Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


පී.සී.ආර් මගින් COVID-19 ආක්‍රමණය කරනු-ඒ හැර විකල්ප නැහැ 


2020-04-27 9790

P.C.R පරීක්ෂණ කිසිසේත් ප්‍රමාණවත් නැහැ 

 

ශ්‍රී ලංකාව සිටින්නේ සති 3ක් පසු පසින් 

 

සෞඛ්‍ය අධ්‍යක්ෂගේ 1500 සීමාවටවත් පරීක්ෂණ ඇවිත් නැහැ 

 

පරීක්ෂණවල ප්‍රමාදය ජන ජීවිතයට බලපානවා 

 

පොකුරු අවස්ථාව වැඩි වුණොත් රෝගය පාලනයෙන් ගිළිහී යනවා 

 
 
(සුජිත් මංගල ද සිල්වා) 

 

COVID-19 වසංගතය සහ එහි ව්‍යාප්තිය  මර්දනය කළ හැක්කේ P.C.R පරීක්ෂණ ආක්‍රමණශීලිව සහ නැවත නැවත සිදු කරමින් සැඟව සිටින ආසාදිතයින් හැකි තරම් හඳුනා ගැනීමෙන් පමණක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කර සිටියි.

ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන  P.C.R පරීක්ෂණ ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර මෙසේ පරක්කු වන හැම දවසක් පාසාම සිදු වන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරෙන ක්‍රියාවලියත් පරක්කු වීම යැයි පෙන්වා දෙන හරිත අලුත්ගේ මහතා ඒ අනුව ප්‍රධානම සහ වැදගත්ම කාරණය වන්නේ වහාම පරීක්ෂණ වැඩි කිරීම යැයි ද පවසයි.

දවසකට P.C.R  පරීක්ෂණ 1500ක් කරන්න හැකියාව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාම කියා සිටියත් එම පරීක්ෂණ සංඛ්‍යාවවත් සිදු නොවීම කණගාටුවට කරුණක් බව ද  හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේය.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ රටේ උද්ගත වී ඇති වසංගත තත්ත්වය සම්බන්ධයෙන් "lankanewsweek" කළ විමසීමකට පිළිතුරු දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද සඳහන් කළේය.

"රෝගීන් හඳුනා ගැනීමට හැකි වන්නේ පරීක්ෂණ කළොත් විතරයි. මේ රෝගයේ තිබෙන ප්‍රධානම ලක්ෂණය වන්නේ අවිනිශ්චිතභාවයයි. මේ රෝගය තිබෙන 80%ක් සඳහාම එක්කෝ රෝග ලක්ෂණ නැහැ...එසේ නොමැති නම් තිබෙන්නේ ඉතා කුඩා රෝග ලක්ෂණ සංඛ්‍යාවක් විතරයි. ඒ අනුව තමාට මේ රෝගය නොමැතිව බව නිශ්චිත ලෙස කියා සිටීමට කිසිවෙකුට හැකියාවක් නැහැ.

ඒ මන්ද මේ තත්ත්වය යටතේ දැනට සිදු කරන පරීක්ෂණවලින් අපට හමු වන බහුතර රෝගීන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒ අයට රෝගය තිබෙන බව ඒ අය දන්නේත් නැහැ.මේ තත්ත්වය මේ රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට එක් හේතුවක් වී තිබෙනවා. ඒ එක රෝගියෙක් ඇති රටක්ම විනාශ කරන්න...මේ  අවිනිශ්චිතභාවය නැති කිරීමට නම් අප කළ යුත්තේ සැඟවී සිටින රෝගීන් හඳුනා ගැනීමයි.  

යම් අයෙකුට රෝග ලක්ෂණ මතු වුණොත් වහාම ප්‍රතිකාරවලට ගොස්  පරීක්ෂණවලට යොමු වෙලා තමාට COVID-19 වෛරසය අසාදනය වී තිබෙනවා ද නැද්ද යන්න පිළිබඳව දැන ගැනීමට ඔහුට හෝ ඇයට සමාජමය වගකීමක් තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නේ වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ මතු නොවීමයි. එවිට ඒ සම්බන්ධ වගකීම පුද්ගලයාට නොව බලධාරීන්ට යි. ඒ කියන්නේ සෞඛ්‍ය අංශවලටයි. ඒ අනුව සැඟවී සිටින රෝගීන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට වැඩ පිළිවෙළක් තිබෙන්න ඕනෑ. ඒ සඳහා තිබෙන එක වැඩ පිළිවෙළක් වන්නේ රෝගීන් හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළ පුළුල් කිරීමයි. 

ඒ අනුව පී.සී.ආර් පරීක්ෂණය හරහා පුළුවන් තරම් මේ රෝගීන් හඳුනා ගන්න ඕනෑ. ආක්‍රමණශීලී ආකාරයට මේ පී.සී.ආර් පරීක්ෂණය කරන්න ඕනෑ. මේ පරීක්ෂණ ආක්‍රමණශීලීව සේම නැවත නැවත සිදු කළ යුතු වනවා. දෙවැනි කාරණය වන්නේ ඒ පරීක්ෂණයේ සංවේදීතාව 70%ක් වන නිසා 30%ක් රෝගීන් මග හැරීමට ඉඩකඩ පැවතීමයි. ඒ නිසා ජනයා නැවත නැවත පරීක්ෂාවට ලක් කරන්න ඕනෑ. ඒ කියන්නේ තෝරා ගත් නිශ්චිත කාල සීමාවක් ඇතුළතදී එක් අයෙකු දෙතුන් වරක්වත් පරීක්ෂණයට ලක් කළ යුතුයි.

රෝගීන් පොකුරු සංඛ්‍යාව අපේ පාලනය යටතේ තුරු අපට රෝගීන්ගේ පාලනය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව තිබෙනා. තවම අපට තිබෙන්නේ මතක තබා ගත හැකි පොකුරු සංඛ්‍යාවක් විතරයි. ගම්පහ, ජා-ඇල සුදුවැල්ලේ රෝගී පොකුරක් සටිනවා. කළුතර, බේරුවල සහ කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවතේ තවත් රෝගී පොකුරු දෙකක් තිබෙනවා.මෙලෙස මතකයෙන් කියන්න හැකි රෝගී පොකුරු ගණනක් සිටින තුරු  කළමනාකරණය කර ගන්න ලේසියි. නමුත් බැරි වෙලාවත් පිළියන්දල, බොරලැස්ගමුව, පොළොන්නරුව ආදී ලෙස වාර්තා වන රෝගීන්ගෙන් රට පුරා රෝගී පොකුරු ගණන වැඩි වී කළමනාකරණය කර ගන්න බැරි පොකුරු සංඛ්‍යාවක් හැදුණොත් එදාට රෝගයේ අපේ පාලනයෙන් ගිළිහී යනවා.

COVID-19 වෛරසය අසාදිත පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන මේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු බවට ජනාධිපතිවරයාට සහ රටට අප කරනු ඉදිරිපත් කළේ 2020 මාර්තු 31 වැනි දා යි. ඒ වෙලාවේ ගොඩක් අය අපේ එම මතය අවඥාවට ලක් කළා. එහෙත් එම වැඩ පිළිවෙළ වහාම ක්‍රියාත්මක කළ යුතු බව මේ වන විට ඒ සියලු දෙනාම  පිළි ගන්නවා. 

මේ වසංගතය සහ එහි ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඇත්තටම ජනාධිපතිවරයාත් මැදිහත් වෙලා බොහෝ දේ කළා. ගුවන් තොටුපොළ වසා දැමීම, සමාජ  දුරස්ථභාවය ඇති කරන්න ඇඳිරි නීතිය පැනවීම, රාජකාරි ස්ථාන වැහීම, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීම ඇතුළු සියල්ල කළා. යම් යම් අතපසුවීම් වුණත් නිරෝධායන කටයුතු ආදියත් ක්‍රියාත්මක කළා. නමුත් පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රියාවලිය වහාම වේගවත් කරන ලෙස අප 2020 මාර්තු 31 වැනිදා  කියා සිටියත් එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 2020 අප්‍රේල් 19 වැනිදායි.  

ඒ අනුව රටක් ලෙස අප සිටින්නේ සති තුනක් පිටි පස්සෙනුයි. අඩුම තරමේ අදවත් ඒ පරීක්ෂණ වැඩි කර ඒ වැඩ කටයුතු හරියට කරන්න ඕනෑ. දවසකට පී.සී.ආර් පරීක්ෂණ 1500ක් කරන්න හැකියාව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාම කියා සිටියත් එම පරීක්ෂණ සංඛ්‍යාවවත් සිදු වන්නේ නැහැ. ඒ පරීක්ෂණ ප්‍රමාණය සිදු කිරීමට නොහැකි බාධක, අඩුපාඩු සහ ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගැන ජනාධිපතිවරයාට සහ රටට කියා ඒ සඳහා විසඳුම් ලබා ගන්න ඕනෑ. මේ පරක්කු වන හැම දවසක් පාසාම සිදු වන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරෙන ක්‍රියාවලියත් පරක්කු වීමයි. ඒ නිසා ප්‍රධානම සහ වැදගත්ම කාරණය වන්නේ වහාම පරීක්ෂණ වැඩි කිරීමයි." 

Advertiesment