Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


පරණ පාර්ලිමේන්තුව යළි කැඳ වන්නේ නැහැ -ජනපති-


2020-05-01 3744

වසංගතය එක්ක පටු දේශපාලන කරන්න විපක්ෂයට ඉඩ දෙනු බැහැ 

 

ව්‍යවස්ථාවේ 70 (07) අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැහැ 

 

විපක්ෂයට ඕනෑ මැතිවරණවලින් පැන යන්නයි 

 

හිටපු විපක්ෂ නායකට ජපතිගෙන් සැර උත්තරයක් 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව කිසිදු හේතුවක් මත යළි කැඳවීමට සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ දේශපාලන පක්ෂ වෙත ලිඛිතව නිල වශයෙන් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටින්නේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව වහාම කැඳ වන ලෙසට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් සිය අත්සනින් යුතුව 2020 අප්‍රේල් 26 වැනිදා ඔහුගෙන් කළ සාමූහික ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

රටේ මැතිවරණ පැවැත්වීම අනවශ්‍ය බවට කල්පනා කරන විපක්ෂය COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය එක්ක කරන පටු දේශපාලනය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

පරණ පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට විපක්ෂය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සහ ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා මගින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති ලිපියේ වැඩි දුරටත් සඳහන් වන්නේ COVID-19 වසංගතය පාලනය කර මර්දනය කිරීම සඳහා මුළු රාජ්‍ය තන්ත්‍රයම කැප වී ඇති අවස්ථාවක විපක්ෂය මෙසේ වගකීම් විරහිතව ක්‍රියා කිරීම අතිශය කණගාටුවට කරුණක් බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා මගින් හිටපු සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති එම ලිපිය සාම්පූර්ණයෙන් මෙසේය.

 “ගරු ප්‍රේමදාස මැතිතුමනි,

විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.

ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ.

එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි.

අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන්වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදුවන බවත්, ඒ අනුව 2020 මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අති බවත්ය.

එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත්, 2020-03-02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020-04-25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020-06-20 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙස ද මා වෙත උපදෙස් ලැබී ඇත.

තවද, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70(7) අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.

මෙයට – විශ්වාසී, පී.බී. ජයසුන්දර, ජනාධිපති ලේකම්”    

 

Advertiesment