Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


හමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක


2020-04-28 4272

(කේ.ඩබ්ලියු ජනරංජන)

කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අපේ‍්‍රල් 19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම් දැන් සීසීකඩය. දැන් දිනකට ආසාදිතයන් වාර්තා වන්නේ ඉහළ ගණනකිනි. ඒ ආසාදිතයන් අතරින් බහුතරය හමුදා සාමාජිකයන් වීම ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ.

අපේ‍්‍රල් 26 වැනිදා මේ වන තෙක් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා විය. ඒ 63කි. එදින වන විට සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 523කි. 26 වනදා වන විට වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95කි. ඉන් 68 දෙනකු කඳවුර තුළ සිටින අතර, 27ක් නිවාඩු ගොස් සිටියහ. තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ඇඳිරි නීති දිනයක් විශේෂයෙන් ප‍්‍රකාශ කර, හමුදා සාමාජිකයන් එක් තැනකින් තවත් තැනකට යෑම අවහිර කර, සියලූ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර, ඔවුන් බැරැක්ක වෙත කැඳවාගැනීමට කටයුතු කරන්නට ආණ්ඩුවට සිදුවිය.

අවාසනාවකට මෙන්, මේ මොහොත වන විට, රටේ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙන්ම, වාහකයන් පිරිස බවට පත්ව සිටින්නෝ හමුදා සාමාජිකයෝය. ඒ අතර නාවික හමුදාවේ, විශේෂ බලකායේ, ගුවන් හමුදාවේ මෙන්ම යුද හමුදාවේද සාමාජිකයෝ සිටිති.

මේ තත්වයට අනුමාන කළ හැකි හේතු පැහැදිලිය. එකක්, නිසි සෞඛ්‍යාරක්‍ෂක ක‍්‍රම භාවිත කරන්නේ නැතිව, කෝවිඩ් 19 ආසාදිතයන් හා ආශි‍්‍රතයන් සමග සමීපව ඔවුන් කටයුතු කිරීමය. දෙක, ආසාදිතයන් හා ආශ‍්‍රිතයන් සමග කටයුතු කළ හමුදා සාමාජිකයන් ඔවුන්ගේ නේවාසික කඳවුරු තුළට ගැනීමේදී නිසි සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් නොසලකා කටයුතු කිරීමය. තුන, කඳවුරු තුළදී, වයිරසය එකකුගෙන් අනෙකකුට සම්පේ‍්‍රෂණය වීමෙන් වැළකීමේ ආරක්‍ෂිත ක‍්‍රමවේද නිසි භාවිතයට නොගැනීමය. විශේෂයෙන්, වයිරසය ආසාදිත හා ආශ‍්‍රිත පිරිස සමග ගනුදෙනු කර, නැවත කඳවුර වෙත පැමිණි පිරිස, කඳවුර තුළදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්‍ෂක ක‍්‍රමවේද භාවිත කෙළේද යන්න සොයා බැලිය යුතුය. හතර, එවැනි හමුදා සාමාජිකයන් අනිවාර්යයෙන්ම යටත් කළ යුතු වයිරස ආසාදනය වීම පිළිබඳ දෛනිකව පරීක්‍ෂණ නොකිරීමය. එසේ විණි නම්, යම් අවදානමක් හටගැනෙන අවස්ථාවකදී වහාම හඳුනාගැනීමට ඉඩ තිබිණ. පහ, එවැනි අවදානමක සිටින හමුදා සාමාජිකයන්ට, නිවාඩු ලබා රිසි සේ නිවෙස්වලට යාමටත්, නිවෙස් ආශ‍්‍රිතව හා පිටත නිදහසේ හැසිරීමටත් අවස්ථාව දී තිබීමය.

මේ කිසිවක් ආසාදිත හමුදා සාමාජිකයන්ගේ වැරදි නොවේ. ඔවුන් කර ඇත්තේ ඉහළින් තමන්ට එන අණ ක‍්‍රියාත්මක කරමින් රාජකාරිවල යෙදීමය. තමන්ට සෞඛ්‍යාරක්‍ෂක ඇඳුම් හා උපකරණ අවශ්‍යදැයි සමහර විට ඔවුන් නොදැන සිටින්නට ඇති අතර, දැන සිටියත්, ඒවා නැතිව රාජකාරි කරන්නට නියම වූ විට වුණත්, ඊට එරෙහි වන්නට ඔවුන්ට අයිතියක්, අවකාශයක් නැත. ඒ නිසා, මේ පිරිස මෙලෙස අවදානමට හෙළීම ගැන වගකීම, හමුදාවේ ඉහළ නිලවල අය මෙන්ම, හමුදාවල සිටින වෛද්‍ය අධ්‍යක්‍ෂවරුන්ද ගත යුතු නොවේද? විශේෂයෙන් වෛද්‍ය අධ්‍යක්‍ෂවරුන්ගේ අධීක්‍ෂණය මේ පිරිස වෙත ප‍්‍රමාණවත් පරිදි ලැබී නැති බව පැහැදිලි වෙයි.

ඒ නිසාම, ත‍්‍රිවිධ හමුදාවේ සෞඛ්‍යය ගැන බලන්නට එයාර් මාෂල් රොෂාන්ත ගුණතිලක පත්කරන්නට සඳුදා රාත‍්‍රියේ ආණ්ඩුව තීරණය කෙළේය. මේ තීරණයද ආණ්ඩුව පසුගිය කාලයේදී පෙන්නුම් කළ අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසීමේ පිළිවෙතේම දිගුවකි. ඔහු පත්කෙරෙන විට, හමුදාවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව ……… කි. ඔවුන්ගෙන් ආසාදනය වුණු සංඛ්‍යාව තවමත් ගණන් බලා නැත.

හමුදා කඳවුරක් තුළ වසංගතයක් බෝවීම වූකලි, සාමාන්‍ය සමාජය තුළ බෝවීමේ රටාවට හාත්පසින්ම වෙනස් බව අලූතෙන් කිවයුතු නොවේ. ඔවුන්ගෙන් පිරිසක්, කඳවුරෙන් පිටතට පැමිණ, රට පුරා සැරිසැරීම නිසා සිදුවන හානිය කෙතරම් භයානකද?

මේ තත්ත්වයට, හමුදා ප‍්‍රධානීන්ටත් එහා යන වගකීම භාරගත යුත්තේ ජනාධිපතිවරයාත්, කොරෝනා වසංගතයට එරෙහිව ඔහු විසින් පත්කරන ලද යුද හමුදාපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත කාර්ය සාධක බලකායත්ය.

සමස්තයක් හැටියට ගත්විට, මේ ලැබෙන්නේ හමුදාමය මනසකින් වසංගතයක් මර්දනය කරන්නට ගොස් ආණ්ඩුව ඇතිකරගන්නා දුර්විපාක බව පෙනෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට, වසංගතය මැඬලීමට තිබුණේ හමුදාමය ප‍්‍රවේශයකි. ඒ ඔහුට හුරුපුරුදු, පුහුණු කළ ක‍්‍රමවේදයයි. අන් කිසිම රටක නොකළ හැටියට, ඒ සඳහා පිහිටුවන ලද කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා බවට පත්කරන ලද්දේ යුද හමුදාපතිවරයාය. ඒ, මෙවැනි ව්‍යසන අවස්ථාවකදී ඉතා පලදායකව යොදාගත හැකි, නීතිමය බලයක් හා ආයතනමය ව්‍යුහයක් ස්ථාපනය කර තිබෙන, 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත නොසලකා හරිමිනි. එතැන් පටන්, කොරෝනා වසංගතයට එරෙහි ක‍්‍රියාකලාපය හමුදා ක‍්‍රියාන්විතයක් බවට පත්විය. නිරෝධායනය හමුදාවට භාරදුන් අතර, නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමත්, ඒවා පාලනයත්, ඒවාට පුද්ගලයන් යොමුකිරීමත්, පහසුකම් සැපයීමත් හමුදාවට බර තබා කරන ලදි. එම කාර්යයන්වලදී හමුදාව උත්කර්ෂයට නැංවීම සඳහා මහා මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කරන ලදි. නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතට එන පුද්ගලයන්, සෞඛ්‍ය බලධාරීන්ට වෙනුවට, හමුදාවට පින් දෙන, හමුදාව වර්ණනා කරන ප‍්‍රකාශ නිතර දෙවේලේ මාධ්‍ය විසින් ප‍්‍රචාරය කර හරින ලදි. ආසාදිතයන් හා ආශ‍්‍රිතයන් සොයායෑම ‘බුද්ධි අංශවල’ මහා මෙහෙයුමක් බවට ප‍්‍රචාරය කරවන ලදි.

සෞඛ්‍ය ක‍්‍රියාවලියේ දී ප‍්‍රජාව සමග නිරන්තරයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, ආසාදිතයන් හා ආශි‍්‍රතයන් සොයා කළ මහන්සිය වෙනුවට ඉහළට ගැනුණේ හමුදාවේ බුද්ධි අංශ විස්කම්ය. කෙටියෙන් කිවහොත්, වසංගත රෝගීන් සමග මුළුමනින්ම අවදානම් පසුබිමක, මුහුණට මුහුණ ලා කටයුතු කරන වෛද්‍ය, හෙද හා අනෙකුත් සෞඛ්‍ය අංශවල සාමාජිකයන්, වසංගතය මැඞීමේ තීරණාත්මක වැඩකොටසක් නොකරන්නේද යන පැනය සාමාන්‍ය මිනිසුන් තුළ පවා පැනනැගෙන්නට මේ මවාපෑම් හේතුවන්නට ඇත. වසගංතය මර්දන ක‍්‍රියාවලිය ඒ ගැන දන්නා වෛද්‍ය හා අනෙකුත් විශේෂඥයන්ට මුල්තැන දී ඔවුන්ගේ උපදෙස් අනුව කරනවා වෙනුවට හමුදාවේ මූලිකත්වයෙන් කරන බවක් පිටතට පෙනීගියේය.

එහි උපාය මාර්ගය පැහැදිලිය. යුද්ධය ජයගත්තාක් මෙන්ම, හමුදාව යොදවා කෝවිඩ් වසංගතයත් අපි ජයගත්තෙමුය යන්න මහමැතිවරණයට ආයෝජනය කිරීමත්, මිලිටරියට බර තබන අධිකාරවාදී පාලනයක් පවත්වාගෙන යෑම සඳහා තල්ලූවක් ලබාගැනිමත්ය.

එහෙත්, දැන් මතුවන අවාසනාවන්ත තත්ත්වය නම්, හමුදාව ඒ අවදානම් කාර්යයන් සඳහා යොදවා ඇත්තේ නිසි පරිදි සෞඛ්‍යාරක්‍ෂක උපක‍්‍රම හා පහසුකම් ඔවුන්ට ලබාදෙන්නේ නැතිවය යන්නයි. එයින් අවදානමට ලක්වුණු ඒ පිරිසට, හිතුමගේ නිවෙස්වලට යන්නටද ඉඩදීමෙන්, රට පුරා අවදානමක් ජනිත කිරීමට ඉඩකඩ සලසා දෙන ලද බවද පෙනේ.

යුද්ධයකදී සතුරා එක්කෝ පෙනෙයි. නැතිනම් සැඟව සිටියි. ලූහු හෝ බර ආයුධවලින් පහරදීමෙන් සතුරා අඩපණ කළ හෝ විනාශ කළ හෝ හැකිය. ප‍්‍රහාරයෙන් පසු ප‍්‍රතිඵලය පැහැදිලිය.

එහෙත් වසංගතයක් සම්බන්ධයෙන් එසේ නොවේ. ආයුධ ප‍්‍රහාරවලින් වසංගතයක් මැඬපැවැත්විය නොහැකිවා පමණක් නොව, කිසිවකු නොදැකම විෂබීජ තමන්ගේ ශරීරයේ එල්ලෙන්නට පිළිවන. එය තේරුම් ගැනීමට, යුද්ධයේදී දෙන පුහුණුව ලබාදී වසංගතය ඉදිරියට පැමිණවූ හමුදා සාමාජිකයන්ට නොහැකිය. එය වෙනම විiාවකි. එවැනි මෙහෙයුමකට යන විට, ඇසට පෙනෙන සතුරකු ගැන නොව, ඊටත් වඩා භයානක නොපෙනෙන සතුරකු ගැන සිතා ඊට ගැළපෙන ලෙස ආයුධවලින් නොව, සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවලින් සන්නද්ධව යා යුතුය.

එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, මේ සොල්දාදුවන් වසංගතය සමග යුද්ධයට යැව්වේ, ඔවුන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය වන ආරක්‍ෂාවන් කිසිවක් නැතිව බව දැන් පෙනෙන දෙයින් දැනගන්නට ලැබේ.  එහි වගකීම භාරගත යුත්තේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් මිස අන් කවුරුන්ද?

 

-අනිද්දා පුවත්පත- 

Advertiesment