Saturday 26th of September 2020

English Tamil
Advertiesment


වසංගතයේ වර්ධනය සහ හමුදා ආණ්ඩු සිහිනය


2020-04-25 2748

කොරෝනා අස්සේ එන ව්‍යවස්ථා අර්බුදයෙන් රට කබලෙන් ලිපිට 

 

හමුදා ආණ්ඩුවලට ලෝකයේ ඉඩක් නොමැත 

 

නූතන ලෝකය ව්‍යවස්ථානුකූල නොවන පාලනයන්ද පිළි නොගනී  

 

එකම විකල්පය පාර්ලිමේන්තුව යළි කැඳවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමය 

 

 
(වික්ටර් අයිවන්)

 

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ සාර්ථක තත්ත්වයක නොව අසාර්ථක තත්ත්වයකය. මුල සිටම වසංගතය ගැන යථා තක්සේරුවක් ශ්‍රී ලංකාවට නොතිබුණි. ශ්‍රී ලංකාවට වසංගතය එන්නට පෙර ශ්‍රී ලංකාව එම වසංගතය සලකන ලද්දේ කිසිසේත් අපේ රටට අදාළ නැති දෙයක් ලෙසය. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුත් එම වසංගතය සලකන ලද්දේ පහසුවෙන් මර්දනය කළ හැකි සරළ තත්ත්වයක් ලෙසය. ශ්‍රී ලංකාවට තිබුණේ එල්ටීටීඊය පැරද වූ අපට කොරෝනාව ලොකු කජ්ජක් නොවේය කියන උද්දච්ඡ ආකල්පයකි.

වසංගතය පැමිණීමෙන් පසු ඒ සමග සෙල්ලම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. වසංගතයට අඩු වැදගත්කමක් දී, ඡන්දයට වැඩි වැදගත්කමක් දුන්නේය. 2020 අප්‍රේල් 19වැනිදා ගෙන් පසු ශ්‍රී ලංකාව කොරෝනාවලින් තොර රටක් බව ප්‍රකාශ කළේය. ඡන්දයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇති බව පෙන්නුම් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කොට පාසැල් සහ විශ්ව විද්‍යාල ඇරීම සඳහා දින නියමයන්ද ඇති කළේය. 

එහෙත් ඒ සියලු ලස්සන සිහින බොඳ කරමින් වසංගතේ පරිමාව ඉහළ ගියේය. ඒ අනුව ශ්‍රී ලංකාව එම විෂයෙදී මේ වන විට තිබෙන්නේ යහපත් තත්ත්වයක නොව වසංගතය පාලනය කර ගැනීමට තිබෙන හැකියාව අහිමි කර ගත් තත්ත්වයකය. දැන් වසංගතය හැල්මේ දුවන අශ්වයෙකුට සමාන කළ හැකිය.

 
අසාර්ථකභාවයට හේතු

 

වසංගතය ප්‍රමුඛ සාධකය ලෙස නොසලකා දේශපාලන බලය පරිපූර්ණ කර ගැනීම වැදගත්ම සාධකය ලෙස සලකා ක්‍රියා කිරීම අසාර්ථකභාවය කෙරෙහි බල පෑ ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැකිය. එමගින් වසංගතය දේශපාලන අරමුණු සඳහා යොදා ගැනෙන දෙයක් බවට පත් කර ගත්තේය. මෙවැනි බිහිසුණු  ව්‍යසනයකට මුහුණ දීමෙදී ජාතික එකාග්‍රතාවයට ලැබෙන වැදගත්කම නොසලකා මුස්ලිම් විරෝධී වර්ග වාදයක් කරළියට ගත්තේය. මෙවැනි ව්‍යසනයකදී මහ ජනයාට වසංගතය ගැන අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මුළුමනින් නොසලකා හරින ලදී. දුර්වල මට්ටමෙන් කරන දැනුවත් කිරීම්වලදී පවා සිංහල නොදත් ජනතාව මුළුමනින් නොසලකා හරින ලදී. සහනාධාර ලැබිය යුත්තන් තීන්දු කළේ රජයේ නිලධාරීන් නොව ප්‍රාදේශීය දේශපාලකයින් ය. ප්‍රතිපත්ති තීන්දු කිරීම සඳහා යොදා ගත්තේද ඒ සඳහා තෝරා ගත යුතු හොදම පුද්ගලයින් නොව දේශපාලන වශයෙන් පක්ෂපාත පුද්ගලයින් ය.

 
ව්‍යවස්ථා අර්බුදය සහ හමුදා ආණ්ඩු සිහිනය

 

කොරෝනා වසංගතය වර්ධනය වෙමින් තිබෙන මේ අවස්ථාවේදී ව්‍යවස්ථා අර්බුදයක් ද ඇති කර ගත හොත් ශ්‍රී ලංකාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් ඇති වනු නොවැළැක්විය විය හැකිය. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නතැයි ද, ජනාධිපතිවරයා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේද සහාය ඇතිව කිසියම් කාලයක් රට පාලනය කළ යුතු යැයි ද කියන අදහස අදිසි හස්ථවලින් සමාජ ගත කෙරෙන වැඩ සටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ.

මේ වන විට ලෝකයේ හමුදා ආණ්ඩු කියා දෙයක් නැති බව සහ ව්‍යවස්ථානුකූල නොවන පාලනයන්ටද නූතන ලෝකයේ ඉඩක් ඇත්තේම නැති බව ශ්‍රී ලංකාවේ පාලකයින් සේම මහ ජනතාවද තේරුම් ගත යුතුය. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් 80ක හමුදා අණ්ඩු තිබුණි. ඉන් 37ක් අප්‍රිකාවේ ය. 22ක් ලතින් ඇමරිකාවේය. 21ක් ආසියාවේය. ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධයක් පැවති කාලයේදී ඒ මහා බලවතුන් දෙදෙනා තමන්ට හිතවත් හමුදා ආණ්ඩුවලට ඉඩ දුන්නේය. ඒවාහි පැවැත්මට අධාර කළේය.

එහෙත් සීතල යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතින්ගේ සංවිධානය හමුදා ආණ්ඩු සහ ව්‍යවස්ථානුකූල නොවන ආණ්ඩු සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඒවාට පවතින්නට තිබුණ හැකියාවද නැති විය. ලෝකයේ තිබුණ අවසාන හමුදා ආණ්ඩුව ලෙස සැලකෙන්නේ 2019 දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඉඩදී සමු ගත් තායිලන්ත හමුදා ආණ්ඩුවයි. හමුදා ආණ්ඩුවක් ගැන හෝ ව්‍යවස්ථාපිත නොවන ආණ්ඩුවක් ගැන සිහින දැකීම තරම් විකාරයක් තවත් තිබිය නොහැකිය.

දැන් ආණ්ඩුවට කළ හැකි හොදම දේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වළකා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නැවත කැඳවීමය. වසංගතය ජය ගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තෙක් ආණ්ඩුව අස්ථාවර කිරීමට හේතු වන කිසිවක් නොකරන බවට විපක්ෂයට පොරොන්දු විය හැකිය. ආණ්ඩුවට අවශ්‍ය නම් එම සංක්‍රමණීය කාලය සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් වුවද ඇති කර ගත හැකිය. එමගින් වසංගතය ජය ගැනීමට අවශ්‍ය දේශපාලන සහ ජාතික ඒකාග්‍රතාව ඇති කර ගත හැකිය.

එවැනි ක්‍රියා මාර්ගයකින් පවා අත්පත් කර ගත හැකි වනු ඇත්තේ සිදු වන හානිය අවම කර ගැනීම පමණය. සමස්ථ අර්බුදය ජය ගැනීමට අවශ්‍ය නම් ජරාජීර්ණභාවයට පත්ව තිබෙන සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කර ගැනීමට අවශ්‍ය කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට යාමට සිදු වනු ඇත.

Advertiesment