"මිත්‍යා දෘෂ්ටික සංඝ කල්ලියක ග්‍රහණයට නතුව විනාශ වෙමින් පවතින විසි එක් වැනි සිය වසට ගැලපෙන එකම දහම වන බුදු දහම බේරා ගැනීම ලෝක වාසී සියලු සැබෑ බෞද්ධයන්ගේ යුතුකම සහ වගකීම වන්නේ යැයි හිටපු මුදල් සහ ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනය මෙසේය.
පසුගිය දා සී.අයි.ඩී (CID) පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය "සංඝ කල්ලිය" කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතා බහකට ලක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින් වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන සංඝ කල්ලි බුදු රජාණන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදු හාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස් දෙසිය පනහෙන් හත් සිය පනහක්ම මේ කල්ලියට එකතු කර ගෙන එවකට හිටිය අජාසත්තගේ න්යායපත්රයට අනුව බුදු හාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළා.
ඒ වගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් වෙමැනි සංඝ කල්ලි ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැට දාහකට වඩා ප්‍රමාණයක් හන ගහලා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය බුද්ධාගම බේර ගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පොළොන්නරුවේ ගල්පොතේහි සඳහන් වන පොළොන්නරු කථිකාවෙන් මෙහි සත්‍ය අසත්‍ය සොයා ගන්නට පුළුවන්.
ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ උවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් , නූතන ගංජා මුදලාලිලාගේ උවමනාව වෙනුවෙන් තවත් සංඝ කල්ලියක් මේ රට තුළ ඇති වෙලා වොයිස් කට් එකටත් මුදල් ලබා ගන්න, ප්‍රෙස් කොන්ෆරන්ස් එකකටත් මුදල් ලබාගන්න.
ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබා ගන්න මේ සංඝ කල්ලිය යළි වතාවක් අපගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වෙනි සියවසට ගැලපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙන කොට එය මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත් වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමග යවන්නට පවා ආයුධයක් බවට පත් කර ගෙන තියෙන මොහොතක මේ සංඝ කල්ලිය පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි, ඇත්තවශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්.
මමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරීන් ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදු දහම බේර ගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා."
Lanka Newsweek © 2021