Saturday 19th of September 2020

English Tamil
Advertiesment


සෞඛ්‍ය ලේකම්ගේ අණ නොතකා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වැඩ


2020-05-09 5655

(ජනක බලල්ල)

නීතියට පටහැනි ලෙස තමාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු නොකළහොත් ඉදිරියේ දී නීති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර පවසයි.

සෞඛ්‍ය ලේකම්වරිය විසින් ලබාදුන් ස්ථාන මාරු නියෝගය ඉවතලමින් තවදුරටත් කුරුණෑගල රෝහලේ රැඳී සිටින රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් ජනබලය කළ විමසීමක දී ඔහු පෙන්වා දුන්නේ තමාට ලබා දුන් ස්ථාන මාරුව නිසි ක්‍රමවේදවලට යටත්ව ලබා දුන් ස්ථාන මාරුවක් නොවන බවයි.

මැතිවරණයක් ප්‍රකාශ කර තිබිය දී එම කොමිසමේ අනුමැතිය ද නොමැතිව තම ස්ථාන මාරුව ලබා දීම ගැටලු සහගත බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙය දේශපාලනික වුවමනාවක් මත සිදු වූවක් බව රෝහල් අධ්‍යක්ෂවරයාගේ අදහසයි.

කෙසේ වෙතත්  කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර මැයි 06 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙත කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරිය  

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපිය නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ කොවිඩ්-19 වසංගත මර්දන ක්‍රියාවලිය විධිමත් ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සගයකු බව පැවසෙන අතර, ඔහු පසුගිය යහපාලන ආණ්ඩු පාලන සමයේ දී වඳසැත්කම් සිද්ධිය මුල් කරගනිමින් කුරුණෑගල රෝහලේ සේවය කළ සාෆි වෛද්‍යවරයාට එරෙහිව කළ සටනේ ප්‍රධාන චරිතය ලෙස ඊට දායක වූ අයෙකි.

එම සිද්ධියෙන් කරළියට පැමිණි වීරබණ්ඩාර වෛද්‍යවරයා පොහොට්ටුවේ බොහෝ දෙනා අතර වීරයකු වී සිටි නමුත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ගියේ ද කුරුණෑගල ප්‍රබල පොහොට්ටු දේශපාලකයකුගේ වුවමනාව මත බව වාර්තා වේ.

ඊට හේතුව කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ වුවමනාව මත සැකසුණු නිසා බව ද පැවසේ.

මේ අතර, විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු වන නලීන් බණ්ඩාරට අයත් කුරුණෑගල, වෙලංගොල්ල වත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් කොවිඩ්-19 රාජකාරි කටයුතුවල නිරත වෛද්‍යවරුන් හට නවාතැන් ගැනීම සඳහා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස තමා විසින් ලබා ගැනීම නිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සමීපතමයකු වන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් තර්ජනය කරන බවට වීරබණ්ඩාර වෛද්‍යවරයා විසින් මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් තබා පවසනු ලැබිණි.

එහෙත් නගරාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත පවසා තිබුණේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිවසක් නිරෝධායන කටයුතු සඳහා යොදාගැනීම හේතුවෙන් තම ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඇතිවන තර්ජනය හේතුවෙන් එය ඉවත් කර ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්  නගරාධිපතිවරයාගේ සහ රෝහල් අධ්‍යක්ෂවරයාගේ මෙම සීතල යුද්ධයට GMOA වයඹ පළාත් සම්බන්ධිකාරක වෛද්‍ය ඉන්දික රත්නායක ඇතුලු පිරිසක් මැදිහත් වෙමින් ඉකුත් දා මාධ්‍ය හමුවක් පවත්වමින් රජයට අනතුරු අඟවා සිටියේ රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඉන්දික රත්නායක වෛද්‍යවරයා ජොන්ස්ටන් අමාත්‍යවරයා සමග කිට්ටු සබඳතාවක් පවත්වන්නෙකු බැවින් ඔහු මෙලෙස රෝහල් අධ්‍යක්ෂවරයාගේ සිද්ධියට මැදිගත් වී ඇති බවද පැවසේ. ඉන්දික රත්නායක වෛදවරයාගේ ඉල්ලීම මත අමාත්‍යවරයා තම අමාත්‍යාංශය යටතේ පවතින වරායේ අධ්‍යක්ෂ ධුර 3කට වෛද්‍යවරුන් පත්කර ඇති බවද සඳහන්.

Advertiesment