Saturday 19th of September 2020

English Tamil
Advertiesment


පොලිස් යතුරු පැදිය උස්සා කුඩු පැකට් පහකට විකුණලා 


2020-05-05 3446

කුඩ්ඩන් දෙදෙනෙකු මාට්ටු 

 

අයෙකු රිමාන්ඩ්-අනෙකාට ඇප 

 

 
(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

 

ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්පේගම, කුසල්කන්දවත්තේ පදිංචි පොලිස් නිලධාරියෙකුට අයත් යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදිය මත් කුඩු පැකට් 05 කට විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සඳුදා (04) බද්දේගම පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 

සැකකරුවන් විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියක් බවත් එම යතුරු පැදිය කුඩු ජාවාරම්කරුවෙකුට විකුණා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර වසර 13 ක් පමණ පැරණි  එම යතුරු පැදියේ වටිනාකම රුපියල් ලක්ෂයකට (1,00000/-) අධික වන බවත් බද්දේගම පොලීසිය කියයි.

සැකකරුවන් අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුන් විසින් සොරකම් කරන ලද යතුරු පැදිය විකුණා ඇත්තේ රුපියල් 5000/- ක වටිනා කමකින් යුත් හොරොයින් පැකට් 05 කට බවත් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ද, සැකකරුවන් විසින් හෙරොයින් මිළ දී ගැනීම සදහා කරන ලද තවත් හොරකම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවද බද්දේගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් අධිකරණය වෙත අඟහරුවාදා (05) ඉදිරිපත් කරන ලදුව,පළමු සැකකරු 2020 මැයි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් දෙවන සැකකරු රුපියල් ලක්ෂ දෙකක (2,00000/-) ශරීර ඇපමත මුදා හැරීමටත් බද්දේගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් ප්‍රගතිය දැනුම් දෙන ලෙසත්, පළමු සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බද්දේගම පොලීසියට දැනුම් දුන්නේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බද්දේගම, අළුත්වල පදිංචි 28 හැවිරිදි අයෙකු වන අතර ඇපපිට මුදා හරින ලද්දේ බද්දේගම, කරුවලබැද්දේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

බද්දේගම, දක්ෂිණ අධිවේගි මාර්ග පොලිස් මුර පොළේ රාජකාරියේ නියුතු පොලිස් සැරයන් මාමාදාච්චි ලින්ටන් (50) නැමැති අය විසින් බද්දේගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර නිවසට යාබදව යතුරු පැදිය නවතා තිබූ බවත් යතුර එහි යතුරු කටේම තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

මෙයින් පළමු සැකකරු යතුරු පැදිය සොරකම් කිරීම මතත් දෙවන සැකකරු සොර බඩු ළග තබා ගැනීම මතත් බද්දේගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පළමු සැකකරු නිවසට පැමිණ යතුරු පැදිය පන ගන්වා ගෙන යන ආකාරය පැමිණිලිකරුගේ පුතා විසින් දැක ඇති බවත් ඔහු සිය පියාගේ අවසරය ඇතිව යතුරු පැදිය රැගෙන යන බව සිතා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මෙම සියල්ල අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වි තිබෙන අතර එම දර්ශන ද පොලීසිය විසින් නිරීක්ෂණය කළ බව බද්දේගම පොලීසිය කියයි. 

පළමු සැකකරු විසින් සොරකම් කර ඇත්තේ ඩිස්කවරි, 125 වර්ගයේ යතුරු පැදියක් බවත් එම යතුරු පැදිය ඔහු විසින් දෙවැනි සැකකරු වන කුඩු ජාවාරම්කරුට විකුණා තිබියදී පොලිසිය විසින් සොයා ගත් බවත් වසර 13 ක් පමණ පැරණි යතුරු පැදියේ වටිනාකම රුපියල් ලක්ෂයකට (1,00000/-) අධික වන බවත් බද්දේගම පොලීසිය කියයි.

බද්දේගම පොලිස් ස්ථානාධිතිවරයාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් සුසිල් (35255), පොලිස් කොස්තාපල්වරුන් වන ටිරෝන් සදකැලුම් (89380), පුෂ්ප කුමාර (68109) යන නිලධාරීන් විසින් වැටලීම සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 

Advertiesment