Thursday 1st of October 2020

English Tamil
Advertiesment


දෙබිඩි ආණ්ඩුවට විරෝධය-අගමැතිගේ හමුවට සමගි බලයත් නැහැ


2020-05-02 5677

විපක්ෂයට ජනපති දුන්නේ ආචාරශීලී නොවන උත්තරයක් 

 

රණ විරු ජීවිත අනතුරේ හෙළුවා 

 

නීති විරෝධී ඇඳිරියෙන් දේශපාලන දඩයමේ ගියා 

 

සිය ව්‍යාපාරික හිතවතුන්ට ඇඳිරි නීති බලපත් දුන්නා

 

ජන සහන ක්‍රියාවලිය එක්ක දේශපාලනය කළා  

 

එකම විසඳුම පාර්ලිමේන්තුව යළි කැඳවීමයි 

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය මර්දනය කිරීමට සහ එම වසංගතය සමග රටේ උද්ගත වී ඇති තත්ත්වයට අදාළව කරුණු සාකච්ඡා කිරීම සඳහා සඳුදා (04) උදෑසන අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය තරයේ ප්‍රතික්ෂේප කරන අතර සිය පක්ෂය ඊට කිසිසේත් සහභාගී නොවන්නේ යැයි සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකත් කරමින් අවධාරණය කර සිටියි.

මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවීම නොව හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි කැදවීම බව වගකීමෙන් යුතුව යළි යළිත් අවධාරණය කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ. 

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

''කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර ගැන අප වග කිව යුතු විපක්ෂයක් ලෙස මුල සිටම වඩාත් විමසිලිමත් වූ අතර 2020 ජනවාරි 24 සහ පෙබරවාරි 25  දෙවරක්ම පාර්ලිමේන්තුවේදී රටේ අවධානය යොමු කරන ලදි. නමුත්  ඒ  වන විටත් ආණ්ඩුව සිටියේ වගකීම් විරහිත ස්වභාවයෙනි. එමෙන්ම සම්ප්‍රදායික විපක්ෂයක් ලෙස නොව වගකීම් සහගත සහ මිනිස් ජීවිතවල වටිනාකම දන්නා විපක්ෂයක් ලෙස අපි දිගටම කටයුතු කළෙමු.

ව්‍යසනය උත්සන්න වූ පසු අවස්‍ථා දෙකකදී  අගමැතිවරයා විසින් පක්ෂ නායකයන් කැඳවා කොරෝනා උවදුරින් රට ගළ වාගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කරනු ලැබූ අතර ඒ අවස්‍ථා දෙකේදීම අපි ඊට සහභාගී වීමු. මේ ව්‍යසනය දුරු කිරීම උදෙසා වගකීම් සහගතව අප කටයුතු කළ අතර විපතට පත්වූවන්ට සහන ලබා දීම, රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස යොදා ගැනීම, ආපදා කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රණය නිසි ලෙස  ක්‍රියාත්මක කිරීම, සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකිරීම, PCR පරීක්ෂණ කඩිනම් කරමින් විධිමත් කිරීම, කොරෝනා මර්දන කාර්‍යමණ්ඩල සඳහා සෞඛ්‍යමය පෞද්ගලික ආරක්ෂණ මෙවලම් Personal Protective Equipment (PPE) ලබා දීම ආදිය ගැනද ආණ්ඩුවට යෝජනා කළෙමු. එහෙත් ඒ අදහස් සහ යෝජනා කිසිවක් පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකිරීම පිළිබඳව අපි කණගාටු වෙමු.

මේ ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතියද අප ඒවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමු. සති හයක කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් ඇඳිරි නීතියක් පැන වූවද කොරෝනා මර්දනය නමැති අත්‍යවශ්‍ය කාරණය හේතු කොට ගෙන ඒ පිළිබඳව පවා අපි උපේක්ෂාවෙන් කටයුතු කළෙමු. නමුත් ආණ්ඩුව බොහෝ විට ඇදිරි නීතිය අවභාවිතා කළ අතර සමාජ ජාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත්, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරික ඇදිරි නීති බලපත්‍ර ලබාදීමටත්, ඇඳිරි නීතියට මුවා වී සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමටත් කටයුතු කළේය.

සති හයක් තිස්සේ ජනතාව අප්‍රමාණ කැපවීමකින් ක්‍රියා කළ අතර සියලු වේදනාවන් සහ පීඩාවන් දරා ගෙන කටයුතු කරනු ලැබුවේ මෙම ජාතික ව්‍යසනය මැඩ පැවැත්වීමට රජයට හැකි වේය යන දැඩි විශ්වාසයෙනි. එහෙත්, සති හයක කොවිඩ් මර්දන ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ජය ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේද? ඇදිරි නීතිය සහිත සති හයක කාලයට පසු සැබෑ ලෙස විය යුතුව තිබුණේ කොවිඩ් ආසාදිත රේඛාව පහළට යෑමය. එහෙත් සිදු වී ඇත්තේ එම රේඛාව ඉහළට යාමය. සෙසු රටවල් බොහොමයක් ඇදිරි නීතිය නොදමා "ලොක් ඩවුන්" ක්‍රමවේදයන්ට අනුව සති කිහිපයකට පසු කොවිඩ් මර්දන රේඛාව පහළ මට්ටමට ගෙන ආ නමුත් ඇදිරි නීතිය පවා පන වන ලද තත්ත්වයක් තුළ මෙරට කොරෝනා ආසාදන රේඛාව ඉහළට ගමන් කරමින් තිබීම සැලකිල්ලට ගත යුතු බරපතළ තත්ත්වයකි.
 
කොරෝනා මර්දන ක්‍රියාවලිය තුළ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් බොහොමයකට කොරෝනා ආසාදනය වූ නමුදු ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී ඇත්තේ ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසකටය. මෙයින් ගම්‍ය වන්නේ කොරෝනා මර්දන ක්‍රියාවලියට ආරක්ෂක හමුදා යොදා ගත්තද ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රමිතියක් සහිත ආරක්ෂිත සෞඛ්‍ය මෙවලම් හෝ වසංගත සම්බන්ධයෙන් පුහුණුව ලබා නොදී එම රණවිරුවන්ගේ  ජීවිත අනතුරේ හෙළා ඇති බවය. 

මේ සියලු තත්ත්වයන් තුළ පවා රට වෙනුවෙන් වූ කාර්‍යභාරය පෙරදැරිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස අප පසුගිය 26 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යවනු ලැබීය. එම ලිපිය අප විසින් ඉතා සද්භාවයෙන් යුතුව යොමු කළ අතර එහි සැඟ වුණු න්‍යාය පත්‍රයක් හෝ කිසිදු අසාධාරණ ඉල්ලීමක් තිබුණේ නැත.

එහි අඩංගු වූයේ 2020 අප්‍රේල් 30 වෙනිදායින් පසුව නීත්‍යානුකූලව රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්  සහ කොරෝනා මර්දන අණ පනත් සම්මත කිරීම සම්බන්ධයෙන් සහාය ලබාදීම පිළිබඳව ය. මේ ව්‍යසනකාරී මොහොතේ ආණ්ඩුව පෙරළා දමනවා වෙනුවට ජන ජීවිත ගොඩනැඟීමට සහ ඔවුනට සහන සැලසීමට අවශ්‍ය නීත්‍යානුකූල සහය කොන්දේසි විරහිතව ආණ්ඩුවට ලබාදීමේ "ලිඛිත සහතිකයද" එම ඒකාබද්ධ ලිපියෙහි තිබිණි .

එහෙත්, ඒ ලිපියට අතිගරු ජනාධිපතිතුමන්ගේ පාර්ශ්වයෙන් කිසිසේත්ම ආචාරශීලී නොවන පිළිතුරක් ඔහුගේ නිලධාරියෙකු හරහා යොමු කොට තිබීම ගැන අපි කණගාටු වෙමු. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට සහාය දීම උදෙසා යවනු ලැබූ හරයාත්මක ලියවිල්ල අවැදගත් සේ සලකා බැහැර කළ බවක් ඔහු විසින් නිලධාරියකු මඟින් එවන ලද ලිපියෙන් ගම්‍ය වෙයි. මේ ව්‍යසනකාරී මොහොතේ පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල් කර ගෙන අප විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වූ ස්වර්ණමය අන්තර්ගතය ඔහු විසින්ම නොසලකා හරින ලද තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (4) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 කැදවීමට කටයුතු කර ඇත. 

එහෙත් පාර්ලිමේන්තුව කැදවීම සහ පරණ පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දැඩි ස්ථාවරයක සිටිමින් රජයේ සහ රජයට පක්ෂපාත සියලු මාධ්‍යයයන් යොදා ගනිමින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක්ද ලබා දෙන තත්ත්වයක් තුළ අගමැතිවරයා විසින් මන්ත්‍රීවරු 225 කැඳවීමට තීරණය කිරීමේ  රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අපි විමතිය පළ කරමු. මෙවන් තත්ත්වයක් තුළ අදාළ හමුවට සහභාගි වීමට අපගේ අදහසක් නැති අතර මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව අප වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරමු. ඒ, රාජ්‍ය මූල්‍ය කටයුතු හා අදාළ නීති සම්මත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බැවිනි

Advertiesment