Thursday 1st of October 2020

English Tamil
Advertiesment


රජයේ COVID-19 මර්දන වැඩ ජාත්‍යාන්තර විශේෂඥයෝ අගයති


2020-05-01 4989

වෛද්‍යවරු ජනපති හමුවේ පෙන්වා දෙති 

 

P.C.R පරීක්ෂණ 21,000ක් කරලා-ආසාදිතයින් 3%

 

ජනයාගේ ප්‍රතිශක්තිය වර්ධනයට වහාම පියවර ගැනේ 

 

අඩුපාඩු-මඟ හැරීම් සියල්ල සැලකිල්ලට ගනු-ඉදිරියටම යනු  -ජනපති-

 

 
(සුජිත් මංගල ද සිල්වා)  

 

COVID-19 මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරමින් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග ලොව සියලු රටවල් අභිභවා ඉදිරියෙන්ම පවතින  බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇත.

රටේ වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (30) පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත මේ බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

සියලු අඩු පාඩු සහ මග හැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රට අභ්‍යන්තරයේ ගෙන යන වැඩ පිළිවෙළ තව තවත් සාර්ථක ලෙස ඉදිරියටම ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත.

මේ මෙහෙයුමට දායක වී සිටින වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ යුතු අතර, එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් පවත්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත් වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීම කළ යුතු යැයි ද සඳහන් කර තිබේ.

නාවික හමුදාවේ 997 ක්  PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එමගින් වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත්තේ 159 ක් පමණක් යැයි ද, ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන්නේ ඒ අයට තිබෙන ප්‍රතිශක්තීකරණ හැකියාව නිසා බව ද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. 

මේ අනුව ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ ශක්තිය වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබා ගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ද,
දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර වෛරසය මර්දනයට එන්නතක් සොයා ගන්නා තෙක් එමගින් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තියේ ඇති වැදගත්කම ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව වෛද්‍යවරුන් සේම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ද ඖෂධ දූමායනය සහ කැඳ පානය කෙරෙහි මේ වන විටත් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද මේ සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ආයතන පවත්වා ගෙන යාමේ දී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු අතර නොකළ යුතු දෑ අවබෝධ කර ගෙන සාමාන්‍ය ජීවිතය පවත්වා ගෙන යා යුතු යැයි ද, සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී සිටීය යුතු යැයි ද, ජනාධිපතිවරයා පෙන්වා දෙද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ ඇඳිරි නීති කාල සීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියා කිරීමඅතිශය වැදගත් බවය.

මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එමගින් වෛරසය ආසාදිත බවට තහවුරු කර ගෙන ඇත්තේ 3%ක පිරිසකගේ යැයි ද, එමගින් පැහැදිළි වන්නේ රජය ගෙන ගිය නිරෝධායන වැඩ පිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව යැයි ද වෛද්‍යවරු හෙළි කර සිටියහ.

තව දුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට අභ්‍යන්තරයේම නිෂ්පාදනය කිරීමේ කටයුතු අරඹා ඇති බවත් එම තත්ත්වය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයක් බවත් මෙහිදී පෙන්වා දුන් වෛද්‍යවරු වෙ‍ෙළඳ පොළෙහි අලෙවි කිරීමට ඇති විෂබීජ හරණයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටියහ. 

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නියෝග කළේය. 

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Advertiesment