Monday 28th of September 2020

English Tamil
Advertiesment


ව්‍යවස්ථා අර්බුදය හැදුවේ ජනපති නොව මැතිවරණ කොමසාරිස්ය    


2020-04-25 2511

මහින්ද දේශප්‍රිය බැලුවේ බළලුන් ලවා කොස් ඇට බෑවීමටය

 

මැතිවරණ නීතියට වඩා ව්‍යවස්ථාව උත්තරීතර බව නොදත් මැතිවරණ කොමසාරිස් 

 

මහ මැතිවරණයට කොමිසම දුන් දිනය ව්‍යස්ථා විරෝධීයි 

 

ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුත්තේ මහින්ද දේශප්‍රිය විනා ජනපති නොවේ  

 

මැතිවරණ කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝණය කරලා

 

ව්‍යවස්ථා අර්බුදයේ "God Father" හඳුනා ගමු 

 

 
(සුජිත් මංගල ද සිල්වා)   

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව රටේ මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන බලතල, වගකීම් සහ ස්වාධීනත්වය පැහැදිළි කරමින් ඔහු නිර්භීතව ක්‍රියා කළ යුතු ආකාරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නියෝගය අනුව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රියා කළේ නම් රටේ කිසිදු අයුරකින් කිසිදු ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොවන බව විද්වත්හු අවධාරණය කර සිටිති.

ඒ අනුව COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින රටත්-ජනතාවත් ව්‍යවස්ථා අර්බුදයකට තල්ලු කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් වග කිව යුත්තේ ජනාධිපතිවරයා, කතානායකවරයා හෝ විරුද්ධ පක්ෂය නොව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ක්‍රියා නොකරමින් සිය වගකීම සහ වගවීම පැහැර හැරිය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වේ.     

1999 පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කර අනතුරුව කිසිදු සාධාරණ හේතුවකින් තොරව එම මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ප්‍රවීණ මාධ්‍යවේදීන් වන වරුණ කරුණාතිලක සහ සුනන්ද දේශප්‍රිය යන මහත්වරුන් එවකට මැතිවරණ කොමසාරිස්වරයාව සිටී දයානන්ද දිසානායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩුව විභාග කරමින් එම අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කර සිටියේ නිර්භීතව, ස්වාධීනව සහ නිවැරදි ලෙස ක්‍රියා කරන්නට දුෂ්කර අවස්ථාවක් උදා වුණොත් ඒ සෑම අවස්ථාවකදීම අධිකරණය ඉදිරියට පැමිණ  අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබා ගත යුතු බවය. 

එම නියෝගය ලබා දීමෙන් නොනැවතුණු ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව රටේ මැතිවරණ කොමසාරිස්වරයාට හිමි වී තිබෙන බලතල, වගකීම් සහ ස්වාධීනත්වය ද මනාව පැහැදිළි කර දී තිබෙන්නේ පිටු ගණනාවකින් යුතු එම පුළුල් සහ දීර්ඝ තීන්දුවේ පාඨකයින්ට වැදගත් වන අතිශය සංක්ෂිප්ත කොටසකි.  

ඒ අනුව COVID-19 වසංගතය හමුවේ මහ මැතිවරණය සැලුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි බව තේරුම් ගත් මුල් අවස්ථාවේදීම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ යුතුව තිබුණේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් එම මැතිවරණය දින නියමයකින් තොරව කල් තැබීම හෝ මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගන්නා ලෙසට ජනාධිපතිවරයාට ලිඛිතව උපදෙස් දීම හෝ ප්‍රශ්නය අවුල් වුණාට පසුව මහ මැතිවරණ දිනය 2020.06.20 ලෙසට නිවේදනය කිරීම නොවේ.

එසේ නම් මහින්ද දේශප්‍රිය මහතා කළ යුතුව තිබුණේ තමාම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොවන අයුරින් මහ මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරයට අදාළව එම අධිකරණයෙන් අර්ථ නිරූපණයක්, නියෝගයක් සහ උපදෙසක් ලබා ගැනීමය.

කෙසේ නමුත් ඒ වෙනුවට මහින්ද දේශප්‍රිය මහතා මුල සිටම කළේ සිය ව්‍යවස්ථානුකූල වගකීම, වගවීම සහ යුතුකම ද, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද පැහැර හරිමින් එකිනෙකාට "බෝලය පාස් කිරීම" සහ "බළලුන් ලවා කොස් ඇට බෑවීම" ට උත්සහ දැරීමය. රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මහ මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට, ඔහු ජනාධිපතිවරයාට ලිඛිතව උපදෙස් දුන්නේ ද, එම කාරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට යන ලෙසට දේශපාලන පක්ෂ උසි ගැන්වූයේ ද ඒ අනුවය.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය, මහ මැතිවරණය සහ ඇති විය හැකි ව්‍යවස්ථා අර්බුදයට අදාළව පුළුල් විග්‍රහයක් යෙදෙන ප්‍රවීණ දේශපලන විචාරක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ සම්බධයෙන් දරන ස්ථාවරය මෙසේය.          

"මැතිවරණ කොමිසම පළමු අදියරයේ දී, ආණ්ඩුව ව්‍යවස්ථානුකූල පාලනයෙන් බැහැරවීම වැළැක්වීමට නිර්භීත උත්සහයක යෙදිණ. එනම් මැතිවරණය කල් තැබීමෙන් නොනැවතී 2020.03.31 වැනිදා ජනාධිපතිට යවන ලද ලිපියෙන් විසුරුවා හැර තිබෙන පාරලිමේන්තුව මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුවක් ලෙස යළි රැස්වීමට ඉඩක් නැති බැවින් ඒ නිසා ඇති වන ගැටලු විසදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම් ලබා ගැනීම සුදුසු බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා කොමිසමේ එම උපදෙස් නොසලකා ක්‍රියා කළ විට මැතිවරණයට නාම යෝජනා දුන් අනෙකුත් දේශපාලන පක්ෂවලට අධිකරණය ඉදිරියට යාමේ හැකියාව තිබුණද සියලු පක්ෂ එම වගකීම පැහැර හැරියේය.ව්‍යවස්ථානුකූල භාවයෙන් බැහැර පාලනයක් ස්ථාපිත වැළැක්වීම සදහා ක්‍රියා කිරිමේ වගකිමක් එම පක්ෂවලට තිබුණ අතර එහෙත් ඔවුන් එම වගකීම ඉටු කළේ නැත. අධිකරණයට මෙවැනි අරබුදයකට මැදිහත් වීමට පුළුවන්කම ලැබෙනුයේ කිසියම් පාර්ශවයක් අධිකරණයට පැමිණිලි කිරීමෙන් පසුව පමණය.එම තත්ත්වය මැතිවරණ කොමිසමේ ආත්ම විශ්වාසය දුරවල කිරීමට හේතු වූවා විය හැකිය.

එහෙත් ජනාධිපතිවරයාට යවන ලද ප්‍රතිචාරයට එම ක්‍රියා මාර්ගය පදනම් කර ගෙන පසුව අධිකරණය ඉදිරියට යෑමේ යුතුකමක් සහ වගකීමක් මැතිවරණ  කොමිසමටද තිබුණි. ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයාට මග පෙන්වීම් ලබා දෙන අධිකරණ තීන්දුවක් ද තිබුණි.එම තීන්දුවට අදාළ නඩුවට පාදක වී තිබුණේ ද ජනාධිපතිවරියකට අදාළ ප්‍රශ්නයකි.

පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව සාධාරණ හේතු නැතිව එම මැතිවරණය කල් දැමීම සහ මැතිවරණ කොමසාරිස්වරයා එම් මැතිවරණය සදහා ක්‍රියාවට නගා තිබුණ ඇතැම් විධිවිධාන ඉවත් කර ගැනීම එම නඩුවට බල පෑ ප්‍රධාන නිමිත්ත විය. එහි දී අධිකරණය මැතිවරණ කොම්සාරිස්වරයාට අවවාද කොට, මැතිවරණ කොමසාරිස්වරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය සහ ස්වාධීනත්වය පැහැදිළි කොට දී නිර්භීතව ක්‍රියා කරන්නට දුෂ්කර අවස්ථාවක් ඇති වෙතොත් අධිකරණ කටයුත්තක යෙදී අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය. - karunaatilake and another vs dayananda disanayake, commissioner of elections and other.1999. (1 ) (P.157 ) - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එම නඩුව පවරන ලද්දේ වරුණ කරුණාතිලක සහ වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයාගේ සහෝදරයෙකු වූ සුනන්ද දේශප්‍රිය විසිනි.

මැතිවරණ කොමිසම අධිකරණය විසින් ලබාදී තිබූ එම මග පෙන්වීම් අනුව ක්‍රියා නොකොට 2020 ජූනි 20 වැනිදා මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළේය. කොමිසම එම දිනය ප්‍රකාශ කළේ වසංගත තත්ත්වය ඉදිරියේ ඒ දිනයේ දී මැතිවරණක් පැවැත්වීමට ඉඩක් නැති බව සහ එම දින නියම කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පට හැනි බව දැන දැනමය. 

ඒ මගින් මැතිවරණයක් පැවැතවීම වළක්වා ඇතත් ව්‍යවස්ථානුකූල පාලනයකට අවකාශය ලබා දී තිබෙන්නේ යැයි කිව නොහැකිය. එම වරදට මැතිවරණ  කොමිසම පමණක් නොව විරුද්ධ පක්ෂ ද වග කිව යුතුය. මැතිවරණ කොමිසමට ක්‍රියා කිරීමට සිදු වන්නේ මැතිවරණ  නීති අනුව විනා ව්‍යවස්ථාව බලා ගැනීමට නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා කියා තිබුණි. 

රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සියලු නීතිවලට ඉහළින් තිබෙන උත්තරීතර නීතිය වන අතර කිසියම් විශේෂ අවස්ථාවකදී මැතිවරණ නීතියේ ඇතැම් අංග ව්‍යවස්ථාව සමග ගැටේ නම් වැදගත් කොට සැලකිය යුත්තේ ව්‍යවස්ථාව විනා මැතිවරණ නීතිය නොවන බව පෙන්වා දීමට අවශ්‍ය වන්නේ නැත.අනෙක් අතට අධිකරණය පමණක් නොව මැතිවරණ  කොමිසම ද මැතිවරණවලදී ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ යුතුය."

 

Advertiesment