Saturday 11th of July 2020

English Tamil
Advertiesment


කොරෝනා ඇඳිරිය අස්සේ යාල කපා අක්කර 120ක් අල්ලලා 


2020-05-05 3953

පවුල් 25ක් මාට්ටු

 

මහ වන සංහාරයක්  

 

 
(ජයකාන්ත ලියනගේ)  


කොරෝනා මර්දන කටයුතු සදහා ඇදිරි නීතිය පනවා ඇති අස්සේ ඊට මුවා වී කතරගම යාල ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් සැරි සරන ගණ වනාන්තරය කපා ඉඩම් ඇල්ලීමේ ජාවාරමක යෙදී සිටී පිරිසක් වන ජීවී සහ යුද්ධ හමුදාවේද නිලධාරීන්ගේ සහය ඇතිව කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අල්ලා ගන්නා ලද ඉඩම් වැට මායිම් ගසා සකස් කිරීම සදහා අත් ට්‍රැක්ටර් මගින් ගෙන යමින් සිටි කම්බි කණු තොගයක්ද මෙහිදී පොලීසියේ  භාරයට ගෙන ඇති අතර මෙසේ අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම පිළිබදව පසුගිය අප්‍රේල් මස අවසන් සතියේ මාධ්‍ය මගින් හෙළි කිරිමෙන් පසු මෙම වැටලීම් සඳහා ආරක්ෂක අංශ සහ වන ජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. 

කැලෑ කපා ඉඩම් අල්ලා ගැනීමට එක් වූ මෙම පිරිස් විසින් කතරගම, කදසුරිදු ගම ග්‍රාම නිලධාරි වසමට අයත් ගලහිටිය, වෙහෙරකෙම, මයිලගම, සෙල්ල කතරගම, වෙහෙරකෙම ආරණ්‍ය සේනාසනය අසල සේම කිඹුල්කෙම  සිට ජෙස්ටුපාන දක්වා වූ අක්කර 120 කට අධික භූමි ප්‍රමාණයක දැවැන්ත ගස් කපා පෙරළා දමා තිබූ බවත් ඔවුන් විසින් ඉඩම් අත්පත් කර ගෙන කොන්ක්‍රිට් කණු යොදා වැට මායිම් පවා සකස් කර තිබූ බවත් වැටලීමට එක් වු නිලධාරිහූ  ප්‍රකාශ කළහ. 

මෙසේ කැලෑ කපා විනාශ කිරිමේ සිද්ධිය පිළිබද තොරතුරු මාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානයට යොමු වි ඒ සදහා විශේෂ හමුදා කණ්ඩායම් යොදවා තිබූ බවද කතරගම පොලීසියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 

මෙම වන විනාශයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද පිරිස ඇදිරි නිතිය කඩ කරමින් රජයේ දේපොළ තම සන්තකයට ගැනීමට උත්සාහ කිරිමේ චෝදනාව මත තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කළ බව කතරගම පොලිස් ස්ථානාධිපති එස් යූ වි ලියනගම මහතා ප්‍රකාශ කළේය. 

කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කදසුරිදුගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අලි ඇතුන් ඇතුළු වන සතුන් සැරිසරන වනාන්තරයේ ඇතුළු රජයේ රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට පසුගිය අප්‍රේල් 12 වන දින සිටම කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මෙම රක්ෂිත ඉඩම් මෙලෙස එළි පෙහෙළි කිරිම සඳහා පවුල් 25 කට වැඩි පිරිසක් එක්ව තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කතරගම පොලිසිය වැඩි දුරටත් සදහන් කළේය. 

 


 

Advertiesment