Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂාව ජනපති නියෝගයෙන් තහවුරු කෙරේ


2020-04-28 5113

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹලා 

 

"ජනතාව සේම ත්‍රිවිධ හමුදාව වෛරසයෙන් බේරිය යුතුයි" -ජනපති-

 

(සුජිත් මංගල ද සිල්වා)    

 

රට පුරා හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විටත් සිය රාජකාරි, මෙහෙයුම් සහ වැඩ කටයුතු ආරම්භ කර තිබේ. 

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපතිවරයා මේ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටු වූයේ විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (27) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුවය. 

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මග පෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් කොට, එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ වගකීම සහ කාර්ය භාරය මෙම නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පැවරී තිබේ. 

ජනතාව සේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත් වන අතර ආසාදිතයන් සමග සමීපව වැඩ කිරීමට සිදු වන කණ්ඩායම් ගැන විශේෂ අවධානය යොමු කර රෝගීන් රෝහලටත් ඔවුන් සමග සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

 එමෙන්ම උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ප්‍රධානතම සහ ප්‍රමුඛතම කාර්ය භාරය විය වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම බව ද ජනාධිපතිවරයා මෙම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ යළි යළිත් සිහිපත් කර ඇත. 

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට විශේෂඥ කණ්ඩායම මඟින් කඩිනමින් වාර්තාවක් ලබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වය දීම සඳහා කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කිරීමට තිබෙන අවශ්‍යතා මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ.

Advertiesment