Sunday 5th of July 2020

English Tamil
Advertiesment


වියට්නාමය COVID-19 ජය ගත්තේ මෙහෙමයි


2020-04-28 4446

සමාජ දුරස්ථභාවය ක්ෂණිකව ඇති කළා 

 

ප්‍රභූ දරුවන් එන තුරු බලා නොසිට ගුවන් තොටුපොළ නිසි කලට වැසුවා

 

 "SARS" සහ  "H1N1" වසංගතවල අත්දැකීම් අනුව ක්‍රියා කළා 

 

අඩු ආදායම්ලාභීන්ට නොමිලයේ ආහාර 

 

රට පුරා P.C.R පරීක්ෂණ මෙහෙයුමක් ඇරඹුවා 

 

බහුතරය නිරෝධායනය කළා 

 

රෝගීන් 270යි-225ක් සුව වෙලා-මරණ නැහැ

 

 
(රසල් සී.පී බණ්ඩාරවත්ත)    

 

ආසියාවේ නිරිතදිග කලාපයේ රටවල COVID-19 වෛරස ආසාදිතයින් දහස් ගණනින් වාර්තා වන විට, චීන දේශ සීමාවේ පිහිටි වියට්නාමයේ තවමත් වාර්තා වී ඇති රෝගීන් ගණන 270 ක් වන අතර සුවය ලැබූ පිරිස 225 කි. මේ වන තෙක්ම කිසිදු පුරවැසියෙකු මේ වෛරසය ආසාදනය වීමෙන් එරට දී  මරණයට පත් වී නැත. එම තත්ත්වය සුවිශේෂී කරුණකි.

වියට්නාමය වෛරසය නිවැරදිව පාලනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් කතිකාවක් ආරම්භ වී ඇත. 2003 දී  "SARS" සහ 2009 දී  "H1N1" වැනි ඵෙතිහාසික වසංගත තත්ත්වයන්හි අත්දැකීම උකහා ගනිමින්, අසල්වැසි චීනයේ වෛරසය පැතිර යන විටම ක්ෂණිකව සමාජ දුරස්ථභාවය ඇති කර රටට අවැසි තීන්දු තීරණ ඉතා දැඩි ලෙස පැනවීමට එරට වාමාංශික අගමැතිවරයා වන "Nguyen Xuan Phuc" සමත්වීමේ ප්‍රතිඵලය මෙම සාර්ථකත්වය පිටු පස රැඳී ඇත. 

අසල්වැසි චීනයේ සහ අවට රටවල වෛරසය හිස ඔස වන විටම වියට්නාමය එරට සියලු ගුවන් තොටුපොළවල් වසා දැමුවේ ශ්‍රී ලංකාවේ බලධාරීන් වගේ ධම්මික පෙරේරාගේ සහ මහින්ද අමරවීරගේ දූ දරුවන් එංගලන්තයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසුව වැනි පතෝල තීරණ යටතේ නොවේ.

රටම "locked down" කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනෙන අදාළ පරික්ෂණයන් දස දහස් ගණනින් පැවැත්වූ අතර දහස් ගණන් ජනයා නිරෝධායන කඳවුරුවලට ගාල් කරන ලදී. වසංගත තත්ත්වය ඉතා යුහුසුළුව සහ නිවැරදිව කළමණාකරණය කරමින් වසංගතය රටේ පැතිර යාම මැඩලීමට වියට්නාමය ගත් සහ ගනිමින් සිටින පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වෙමින් තිබේ.

රට වසා තැබූ කාලයේ දී අඩු ආදායම්ලාභින්ට සිය කුස ගින්න නිවා ගැනීම පිණිස සහල් නොමිළයේ ලබා ගත හැකි කුටි සෑම ප්‍රදේශයකම පිහිටුවා ඇත. එම කුටි හඳුන්වනු ලැබුවේ "Rice-ATM" ලෙසය. 1968 දි උතුරු වියට්නාමයේ වියට්කොන් භටයින් විසින් දකුණු වියට්නාමයේ නගර 100 ක් යටත් කර ගැනීමේ නොනවතින සංග්‍රාමය හැඳින් වූයේ "Tet Offensive" ලෙසය. ඒ අනුව යමින් එරට අගමැතිවරයා මෙවර කොරෝනා මර්දන සටනද නම් කළේ එවැනි අර්ථයකිනි. එම සටන "Spring general Offensive of 2020" ලෙස නම් කර සිය රටේ ජනයා අවදි කරමින් කොරෝනාවට එරෙහිව වියට්නාමය මෙහෙයවීමේ ගෞරවය පටු දේශපාලන අරමුණුවලින් තොර එරට නිවැරදි දේශපාලන නායකත්වයට නිතැතින්ම හිමිවේ.

Advertiesment