Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


මර බියෙන් සිටින මිනිස්සුන්ට මැතිවරණ මානසිකත්වයක් නැහැ 


2020-04-23 9913

ජනපති කළ යුත්තේ වසංගතය මර්දනය කිරීම විනා මැතිවරණය පැවැත්වීම නොවේ 

 

ඒ සඳහා පරණ පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යවශ්‍යයි 

 

කුස ගින්න නිවා ගන්න දෙන 5000 එක්ක දේශපාලනය එපා

 

-එජාප අපේක්ෂක-ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් සේනානායක-   

 

 

(සුජිත් මංගල ද සිල්වා) 

 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතය මුළු රටම වෙලා ගෙන මිනිස් ජීවිත බිලි ගනිමින් සිටින තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ප්‍රධාන රජය කළ යුත්තේ කෙසේ හෝ මහ මැතිවරණය පැවැත්වීමට මාන බැලීම නොව රටේ උද්ගත වී තිබෙන බරපතළ සහ හදිසි තත්ත්වය තේරුම් ගෙන ඊට මුහුණ දීම සඳහා පරණ පාර්ලිමේන්තුව වහාම යළි කැඳවීම යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක සහ ප්‍රවීණ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටියි.

පරණ පාර්ලිමේන්තුව යළි කැඳ වූවා කියා රටේ කිසිදු පුරවැසියෙකු ජනාධිපතිවරයාට චෝදනා එල්ල නොකරනු ඇති අතර ඒ වෙනුවට සිදු වනු ඇත්තේ බල දේශපාලන උවමනා පසෙක තබා ජනාධිපතිවරයා රට-ජාතිය වෙනුවෙන් ගත් ඒ ක්‍රියා මාර්ගය සම්බනධයෙන් ඔහුට ප්‍රශංසා කිරීම යැයි ද ඔහු සඳහන් කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන බරපතළ, හදිසි සහ භයානක තත්ත්වය සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් මේ බව කියා සිටී මහේෂ් සේනානායක මහතා තරයේ අවධාරණය කර සිටියේ COVID-19 වසංගතය හමුවේ මර බියෙන් වෙලී සිටින ජනතාවට මැතිවරණ මානසිකත්වයක් නොමැති බවය.

මේ තත්ත්වය මනාව තේරුම් ගෙන රටත්-ජනතාවත් වෙනුවෙන් 2020 ජූනි මස 20 වැනිදා දක්වා මහ මැතිවරණය කල් තැබීමට ස්වාධීන මැතවරණ කොමිසම ගත් එඩිතර තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය එම කොමිසමට සිය ආචාරය පුද කරන බව පෙන්වා දුන් මහේෂ් සේනානායක මහතා ස්වාධීන මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට මෙසේ ස්වාධීනව, එඩිතරව සහ ඍජුව තීන්දු තීරණ ගෙන ක්‍රියා කිරීමට හැකි වී ඇත්තේ යහ පාලන රජය 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම කොමිෂන් සභා පිහිටුවා ඊට සියලු බලතල දී රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම නිර්දේශපාලනීකරණය කරමින් රටේ සිදු කළ රැඩිකල් දේශපාලන විප්ලවය නිසා යැයි ද පැවසීය.

වසංගතය ව්‍යාප්තවීම වළක්වා මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය ඇතුළු අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ග හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 5000 දීමනාව ඇතුළු සියලු සහනාධාර සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ වන අතර, ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳ වන්නේ නම් වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සේම ඊට අවශ්‍ය නව නීතිරීති සම්මත කර ගැනීම සඳහා රට-ජනතාව වෙනුවෙන් සිය පූර්ණ සහය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව ද ඔහු සහතික කර සිටියේය.

මෙම ජාතික සහ ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සහය පටු දේශපාලන අරමුණු සහ න්‍යාය පත්‍රවලින් තොරව රජයට ලබා දීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය සැදී පැහැදී සිටියදී පාර්ලිමේන්තුව තව දුරටත් නොකැඳවා සිටින්නේ මන්ද යන්න පිළිබඳව ජනතාව ප්‍රශ්න කරමින් සිටින බව කී මහේෂ් සේනානායක මහතා 2020 ජූනි මස 02 වැනිදා ගෙන් පසු මේ කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජයට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව ද වැඩි දුරටත් පෙන්වා දුන්නේය.            

Advertiesment