Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


රට වැටෙන්න යන අගාධයේ තරම මෙන්න


2020-04-22 3443

ව්‍යවස්ථානුකූල පාලනයක් සඳහා විකල්ප නොමැති ජනපති

 

විපක්ෂය වගකීම් පැහැර හැරියා  

 

ව්‍යවස්ථාවට වඩා මැතිවරණ නීතිය වැදගත් ද..?

 

මැතිවරණ කොමිසම වගකීම් පැහැර හැරියේ මෙහෙමයි..!

 

පවරා ගැනීමට-උදුරා ගැනීමට හෝ පවරාදීමට නොහැකි පාර්ලිමේන්තු බලය 

 

පරණ පාර්ලිමේන්තුව කැඳවීම හැර විකල්පයක් නැහැ 

 

ව්‍යවස්ථා විරෝධී පාලනයකින් රට ලෝකයේ හුදකලා වී වසංගතය උග්‍ර වන හැටි 

 

රටට සුමන සමන් දෙවියන්ගේම පිහිටයි..!

 

 
 
(වික්ටර් අයිවන්) 

 

ජනාධිපතිවරයා, ලලිත් වීරතුංග සමග කරන ලද රූපවාහිනී සාකච්ඡාවේදී පළ කළ අදහස්වලින්ද, 2020.04.20 වනදා ස්වාධීන මැතිවරණ කොමිසම දෙන ලද තීරනය සහ එම තීරණය යුක්ති සහගත කිරීම සදහා එම කොමිෂම පළ කළ අදහස්වලින්ද, ඒ ගැන විරුද්ද පක්ෂ පළ කළ අදහස්වලින්ද ගම්‍ය වන දර්ශනය දෙස බලන විට ශ්‍රී ලංකාව දේශපාලන අර්ථයෙන් ඇද වැටී තිබෙන බංකොලොත්භාවයේ සේම රට ගමන් ගනිමින් තිබෙන අගාධයේ තරම හොදින් පෙනුම් කරයි.

ජනාධිපතිවරයා එක හෙලා කියන්නේ තමා කිසිසේත්ම පරණ පාර්ලිමේන්තුව නොකැඳ වන බවය.කිසියම් දීර්ඝ කාලයල් මැතිවරණය පැවැත්වීමට නොහැකි වී අලුත් පාර්ලිමේන්තු වක් කැඳවා ගැනීමට නොහැකි වෙතොත් ව්‍යවස්ථානුකූල පාලනයක් සදහා යොදා ගන්නා විකල්ප ක්‍රමය කුමක් දැයි ජනාධිපතිවරයා පැහැදිළි කළේ නැත. 

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පැවැත් වෙන මැතිවරණයකදී ජන නායකයෙකුට ලැබෙන ජන වරමේ ප්‍රමාණය කොතරම් විශාල වුවද, එම තනතුරට ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලයට වඩා වැඩි බලයක් එම තනතුර දරන නායකයාට ලැබෙන්නේ නැත. එවැනි බලයක් අවශ්‍ය නම් ඒ සදහා කළ යුත්තේ  ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම වන අතර එම කටයුත්ත කළ යුත්තේ ද ව්‍යවස්ථානුකූලවය.

ඊට ප්‍රතිපක්ෂව ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සැලකෙන්නේ අපරාධයකටත් වඩා බරපතළ වරදක් ලෙසය. එසේ නැත හොත් මහ ජනයා සමග ඇති කර ගත් ගිවිසුමක් උල්ලංඝණය කිරීමක් ලෙසය.

සිංහල රජ කාලය

ලිඛිත ව්‍යවස්ථාවක් තිබෙන වර්තමාණයේදී පමණක් නොව, ලිඛිත ව්‍යවස්ථාවක් නොතිබුණු ඉපැරණි සිංහල රජ කාලයේදී පවා රජවරුන් ආරක්ෂා කිරීමට බැදී සිටී අලිඛිත ගිවිසුමක් තිබුණි.එම ගිවිසුම උල්ලංඝණය කිරීම සැලකුණේ රජකමින් පහ කළ යුතු තරමේ බරපතළ වරදක් ලෙසය.රජු අභිෂේක කරන අවස්ථාවේදී එම ගිවිසුම රජුට මතක් කර දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය.රාජාභිෂේකයේ දී විශේෂ නියෝජිතයින් තිදෙනෙකු එම ගිවිසුම මතක් කර දෙන ක්‍රමය මහා වංශයේ ටීකාවෙන් විස්තර කොට අවසානයේ මෙසේද කියා තිබේ.

"ටීකාවේ දැක්වෙන පරිදි, තුන් දෙනාගේ මේ ප්‍රකාශනයෙන් සාපයක් ද අදහස් වේ. කෙබඳු සාපයක්ද..? අප වචනයන් අනුව රාෂ්ඨ පාලනය ගිය හොත් මැනවි. එහෙත් එසේ නොකරන්නේ නම් "ඔබ හිස සත් කඩකට පැලේවා" යන සාපයක් සේය"  -මධ්‍යකාලීන ලංකාසංස්කෘතිය- (පිටුව 170 )

රාජ්‍යය පාලනයේදී ලිඛිත හෝ ලිඛිත නොවන ව්‍යවස්ථාවකට ලැබෙන වැදගත්කම සහ ව්‍යවස්ථා උල්ලංඝණයක් කොතරම් බරපතළ වරදක් ලෙස සැලකෙන්නේද යන්න ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසම පළමු අදියරයේ දී, ආණ්ඩුව ව්‍යවස්ථානුකූල පාලනයෙන් බැහැරවීම වැළැක්වීමට නිර්භීත උත්සහයක යෙදිණ. එනම් මැතිවරණය කල් තැබීමෙන් නොනැවතී 2020.03.31 වැනිදා ජනාධිපතිට යවන ලද ලිපියෙන් විසුරුවා හැර තිබෙන පාරලිමේන්තුව මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුවක් ලෙස යළි රැස්වීමට ඉඩක් නැති බැවින් ඒ නිසා ඇති වන ගැටලු විසදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම් ලබා ගැනීම සුදුසු බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා කොමිසමේ එම උපදෙස් නොසලකා ක්‍රියා කළ විට මැතිවරණයට නාම යෝජනා දුන් අනෙකුත් දේශපාලන පක්ෂවලට අධිකරණය ඉදිරියට යාමේ හැකියාව තිබුණද සියලු පක්ෂ එම වගකීම පැහැර හැරියේය.ව්‍යවස්ථානුකූල භාවයෙන් බැහැර පාලනයක් ස්ථාපිත වැළැක්වීම සදහා ක්‍රියා කිරිමේ වගකිමක් එම පක්ෂවලට තිබුණ අතර එහෙත් ඔවුන් එම වගකීම ඉටු කළේ නැත. අධිකරණයට මෙවැනි අරබුදයකට මැදිහත් වීමට පුළුවන්කම ලැබෙනුයේ කිසියම් පාර්ශවයක් අධිකරණයට පැමිණිලි කිරීමෙන් පසුව පමණය.එම තත්ත්වය මැතිවරණ කොමිසමේ ආත්ම විශ්වාසය දුරවල කිරීමට හේතු වූවා විය හැකිය.

එහෙත් ජනාධිපතිවරයාට යවන ලද ප්‍රතිචාරයට එම ක්‍රියා මාර්ගය පදනම් කර ගෙන පසුව අධිකරණය ඉදිරියට යෑමේ යුතුකමක් සහ වගකීමක් මැතිවරණ  කොමිසමටද තිබුණි. ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයාට මග පෙන්වීම් ලබා දෙන අධිකරණ තීන්දුවක් ද තිබුණි.එම තීන්දුවට අදාළ නඩුවට පාදක වී තිබුණේ ද ජනාධිපතිවරියකට අදාළ ප්‍රශ්නයකි.

පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව සාධාරණ හේතු නැතිව එම මැතිවරණය කල් දැමීම සහ මැතිවරණ කොමසාරිස්වරයා එම් මැතිවරණය සදහා ක්‍රියාවට නගා තිබුණ ඇතැම් විධිවිධාන ඉවත් කර ගැනීම එම නඩුවට බල පෑ ප්‍රධාන නිමිත්ත විය. එහි දී අධිකරණය මැතිවරණ කොම්සාරිස්වරයාට අවවාද කොට, මැතිවරණ කොමසාරිස්වරයාට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය සහ ස්වාධීනත්වය පැහැදිළි කොට දී නිර්භීතව ක්‍රියා කරන්නට දුෂ්කර අවස්ථාවක් ඇති වෙතොත් අධිකරණ කටයුත්තක යෙදී අවශ්‍ය උපදෙස් සහ නියෝග ලබා ගන්නා ලෙස දැනුම් දුන්නේය. - karunaatilake and another v dayananda disanayake, commissioner of elections and other.1999. (1 ) (P.157 ) - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එම නඩුව පවරන ලද්දේ වරුණ කරුණාතිලක සහ වර්තමාන මැතිවරණ කොමසාරිස්වරයාගේ සහෝදරයෙකු වූ සුනන්ද දේශප්‍රිය විසිනි.

මැතිවරණ කොමිසම අධිකරණය විසින් ලබාදී තිබූ එම මග පෙන්වීම් අනුව ක්‍රියා නොකොට 2020 ජූනි 20 වැනිදා මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළේය. කොමිසම එම දිනය ප්‍රකාශ කළේ වසංගත තත්ත්වය ඉදිරියේ ඒ දිනයේ දී මැතිවරණක් පැවැත්වීමට ඉඩක් නැති බව සහ එම දින නියම කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පට හැනි බව දැන දැනමය. 

ඒ මගින් මැතිවරණයක් පැවැතවීම වළක්වා ඇතත් ව්‍යවස්ථානුකූල පාලනයකට අවකාශය ලබා දී තිබෙන්නේ යැයි කිව නොහැකිය. එම වරදට මැතිවරණ  කොමිසම පමණක් නොව විරුද්ධ පක්ෂ ද වග කිව යුතුය. මැතිවරණ කොමිසමට ක්‍රියා කිරීමට සිදු වන්නේ මැතිවරණ  නීති අනුව විනා ව්‍යවස්ථාව බලා ගැනීමට නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා කියා තිබුණි. 

රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සියලු නීතිවලට ඉහළින් තිබෙන උත්තරීතර නීතිය වන අතර කිසියම් විශේෂ අවස්ථාවකදී මැතිවරණ නීතියේ ඇතැම් අංග ව්‍යවස්ථාව සමග ගැටේ නම් වැදගත් කොට සැලකිය යුත්තේ ව්‍යවස්ථාව විනා මැතිවරණ නීතිය නොවන බව පෙන්වා දීමට අවශ්‍ය වන්නේ නැත.අනෙක් අතට අධිකරණය පමණක් නොව මැතිවරණ  කොමිසම ද මැතිවරණවලදී ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ යුතුය.

පාර්ලිමේන්තුවේ කාර්ය භාරය 

ව්‍යවස්ථාව අනුව රාජ්‍යය බලයේ ප්‍රභවය ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුවය. පාර්ලිමේන්තුව සතු බලය උදුරා ගත නොහැකි අතර වෙනත් කෙනෙකුට හෝ ආයතනයකට පවරාදීම ද කළ නොහැකිය.ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැතිව රට පැවතිය හැකි උපරිම කාලය මාස තුනකි. ඇතිවී තිබෙන වසංගත තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් ඇති කර  ගැනීමේ හැකියාව නැති නම් පරණ පාර්ලිමේන්තුව කැඳවනවා හැර ව්‍යවස්ථානුකූල පාලනයක් ඇති කර ගැනීමට විකල්ප ක්‍රමයක් නැත. අවශ්‍ය අරමුදල් වෙන් කර ගත හැකි වනු ඇත්තේද, අධීක්ෂණයකින් යුතුව වෙන් කළ මුදල් ක්‍රමවත් ලෙස වැය කළ හැකි වනු ඇත්තේ ද, වසංගතය  මැඩළීමට අලුත් නීති අවශ්‍ය නම් එවා ඇති කර ගත හැක්කේ ද එසේ කිරීමෙන් පමණය.

ව්‍යවස්ථානුකූල නොවන පාලනයක් කවර අකාරයකින්වත් රටේ යහපතට හේතු වන්නේ නැත. නූතන ලෝකයේ එවැනි පාලනයකට පුළුවන්කමක් ඇත්තේ ද නැත.ව්‍යවස්ථානුකූල නොවන පාලනයකට තල්ලු වුවහොත් එම වාතාවරණය නැති අර්බුද ඇති කරන්නට හේතුවී ජාත්‍යන්තර වශයෙන් රටට ලැබෙන සහාය ද අහිමි වී වසංගත තත්ත්වය ද උග්‍ර කරනු ඇත.

 

Advertiesment