්න සමගි ජන බලවේගයට උවමනා නැහැ. තුනෙන් දෙකක් නෙමේ ආණ්ඩුවට 113ක් ගන්නත් බැහැ. ගම්වලට ගිහින් බැලුවම තේරෙයි.   
 
 

Advertiesment