Monday 21st of September 2020

English Tamil
Advertiesment


රට ජය ගත යුත්තේ මැතිවරණය ද කොරෝනා මාරයා ද..?


2020-04-27 7161

බැංකු ඇතුළු මුල්‍ය ආයතන ජනයා පස්සෙන් එළවන්නේ පොළී මුදලාලිලා වගෙයි

 

කිසිම හිතක් පපුවක් ඇත්තේ නැහැ-රජය මැදිහත් විය යුතුයි    

 

වසංගත යුද්ධය අතරේ ආර්ථික යුද්ධයත් ජය ගත යුතුමයි

 

රුපියල් 5000න් මුළු ජීවිතයම ගොඩ දැමීමට බැහැ 

 

දවසකට පරීක්ෂණ 3000ක් ඕනෑ 

 

රටේ ආර්ථිකයටයි-මිනිස්සුන්ගේ නිවෙස්වලටයි අහිමි වූ මුදල් උත්පාදනය කළ යුතුයි  

 

වසංගතය මඩින වෛද්‍ය-සෞඛ්‍ය-පොලිසිය- ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කළ යුතුයි

 

දුරකථන සබදතා විසන්ධි නොකිරීම ගැන එම ආයතනවලට ස්තුතිය  

 

පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නොවන්නේ නම් භාරකාර ආණ්ඩුවත් නීති විරෝධීයි

 

එජපයේ "Deal" කාරයන් හෙළි වුණා-පක්ෂය පිරිසිදු වුණා 

 

(සුජිත් මංගල ද සිල්වා)  

 

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ද, විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් ද, මේ මොහොතේ කළ යුත්තේ මහ මැතිවරණය ගැන කතා කරමින් එම මැතිවරණය ජනයාගේ මළ මිනී මතින් හෝ ජය ගැනීමට අවශ්‍ය පිඹුරු පත් සැකසීම නොව රටත්-ජාතියත් වෙලා ගෙන සිටින COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය කෙසේ හෝ ජය ගැනීමට යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා අවධරණය කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජන මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මේ බව කියා සිටී රවී කරුණානායක එහිදී වැඩි දුරටත් කරුණු හෙළිදරව් කරමින් මෙසේ ද කීය.

"ජනතාවට සහන සලසන ලෙසට නියෝග කරමින් ආණ්ඩුව රටේ විවිධ ආයතන වෙත විවිධ චක්‍රලේඛ නිකුත් කර ඇති නමුත්, තවමත් බැංකු ක්ෂේත්‍රය ඒ නියෝග පිළි ගනිමින් ජනතාවට ඒ සහන ලබාදී නැහැ. මේ වකවානුවේදී ජනතාවට මූල්‍යමය දුෂ්කරතා ඇතිවී තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්නයක් නිසා නොව රටත් ලෝකයත් වෙලා ගෙන සිටින COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය නිසයි.   

ඒ නිසා රාජ්‍ය සහ පුද්ගලික බැංකු ද, ලීසිං සමාගම් ද ඇතුළු සියලු මුල්‍ය සමාගම්වලින් අන්ත අසරණ  අහිංසක ජනතාවට එල්ල වන පීඩාවන්ගෙන් ඔවුන් බේරා ගැනීමට රජය වහාම මැදිහත් විය යුතුයි. කොරෝනා වසංගත යුද්ධයෙන් දිනලා, ආර්ථික වසංගත යුද්ධයෙන් රටක් ලෙස අප පරාජය වුණොත් අපට සිදු වන්නේ කුමක්ද..?  ඒකත් හරියට කොරෝනා හැදුනා වාගෙ වෙනවා නේද..?  ඒ නිසා, කිනම් යුද්ධය දිනුවත්, ආර්ථික යුද්ධය දිනන්නත් අප  කටයුතු කළ යුතුමයි. 

වෛරසය මර්දනය කරමින් ජය ගන්නා ගමන්ම අප අපේ රටේ ආර්ථික යුද්ධය ද ජය ගතයුතුයි. මේ වන විට ප්‍රපාතයට ඇද වැටී තිබෙන මේ රටේ ආර්ථිකය, යළි නගා සිටුවීම සඳහා අප සියලු දෙනාම එකට එක් විය යුතුයි. මේ වනවිට යම් යම් පිරිස්වලට රුපියල් 5000ක දීමනාවක් ලැබිලා තිබෙනවා. ඒ ආකාරයෙන් ජනතාවට සුබ සාධනය සැලසිය යුතුයි. නමුත් ඒ රුපියල් 5000 ක දීමනාව ලබාදීමෙන්ම පමණක් සියල්ල අවසන් නොවන අතර ඒ මුදලින් ජනතාවගේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට ද හැකියාවක් නැහැ.

රටේ ආර්ථිකය යළි ගොඩනගා ජනතාවගේ ගෘහස්ථ ආර්ථිකයට පණ පෙවීම සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් රැසක් තිබෙන නිසා ආර්ථික යුද්ධය ජය ගත හැකි ජාතික වැඩ පිළිවෙළක් ඇති කළ යුතුමයි. මේ වසංගත තත්ත්වය හමුවේ රටක් වශයෙන් අපේ ජාතික ආර්ථිකයට සහ ජනයාගේ ගෘහස්ථ ආර්ථිකයට අහිමි වූ මුදල් යළි උත්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප විමසා බැලිය යුතුයි. මේ වන විට රටේ උද්ගත වී තිබෙන්නේ කතා කර කර කාලය නාස්ති කරන අවස්ථාවක් නොව මේ භයංකාර තත්ත්වයෙන් ගොඩ එන්න සියලු දෙනාම සියලු භේද පසෙක තබා එකට එක්ව වැඩ කළ යුතු කාලයක් බව කිව යුතුයි.  

වසංගතයේ මුල් අවස්ථාවේදී ආරක්ෂා වෙලා තිබුණ කොළඹ නගර සීමාවේ බොහෝ ප්‍රදේශවලත් මේ වන විට මේ වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙන අතර එම තත්ත්වයට හේතු වී තිබෙන්නේ විවිධ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයගේ අදූරදර්ශී, වගකීම් විරහිත සහ අවස්ථාවාදී ක්‍රියා කලාපයයි. මේ වන විට රටටත් මුළු ලෝකයටමත් සටන් කරන්න සිදුව තිබෙන්නේ, ඇහැට පෙනෙන සතුරෙකු සමග නොව ඇහැට නොපෙනෙන සතුරෙකු එක්කයි. මේ උද්ගත වී තිබෙන තත්ත්වය වඩාත්ම භයානක ඒ නිසයි. දේශපාලන පක්ෂ, ජාති, ආගම්, වයස, ඇති හැකි සහ නැති බැරි යන කිසිදු භේදයකින් තොරව මේ සතුරා අපට එරෙහිව පොදුවේ සටන් වදින නිසා අප වඩාත් කලපනාකාරීව කටයුතු කළ යුතුයි. 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා ද නැද්ද යන්න පිළිබඳව ජනතාවට පරීක්ෂා කර ගැනීම සඳහා රට පුරා ජංගම පරීක්ෂණ ඒකක ඇති කළ යුතු අතර වෛරසය හඳුනා ගැනීම දිනකට සිදු කරන පරීක්ෂණ ගණන වෛද්‍ය සහ සෞඛ්‍ය උපදෙස් මත අවම වශයෙන් 3000 දක්වාත් වැඩි කළ යුතුයි. විශේෂයෙන් මේ වසංගතය ව්‍යාප්ත වීම වැළක්වීමේ රාජකාරියේ යෙදී සිටින අපේ වෛද්‍ය, සෞඛ්‍ය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කර ගත යුතු අතර අපට අවශ්‍ය වන්නේ සහ අප ක්‍රියා කළ යුතු වන්නේ වෛරසය මර්දනය කිරීමට පමණක් නොව මුළුමනින්ම විනාශ කිරීමටයි.

එමෙන්ම මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුත්තේ සහ කතා කළ යුත්තේ මහ මැතිවරණය පැවැත්වීම හෝ පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන නොවන බව තරයේ අවධරණය කළ යුතුයි. ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ද, විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් ද, මේ මොහොතේ ක්‍රියා කළ යුත්තේ මහ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය පිඹුරු පත් සැකසීමට නොව රටත්-ජාතියත් වෙලා ගෙන සිටින COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය නිසි සැලසුම් ඔස්සේ කෙසේ හෝ ජය ගැනීමටයි.

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැතැයි කිසිම කරුණු කාරණයක් පිළිබඳ බරක්පතලක් නොමැති සමරුන් කියනවා. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියන්නේ භාරකාර ආණ්ඩුවකුත් අවශ්‍ය නැහැ කියන එකයි. පාර්ලිමේන්තුව නීත්‍යානුකූල නොවන්නේ නම් භාරකාර ආණ්ඩුවත් නෛතික භාවයෙන් තොරයි. 

ජනයාගේ දුරකථන සම්බන්ධතා මේ අවස්ථාවේ විසන්ධි නොකිරීම පිළිබඳව දුරකතන සේවා ආයතනවලට අප ස්තූතිවන්ත වෙනවා. ජනතාවට මේ අවස්ථාවේ බිල්පත් ගෙවීමේ දුෂ්කරතා තිබෙනවා. ඒ  නිසා මෙම පීඩාකාරී කාලසීමාවේ දී අහිංසක ජනතාවගේ දුරකථන සබදතා විසන්ධි නොකරන ලෙස අප කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අපේ පරම යුතුකම සහ වගකීම වන්නේ ජනතාව ආරක්ෂා කිරීමයි. ඒ හරහා  රට ආරක්ෂා කළ යුතුයි.

කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටලු. ඒ වගේම නියම එක්සත් ජාතික පාක්ෂිකයින් කවුරුන් ද, ආණ්ඩුව එක්ක "Deal" දේශපාලනයක යෙදී සිටින්නේ කවුරුන් ද, කියා  මේ අවස්ථාවේ අපට පැහැදිළිව දැක ගත හැකියි. එදා මහාමාන්‍ය ඩී. එස් සේනානායක ශ්‍රීමතාණන් ප්‍රධාන අපේ නායකයින් සිය දිවි කැප කරමින් ඉතා අසිරුවෙන් ගොඩනගා මෙතෙක් කලක් රැක ගෙන ආ එක්සත් ජාතික පක්ෂය, ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම අපේ යුතුකමයි"  

 


 

Advertiesment