Sunday 5th of July 2020

English Tamil
Advertiesment


එජාපය ගොඩනගන රවීගේ යෝජනාවලිය විශ්ව විද්‍යාල ප්‍රජාව අගයති 


2020-05-10 3830

ආර් ප්‍රේමදාසගේ ජන සවියෙන් දිළිදුකම වැඩි වුණා 

 

ලලිත් ඇතුලත්මුදලිගේ මහ පොළෙන් හතර වරිගයක් එතෙර වුණා

 

එජාපය ගොඩනැගිය හැක්කේ ප්‍රේමදාස ගිය පාරේ ද ඇතුලත්මුදලි ගිය පාරේද..?

 

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසන්ධනයක් සිදු කරමින් පාක්ෂිකයා බල ගන්වා පක්ෂය යළි ජයග්‍රහණය කරා මෙහෙයවීමට අදාළව එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය (පෙරස්ත්‍රොයිකාව) විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රධාන ජන සමාජයේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ඇගයීමට ලක් වෙමින් පවතියි. 

දේශපාලන පක්ෂයක් යනු පියාගෙන් පුතාට නායකත්වය උරුම වන බූදලයක් නොව රට ගොඩනගා ජනයා සවි බල ගන්වන ජාතික එකමුතුවක් විය යුතු අතර රට-ජනතාව වෙනුවෙන් දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් තිබේ නම් හද්දා පිටිසර ගමක පොල් කඩන තරුණයකුට වුණත් ඉදිරියට පැමිණීමට අත් වැල සැපයිය හැකි, ජාති සහ ආගම් සේම ඇති-හැකි සහ නැති-බැරි භේදයෙන් තොර සංවිධානයක් විය යුතු බවට රවී කරුණානායක මහතා දරන ස්ථාවරය විශ්ව විද්‍යාල ප්‍රජාව තරයේ අනුමත කර සිටිති.

මේ යෝජනාවලිය ඉතාම වැදගත් සේම අතිශය කාලෝචිත සහ ප්‍රායෝගික බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යන සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ යන මහත්වරු පැවසූහ.

එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් රැක බලා ගැනීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් පිහිටු විය යුතු බවට මෙම යෝජනාවලිය මගින් කර ඇති යෝජනාව අතිශය වැදගත් සහ අනිවාර්ය බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

මේ අතර වැඩි දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් ලෙස ආණ්ඩුවට මුහුණ දීම සඳහා කැඩී බිදී ගොස් තිබෙන එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ සියලු දෙනා එකට ඒකරාශී විය යුතු බවය.   

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින් වෙත එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ඉදිරිපත් කර ඇති එම විවෘත්ත යෝජනාවලිය මෙසේය. 

දේශපාලන පක්ෂයක, සංවිධානයක සහ බලවේගයක නායකත්වය නිර්මාණාත්මක සහ සක්‍රීය භූමිකාවකි

දේශපාලන පක්ෂයක් යනු එම පක්ෂය නියෝජනය කරන කරන ජනයාගේ අභිලාශවලට සීමා වූ ක්‍රියාන්විතයක් නොව සමස්ත පුරවැසියන් ආවරණය වන පරිදි යුක්ති යුක්ත අභිලාෂ ගොඩනගන සහ එම අභිලාශ මුදුන් පමුණුවා ගැනීමට අරගල කරන සංවිධානයකි. ජනයා අධ්‍යාත්මිකව සහ භෞතිකව බල ගන්වන මෙහෙයුමකි. ඊට නායකත්වය දෙන්නා පක්ෂ නායකයා වෙයි. ඔහු ජනතා අභිලාශ නියෝජනය කරනවා පමණක් නොව ඒ අභිලාශ සියල්ල යථාර්තවත් කිරීමට කැප විය යුතුය.

දේශපාලන පක්ෂය භෞතික ආයතනයක් පමණක් නොව ජීවන ශෛලියකි

 

බිම් මට්ටමේ ජනතාව, වෘත්තීයමය නිළධාරී මඩුල්ලක් සහ පක්ෂ නායකයන් වශයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් ස්ථර තුනකින් සමන්විතය.බිම් මට්ටමේ ජනයා ඔනෑම පක්ෂයක වැදගත්ම ස්ථරය වෙයි. බිම් මට්ටමේ ජනයා සහ පක්ෂ නායකයන් සම්බන්ධීකරණය කරන්නේ නිළධාරී  මඩුල්ල විසිනි. දේශපාලන පක්ෂයක් භෞතික ආයතනයක් පමණක් නොව එහි ගුණ සුවඳ ජනතා සිත්සතන්වලට මුදා හරින සංස්කෘතීක ආයතනයකි.

දේශපාලන පක්ෂයක පැවැත්ම  තීරණය වන්නේ පක්ෂය ජනයාගේ හදවතට දැනෙන සහ හැඟෙන ප්‍රමාණයට සාපේක්ෂවය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය   පොදු ජනයාගේ හදවතට දැනෙන සහ හැඟෙන දේශපාලන පක්ෂයක් බවට බවට පත් කළ යුතුය. එසේ නම් එක්සත් ජාතික පක්ෂය සහ ජනයා අතර සම්බන්ධය සුමට කිරීම සදහා අපට කළ හැක්කේ කුමක්ද..?  

 

ප්‍රතිපත්ති සැකසීම

 

01.පොල් කඩන්නාගේ සිට ඉහළම විධායකයා දක්වා සියලුම සමාජ ස්ථර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කතිකාවට සම්බන්ධ කිරීම.

02.ජනමූල පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනැගීම සඳහා පක්ෂ නායකයා සමග උරෙන් උර ගැටී වැඩ කිරීමට සුදුසු වෘත්තීමය නිලධාරී මඩුල්ලක් පත් කිරීම

 

බිම් මට්ට්මේ යාන්ත්‍රණය

 

01.සෑම ක්ෂේත්‍රයක්ම ආවරණ වන පරිදි සාමාජිකයන් බඳවා ගැනීම. පොල් කඩන්නන් ඇතුළු කුලී කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සියලු දෙනා පක්ෂ යාන්ත්‍රණය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක විය යුතුය.

02.එක්සත් ජාතික පක්ෂයේ සියලු ක්‍රියාකාරීන් ආවරණය වන පරිදි ඩිජිටල් දත්ත ගබඩාවක් සැකසීම.

03.පක්ෂ නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් මිනිසුන්ගේ දුක් ගන්නා රාළලා බවට පත් කිරීම.

04.ආණ්ඩු පක්ෂයේ සිටියද විපක්ෂයේ සිටියද පු‍රවැසියන්ගේ දුකගැනවිලිවලට පිළියම් යෙදීම.

05.පුරවැසියන්ගේ දුක්ගැනවිලි වාර්තා කිරීමට සහ ඊට පිළියම් යෙදීමට යාන්ත්‍රණයක් සැකසීම.

 

ඉහළට නගින ඉනිමග

 

01.පක්ෂයේ ක්‍රියාකාරීන් බල ගැන්වීම.

02.සියලු සාමාජිකයන් පොදු චර්යා ධර්ම සංග්‍රහයකට යටත් කිරීම.

03.ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට සිය දක්ෂතාවය අනුව ඉහළට යා හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම. පරිපාලනය සමග මානව සම්පත් කළමනාකරණ මූලධර්ම මුසු කිරීම.

 

එක්සත් ජාතික පක්ෂ කාර්ය්‍යාල

 

01.සෑම ගොඩනැගිල්ලකටම ආවස්ථික පිරිවැයක් ඇත .දේශපාලන කාර්ය්‍යාලයක් ලෙස පැවතීමෙන් සේවයක් නොවන්නේ නම් එකී ගොඩනැගිලි කුලියට දි උපයා ගන්නා ආදායමින් ජනයාට සෙත සැදිය හැකි බව සිහි තබා ගත යුතුය.

02.දිවයින පුරා පිහිටි පක්ෂ කාර්යාල  වැඩ බිම් බවට පත් කිරීම.

03.ප්‍රධාන නගරවල පිහි‍ටුවා ඇති පක්ෂ කාර්ය්‍යාලයක් යනු  ඉතා ඉහළ මූළ්‍ය පිරිවැයකි.එහෙයින් පක්ෂ කාර්ය්‍යාලවලින් ඵලදායි සේවාවක් ඉ‍ටු විය යුතුය.

04.නව තාක්ෂණය හරහා මූලස්ථානය සහ ප්‍රාදේශීය කාර්යාල යා කිරීම.

 

විනිවිදභාවය සහ මූල්‍ය විනය

 

01.ගමේ මරණාධාර සමිතියක පවා විනිවිද භාවයක් ඇත. විනිවිද භාවය අත් හළ නොහැකි වගකීමකි.

02.විනිවිද භාවය සහිත රාමුවක් යටතේ අරමුදල් සම්පාදනය කිරීම. උදාහරණයක් ලෙස ඩිජිටල් තාක්ෂණය හරහා අරමුදල්  සම්පාදනයට ප්‍රවේශ සැකසීම.

03.මධ්‍යගත ක්‍රම්වේදයක් හරහා සම්පත් දායකයන්ට කෘතවේදීත්වය දැක්වීම.

04.ගෙවීම් සහ වියදම්  පිළිබඳව නිසි කාර්ය පටිපාටියක් නිර්වචනය කිරීම.

05.ශිල්ප ශ්‍රාස්ත්‍රවලින් ජනයා බලවත් කිරීම.

“මිනිසෙකුට මාළුවෙක් දුන්නොත් එක් වේලක් බඩ ගින්න නිවා ගනු ඇත. නමුත් මාළු අල්ලන්න ශිල්පය දුන හොත්  ජීවිත කාලයම ඔහු බඩ ගින්න නිවා ගනු ඇත.” -(චීන පිරුළක් )-  දුප්පත්කම තුරන් කිරීමට කළ යුත්තේ නොමිලයේ සියල්ල ලබා දීම නොව ශිල්ප ශ්‍රාස්ත්‍රවලින්  ජනයා  බලවත් කිරීමය. දිළිඳුකමට පිළියම පිං පඩි ක්‍රමය යැයි රණසිංහ ප්‍රේමදාස සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් ජන සවිය ඇති කළේය. දිළිඳුකමට පිළියම අධ්‍යාපනය යැයි ලලිත් ඇතුලත්මුදලි සිතුවේය. ඔහු ඒ වෙනුවෙන් මහ පොළ ශිෂ්‍යවත්ව ක්‍රමය බිහි කළේය.

 

ආකෘතියට ඔබ්බෙන් සිතන පාලකයන් සහ පුරවැසියන්

 

ජන සවිය සහ සමෘද්ධිය වැනි ව්‍යාපෘති මගින් සිදු වූයේ ශ්‍රී ලංකාවේ දුප්පතුන් වැඩි වීමය. නමුත් මහ පොළ ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ බිහිවූ උගත්තු හතර වරිගයක් එතෙර කළහ. සාම්ප්‍රදායික චින්තනය සහ ආකෘතියෙන් ඔබ්බට ගිය රැඩිකල් සහ නවීන චින්තනය අතර වෙනස වෙනස මේ තත්ත්වයෙන් මනාව පැහැදිළි වේ. ආකෘතියෙන් ඔබ්බට ගොස් සිතන සහ ක්‍රියා කරන පාලකයන්ගේ සහ පුරවැසියන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් රටට අවශ්‍යව ඇත. එක්සත් ජාතික පක්ෂය සහ රට ගොඩනැගීම සඳහා එකට එක් වන ලෙස ලලිත් ඇතුලත්මුදලිගේ දර්ශනයෙන් පරිපූර්ණ වූ රවි කරුණානායක ඔබට ආරාධනය කර සිටියි.

Advertiesment