Saturday 26th of September 2020

English Tamil
Advertiesment


වසංගතය එක්ක සාගතයකටත් ඉඩ තබනු බැහැ


2020-05-11 6698

මුළු රටේම ආර්ථිකය ඇරියේ ඒ නිසයි 

 

ජන ජීවිතයයි-ආර්ථිකයයි සක්‍රීයව තබා ගනිමින් වසංගතය මර්දනය කරමු

 

ජනයාගේ මානසික සෞඛ්‍ය ගැන ජනපතිගේ විශේෂ අවධානය 

 

පාසල් යළි අරඹන්නේ මෙහෙමයි  

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් යුතුව සියලු පාර්ශවයන් වැඩ කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 

වසංගතයත් එක්ක සාගතයක් ද රටේ ඇති වීමට කිසිසේත් ඉඩ තැබිය නොහැකි යැයි ද, සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි ආරම්භ කළේ ඒ නිසා යැයි ද පෙන්වා දුන් ජනාධිපතිවරයා සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා යුතු යැයි ද තරයේ කියා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කරුණු අවධාරණය කළේ වසංගත මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (11) පැවැත්වූ විශේෂ කරුණු සමාලෝචන රැස්වීමේදීය. 

නාවික හමුදාවෙන් සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනා ගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩ බිම්වලත්, කොළඹ මැණිං වෙළෙඳ පොළ වැනි ජනතාව බහුලව එක් රැස් වන ස්ථානවලත් සිටින පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ සහ වෛරසය පැතිර යාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුම්වත් කිරීමේ ඇති අවශ්‍යතාව සේම  වැදගත්කම ද පෙන්වා දුන්නේය. 

පාසල් දරු දැරියන් හැසිර විය යුතු ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙන මාර්ගෝපදේශ මාලාව සහ එකී නිර්දේශ මත පාසල් යළි විවෘත කිරීමට තිබෙන හැකියාව කෙරෙහිද, පාසල් ඇරඹීමට පෙර ජනමාධ්‍ය මගින් දරු දැරියන් පුළුල් ලෙස දැනුම්වත් කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ. 

විදේශයන්හි අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තාවකාලික වීසා ලාභීන් 3297ක පිරිසක් මේ වන විට රැගෙන විත්, නිරෝධායනයට යොමු කර ඇති අතර විදේශගත පිරිස් මෙසේ යළි ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව සිදු කළ යුතු බවට ද කරුණු අවධාරණය කෙරිණ. 

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු සේම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටලු රැසක් පැන නැගී ඇති අතර විශාල මුදලකට නීති විරෝධි මත්පැන් අලෙවි කෙරෙන බවට කරුණු වාර්තා වෙමින් පවතින බව ආරක්ෂක අංශ මෙහිදී පෙන්වා දුන්නේය. නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් උද්ගත විය හැකි අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීහූ දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්හ. 

නිවාසවල රැඳී සිටීමට සිදු වීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී ඇති නිසා එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මං තීරු ඇතුළු සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතු බව කියා සිටියේය. 

ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බවට ද, කෘෂි අස්වනු කල් තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති  කාර්ය සාධක බලකායට උපදෙස් දුන්නේය. 

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ. 

Advertiesment