Monday 28th of September 2020

English Tamil
Advertiesment


ජනපති දරා ගෙන සිටින්නේ අනීතික විධායක බලයකි


2020-05-02 1868

ජනපති බලතල නොදැන සිටීම බරපතළ වරදකි 

 

සමස්ත අර්බුදයෙන් කෙරෙන්නේ ජනපති උරගා බැලීමය

 

ජනපති නිමවා ඇත්තේ නියම රනින් ද ව්‍යාජ රනින් ද..? 

 

ජනපතිගේ වාසනාව සහ අවාසනාව මෙන්න 

 

බලය සහ වසංගතය 

 

(වික්ටර් අයිවන්) 

ශ්‍රී ලංකාව වර්තමානයේ  මුහුණ දී සිටින්නේ සිය නූතන ඉතිහාසයේ මීට පෙර කවරදාකවත් මුහුණ දී නැති ඉතාමත් දැවැන්ත, සංකීර්ණ හා තීරණාත්මක අර්බුදයකට ය. වසංගතය කඩා වැටෙන්නට පෙරත් ශ්‍රී ලංකාවේ රාජ්‍යය, සමාජ ක්‍රමය හා ආර්ථිකය තිබුණේ කඩා බිඳ වැටෙන්නට ආසන්න අර්බුදයක ය. තිබුණු එම අර්බුදය මත වසංගතය කඩා වැටීම නිසා අර්බුදයේ පරිමාව හා සංකීර්ණතාව අති විශාල වී යැයි කිව හැකිය.

මෙම අර්බුදය විසින් ශ්‍රී ලංකාව වැදගත් කොට සලකනු ලබන සියලු දේවල් තියුණු උරගා බැලීමකට ලක් කිරීමට නියමිතය. ප්‍රධාන කොට ආණ්ඩු ක්‍රමය, රාජ්‍යය, රාජ්‍ය නායකයා, ආණඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය ද, රාජ්‍යයේ ආයතන ක්‍රමයේ ප්‍රධාන කොට සුව සේවය, මැතිවරණ කොමිසම, අධිකරණය හා පොදුවේ නිලධර තන්ත්‍රයද, ජනමාධ්‍ය, බුද්ධිමතුන් හා ආගමික නායකයින් ද උරගා බැලෙනු ඇත. එයින් සමත් වන පුද්ගලයින් හා ආයතන ක්‍රම මහජන පිළි ගැනීමට හේතු වනු ඇති අතර, එසේ නොවන සියල්ල ඉතිහාසයේ කණු කූඩයට එකතු වීමට නියමිතය.

වසංගතය කරන්නේ ද උරගා බැලීමකි. සාර්ථක එන්නතක් සොයා ගන්නා තෙක් ඊට ළගා විය හැකි හැම පුද්ගලයෙක්ම එම පුද්ගලයාගේ තරාතිරම, වර්ගය, කුලය, ආගම නොසලකා උරගා බැලීමකට ලක් කරයි. බරපතළ අඩුපාඩුකම් ඇති, ඔරොත්තු දීමේ ශක්තියක් නැති සියලු දෙනා පීඩාවට පත් කොට සමහර අයගේ පැවැත්මද අහිමි කරයි. වසංගතය සමග එකට ගැට ගැසුනු ශ්‍රී ලංකාවේ අර්බුදය ද, ඉහත සදහන් පුද්ගලයින් හා ආයතන ක්‍රම ඒ සමාන ආකාරයකින්ම තියුනු උරගා බැලීමකට ලක් කෙරෙනු ඇත.

ජනපති ප්‍රතිරූපය

නිලතල දරන පුද්ගලයින් අතුරෙන් වැඩිම උරගා බැලීමකට ලක්වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ චන්ද්‍රයා බවට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාය. ප්‍රචාරක සමාගම් ජනාධිපතිගේ ප්‍රතිරූපය ගොඩනගා තිබෙන්නේ සැබෑ රනින්ද ව්‍යාජ රනින්ද යන්න අවසාන වශයෙන් උරගා බලා තීරණය කරනු ඇත්තේ මේ අර්බුදය විසිනි.

දේශපාලන අර්ථයෙන් සලකා බලන විට ජනාධිපතිවරයා එක විට ලොකු වාසනාවන්තයෙකු සේම ලොකු අවාසනාවන්තයෙකු ලෙස සැලකිය හැකිය. ලිස්සන ගසේ මුදුණට නැග ගත්තේ දීර්ඝ කාලීන ආයාසයකින් තොරවය. පිළිගත් සාමාන්‍ය විශ්වාසයන්ට පටහැනිව සුළු ජන සහායක් නැතිව තනි සිංහල බෞද්ධ ඡන්ද මත පදනම් වී ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූ පළමුවැනියා ලෙසද සැලකිය හැකිය.

අවාසනාවන්ත භාවය කෙරෙහිද සාධක දෙකක් බලපා තිබෙන බව පෙනේ. මුළු ශ්‍රී ලංකාවම තනි ඡන්ද කොට්ඨාසයක් ලෙස සලකා පවත්වන ලද ජනාධිපතිවරණයකින් ජය ගැනීමට සමත් වුවත් 19 වැනි සංශෝධනය නිසා හිමි වූයේ විධායක බලය නැති නාම මාත්‍රික ජනාධිපති ධූරයකි. ජනාධිපතිවරණය ජය ගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර වසංගතයක් කඩා වැටීම, මුහුණ දෙන්නට සිදුවූ ඊළඟ අවාසනාව ලෙස සැලකිය හැකිය. දෙවැනිව සඳහන් කළ අවාසනාවන්ත කාරණය ජනාධිපතිවරයාගේ පාලනයෙන් පරිභාහිර දෙයක් ලෙස සැලකිය හැකි වුවත් පළමු වැන්න එසේ සැලකිය නොහැකිය. එය ජනාධිපතිවරයාගේ දූරදර්ශිභාවයේ සීමාසහිතකම් පෙන්වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

දෘෂ්ඨිමය සීමා සහිත කම්

19 වැනි සංශෝධනය නීති ගත කෙරුණු ආකාරය විවාදයට හේතු විය හැකි වුවත් එය ආණඩු පක්ෂයේ පමණක් නොව ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ ද පූර්ණ සහාය ඇතිව සම්ම්ත කර ගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. ඊට විරුද්ධව ඡන්දය පාව්චි කළේ එක පුද්ගලයෙකු පමණය.

එම සංශෝධනය ඇති කළ ලොකුම විපර්යාසය ලෙස සැලකිය හැක්කේ ජනාධිපතිට තිබූ විධායක බලය අහෝසි කොට ඔහු නාම මාත්‍රික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් කොට රාජ්‍යයේ විධායක බලය නැවත පාර්ලිමේන්තුවෙන් තේරී පත් වන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අතට පත් කිරීමය. එ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට හිමි වූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගෙන් ආරම්භ වී ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසන් වූ හා ඊට පසු බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිව තිබු බලයටත් වඩා අඩු බලයක් සහිත නාම මාත්‍රික බලයකි.

රාජ්‍ය පාලනයට සම්බන්ධ බලවත් තනතුරකට තරග කරන පුද්ගලයෙකුට තමන් තරග කරන නිලයට හිමි බලතල පිළිබඳව යථා අවබෝධයක් තිබිය යුතුය. ඒ ධර්මතාව ගෝඨාභය රාජපක්ෂටද අදාළය. ඒ ගැන යථා අවබෝධයක් තිබුණේ නම් තමන් තරග කරන්නේ විධායක බලයක් නැති නාම මාත්‍රික ජනාධිපති ධූරයක් සඳහා බව කල් තියා දැන ගත යුතුව තිබුණි. ඒ ගැන තමන් වෙනුවෙන් වැඩ කරන අයටද අවබෝධයක් ලබා දිය යුතුව තිබුණි. ලොකු පොරොන්දු දීමෙන් වැළකී තමන් තරග කරන ධූරයට විධායක බලයක් නැති නිසා තමන්ට කළ හැකි දේ ඉතාමත් සීමා සහිත බව ජනතාවට පැහැදිළි කළ යුතුව තිබුණි.

එක්කෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාව වන විට තනතුරට හිමි බලය ගැන හරියාකාරව දැන නොසිටියේය. දැන සිටියේ නම් ඒ ගැන තමන්ට වැඩ කළ ජනතාව දැනුවත් කිරීමෙන් වැළකී සිටියේය.

මහ ජන ඡන්දයකින් කිසියම් තනතුරකට පත් වන කවර පුද්ගලයෙකු වුවද ඔහු ජය ගන්නේ කවර තරම් ඡන්ද ප්‍රමාණයකින් වුවද එම තනතුරට නීතියෙන් නියම කර තිබෙන බලයට වැඩි බලයක් හිමි වන්නේ නැත. සුළු ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නා පුද්ගලයෙකුට හිමි බලය හා ලොකු ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නා පුද්ගලයෙකුට හිමි බලයේ ප්‍රමාණය එක සමානය.

බලයේ යථාර්තය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහු බලයට පත් කළ යාන්ත්‍රණයේ නියමුවන්ට අවශ්‍ය වූයේ නාම මාත්‍රික බලයක් වෙනුවට රාජ්‍ය බලයේ සුක්කානම හැසිර වීමේ බලය නම්, තරග කොට ජය ගත යුතුව තිබුණේ ජනාධිපති ධූරය නොව අගමැති ධූරයයි. 19 වැනි සංශෝධනයෙන් ඇති කර තිබුණ වෙනස්කම් දැන ගෙන සිටිය යුතුව තිබුණි. නොදැන සිටියේ නම් එය සරල වරදක් නොව බරපතළ වරදකි. කිසියම් තනතුරකට තරග කරන පුද්ගලයෙකු එම තනතුරට හිමි බලයේ තරම ගැන නිසි අවබෝධයක් නැතිව බලය ලබා ගෙන, තනතුරට හිමි බලයට වඩා වැඩි බලයක් පාවිච්චි කරයි නම් එම තැනැත්තා සැලකිය යුත්තේ තනතුරට නුසුදුසු, තනතුරෙන් පහ කළ යුතු පුද්ගලයෙකු ලෙසය.

මේ වරදට ජනාධිපතිවරයාට වඩා වග කිව යුත්තේ ජනාධිපතිවරයා බලයට පත් කළ දේශපාලන යාන්ත්‍රණයේ ප්‍රචාරක අංශය භාරව ක්‍රියා කළ නියමුවන් ය. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වසර ගණනක් තිස්සේ එම ප්‍රචාරක අංශය ඉටු කළ කාර්යභාරය සුවිශාලය. කළු කපුටෙක් සුදු කිරීමට හැකියාව ඇති ඉතා බලවත් ප්‍රචාරක අංශයක් ජනාධිපතිවරයාට තිබුණේය. තවදුරටත් තිබෙන්නේ යැයි ද කිව හැකිය. බලවත් ප්‍රචාරක සමාගමකට සාමාන්‍ය මිනිසෙකු දෙවියකු බවට පත් කළ හැකිය. එවිට මහ ජනයා ඡන්දය දෙන්නේ සාමාන්‍ය මිනිසාට නොව දෙවියාටය. එවිට මහ ජනයා තමන් බලයට පත් කළ පුද්ගලයා දෙවියෙකු ලෙස සලකා ආශ්චර්යමත් දේවල් බලා පොරොතුවේ. එසේ කිරීමට නොහැකි වූ විට වීරයා මහ ජනයා ඉදිරියේ ලොකු අර්බුදයකට යන තත්ත්වයක් ඇතිවීම නොවැළක්විය හැකිය.

මෙම තත්ත්වයට ජනාධිපතිවරයාට වඩා ජනාධිපතිට අධි බලයක් ආරෝපනය කළ ප්‍රචාරක අංශය වග කිව යුතුය. ප්‍රචාරක ව්‍යාපාරය මානසික තලයේ ඇති කර තිබෙන මෙම වියවුල රටේ සියලු කටයුතු අවුල් කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන බව පෙනේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපති කළ යුත්තේ නාම මාත්‍රික කාර්භාරයක් පමණය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වය මත එහි බලය ජනාධිපතිවරයා හිමි කර ගෙන සිටින තත්ත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට ඇත්තේ නාම මාත්‍රික බලයක් පමණය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වය ද, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් විය හැකි දිනයක් නොපෙන තත්ත්වය සහ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අනුව තාවකාලිකව පරණ පාර්ලිමේන්තුව නොකැඳවන තත්ත්වය මත ව්‍යවස්ථාවෙන් ලබා දී නැති විධායක බලය අනීතික ලෙස තමන් වෙත හිමි කර ගෙන තිබෙන බව පෙනේ.

එම තත්ත්වය, මෙම අර්බුදය පාලනය කිරීමට තිබෙන හැකියාව දුර්වල කොට, අර්බුදය උග්‍ර කිරීමට හේතු වන සාධකයක් ලෙස ක්‍රියා කරමින් තිබෙන්නේ යැයි කිව හැකිය. මෙවැනි අර්බුදයක දී රටට අවශ්‍ය වන්නේ නීතියට පටහැනි, වගඋත්තර කීමට බැඳීමක් නැති, ඒක පුද්ගල පාලනයක් නොව, නීතියට අනුකූලව ක්‍රියා කරන විනිවිදභාවය සහිත, ජනතාවට වග කියන ප්‍රජාතන්ත්‍රවාදී සමූහ පාලනයකි. ව්‍යවස්ථානුකූල නොවන පාලනයකට හෝ හමුදා පාලනයකට නූතන ලෝකයේ ඉඩක් ඇත්තේම නැති බව කිව යුතුය.

Advertiesment