Wednesday 25th of November 2020

English Tamil
Advertiesment


යුගයක අවසානය ද..?


2020-04-19 3307

(වික්ටර් අයිවන්)

 

වසංගත තත්වයක් ඇතිවන්නට පෙරද ශ්‍රී ලංකාවේ  සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුණේ යහපත් තත්වයක නොව ජරාජීර්ණ තත්වයකට පත්වී කඩා බිද වැටීමක් ඇතිවීමට ආසන්න තත්වයකය.ඒ මත වසංගතයක්  කඩා වැටීමෙන් සිදු වී තිබෙන්ණේ  කඩා බිදවැටීමේ ක්‍රියාවලියේ වේගය දෙගුණ  තෙගුණ  වීමය.

අරබුදයේ  ආරම්භය 

ශ්‍රී ලංකාව නිදහස,බලවත් සාමුහික උත්සහයකින් දිනාගත් රටක් නොවීම යන හේතුව සමාජ , දේශපාලන  සහ  ආර්ථික  යන අංශවල  ශක්තිමත් අඩිතාලමක් ඇති කර ගැනීමට නොහැකි වීම කෙරෙහි බල පෑවේය. නිදහස තෑගි වශයෙන් ලැබෙන දෙයක් නොවී බලවත් සාමුහික උත්සහායකින් දිනාගන්නා දෙයක් වීනම් ඒ සදහා සමස්ත සමාජය වර්ග  කුල ආගම් බේද නොසලකා ඒකාග්‍ර කරන්නට සිදුවීම තුල නූතන ශ්‍රී ලාංකේය  ජාතියේ අත්තිවාරම් ශක්තිමත් ලෙස ගොඩ නැගෙන්න්ට ඉඩ තිබුනා සේම සියලු දෙනාගේ පිළිගැනීමට  හේතුවන ජාතික දෘෂ්ටියක් සේම රටේ කටයුතු සදහා පොදු ජාතික ප්‍රතිපත්තියක් ද ඇති කරගැනීමට සමත් වන්නට ඉඩ තිබුණී. 

බ්‍රිතානයන් ශ්‍රී ලංකාවට  නිදහස දී ශ්‍රී ලංකාව  අතහැර යන අවස්ථාව වනවිට පිළිගත්  ඝනවර්ධන  මිමි අනුව ලංකාව තිබුණේ  ආසියානු රටවල් අතර බැබලෙන තත්ත්වයකය.ඒක පුද්ගල අදායම අනුව ශ්‍රී ලංකාව  දෙවැනි වූයේ ජපානයට පමණය.අධ්‍යාපනය,සෞඛ්‍ය,යටි තල පහසුකම් යන හැම අංශයකින්ම  කින්ම ශ්‍රී ලංකාව සිටියේ ආසියානු රටවල් අතර පලමු ස්ථානයේ  හෝ දෙවැනි ස්ථානයේය.වර්තමානයේ දියුණු රටවල් අතරට එකතු වී සිටින සියලු ආසියානු රටවල් තිබුණේ ශ්‍රී ලංකාවට වඩා බොහෝ පසුපස සිටින තත්වයකය.

නූතන ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපෑ ප්‍රදානම ප්‍රශ්නය  ලෙස සැලකිය හැකිය.ශ්‍රී ලංකාවේ  ඇතිවූ විනාශකාරි ප්‍රචණ්ඩ අරගල කෙරෙහි වර්ග කුල ආගම් බේද බලපෑවේය.එම ගැටුම් විශාල ජීවිත විනාශයක් ඇති කිරීමට හේතු වූවා සේම විශාල දේපල හානියක් ඇති කිරීමටද හේතුවිය.එසේම එම ගැටුම් සමාජ දේශපාලන ක්‍රමය අවුල් කිරීමට විකෘති කිරීමට හා බෙලහීන කිරීමට හේතු විය.ශ්‍රී ලංකාව  ප්‍රබල සාමුහික සමාජ උත්සහයකින් නිදහස දිනා නොගැනීමේ ප්‍රශ්නය දියුණු  ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් ඇති වීම වැළකීමට හේතුවී තිබුනා සේම පරිනත ජාතික නායකයින් ඇතිවීමද වලකා තිබුණි.නිදහසේ සිටම රට ගමන් කරමින් තුබුණේ විධිමත් මාර්ගයක  නොව අයාලයේ යන මාර්ගයකය.

ලේ වැගිරෙන යුගයකට
  

1978 දී ආණ්ඩුක්‍රමයේ ඇති කළ  වෙනස් කම් නිදහසේ සිට අයාලයේ යන ගමනේ වැදගත් අයිතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැකිය.ආණ්ඩු  ක්‍රමයේ ඇතිකල එම වෙන්ස්කම් පාර්ලිමේන්තුවට තිබුණු  උත්තරීතර බලය නැති කොට රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති  අතට පත් කළේය.ඒ මගින් පාලන බලයේ අධිකාරිවාදී සුවරූපය වර්ධනය කොට පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව තමන් බාරයේ තිබෙන පොදු දේපල කොල්ල කා ගැනීමට ඉඩ ලැබෙන ක්‍රමයක් ඇතිකර ගත්තේය.ඒ සමග ක්‍රමයෙන් රාජ්‍යය පාලනයට  ලැබෙන වැදගත් කම දෙවැනි වී වස්තු කොල්ලය ප්‍රමුඛ  දේ බවට පත් විය.එම තත්ත්වය රාජ්‍යයේ ආර්ථික ශක්තිය දුර්වල  කරනවාට අතිරේකව සමස්ථ ආයතන ක්‍රමය දූෂිත කිරීමට හේතු විය.

ඊට සමගාමිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති සිංහල,දෙමළ ප්‍රචණ්ඩ කැරළි හේතු කොටගෙන කැරලි කරුවන් සේම කැරලි මර්ධනය  කළ  ආරක්ෂක හමුදාවද තරගකාරි ලෙස සමාජය මත මුදාහල අති විශාල කෲරත්වය මරණ  බියෙන් ජීවත්වූ සමාජ මනස විකෘති කොට රෝගි කිරීමට හේතු විය.ඒ නිසා සාධාරණව සහ තර්කානුකුලව කරුණු  සලකා බැලීමට සමාජයට තිබුණු  හැකියාව නැති කිරීමට හෝ දුර්වල කිරීමට හේතු විය.

ප්‍රතිසංස්කරණ නොසලකා හැරීම

අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරුණු 2009 වසර අවසානය වන විට සමාජ ක්‍රමය කැබලි වී තිබුණ අතර රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය ජරාජීර්ණ  තත්වයකට පත්ව තිබුණි.ප්‍රචන්ඩ කැරලි පරාජය කරන්නට රාජ්‍යය සමත් වී තිබුනද කැරලිවලින් රාජයටද බරපතල හානි සිදුවී තිබුණි.රාජ්‍යයේ ආයතන ක්‍රමය පැවතියේ අකාර්යක්ෂම හා දුෂණයෙන් කුණුවූ තත්වයකය.

එතැන් සිට යන යහපත් ගමනක් සදහා කැබලි වී තිබූ ජාතිය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙසත්‍ රාජ්‍යයේ කොල්ලකාරි ස්වභාවය, අකාර්යක්‍ෂමතාව හා දූෂිත ස්වභාවය  තුරන් කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යා යුතුව තිබිණි.එහෙත් යුද්ධය ජයගත් පාලක පක්ෂය  ඒ බව නොසලකා යුද ජයග්‍රහණයේ  උද්දාමයෙන් තවත්  ඉදිරියට යන්න උත්සහා කළේය.2015 ලැබූ පරාජය ඊට ලැබුන දඩුවම ලෙස සැලකිය හැකිය. ඉන් පසු බලයට පත්වන යහපාලන පාලක පක්ෂය ද අත්‍යාවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ  නොසලකා ව්‍යාජ ප්‍රතිසංස්කරණ  ඔස්සේ ඉදිරියට  යන්නට දරන වෑයම අවසන් වූයේ හාස්‍ය ජනක ආකාරයකටය.


අර්බුදය මත කඩා වැටුණු වසංගතය

 
එහිම ඊළඟ ප්‍රතිඵලය  වශයෙන් ගෝඨාභය  රාජපක්ෂ ජනාධිපති ධුරයට  පත් වන්නේ රට සුව පහසු ලෙස පාලනය කල හැකි තත්වයක තිබෙන අවස්ථාවක නොව රට පුර්ණ  බිදවැටීමකට ගමන් ගනිමින් තිබූ අවස්ථාවකදීය.නව ජනාධිපති  තෝරාපත් කර ගනු ලැබුවේ මුලු රටම එක ඡන්ද  කොට්ටාශයක් ලෙස සලකා මහජන ඡන්දයකින්  වුවද එසේ තේරීපත්වූ ජනාධිපතිට විධායක  බලයක් නොතිබිණි.විධායක  බලය තිබුණේ  පාර්ලිමේන්තුවෙන්  තෝර පත කරගත් අගමැති ප්‍රමුඛ  කැබිනට මණ්ඩලයටය. එහෙත්  උත්ප්‍රාස ජනක දේ වනුයේ ගෝඨාභය  බලයට පතකළ  ජනයා සිය නායකයාට පරම බලය අපෙක්ෂා කළේය.ලොකු වැරදීමක් හෝ මුලාවීමක් සිදුවී තිබෙන බව පෙනේ. ජනාධිපතිවරණයෙන් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක්  පවත්වා වැඩි බලයක් ලබා ගැනීමේ අරමුණින්  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමට පුලුවන් කම ලැබුන පලමු දිනයේදී ම  පාර්ලිමේන්තුව විසුරුවා හැර නාම යෝජනා හා මැතිවරණය  සදහා දින නියම කළේය.එහෙත් ඒ සමග කරලියට පැමිණ තිබූ කොරෝනා වසංගතය  නිසා මැතිවරණ කොමිසම  නාම යෝජනා බාර ගත්තද නියම කළ  දිනට මැතිවරණය  පැවැත්වීමට එකග නොවී මැතිවරණය කල් දැමීය.එය මැතිවරණ  කොමිසමට  තෝරාගත හැකිව තිබූ හොදම ප්‍රතිපත්තිය විය හැකි වුවත් ආණ්ඩුවේ දෘෂ්ටිකෝනයෙන් බලන විට එය ආණ්ඩුවේ දේශපාලන අභිලාෂය සමග ගැලපුණේ නැත.

ව්‍යවස්ථාවට අනුව නාම යෝජනා වලින් පසුව මුදල් වැය කිරීමේ බලය ජනාධිපතිට ලැබුනද. එය තුන් මාසයක කාල රාමුවකට යටත්‍ ය. ආණ්ඩුවේ පැත්තෙන් බලන විට ආණ්ඩුවට වඩාත්ම වැදගත් වූයේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිකර ගනිමින් පාලන බලය ස්ථාපිත කර ගැනීමය.එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබෙන තත්වයක් තුළ  පහසු මැතිවරණ  ජයක් අපේක්ෂා කළ හැකිය.මැතිවරණය කල් දමන තත්වයක් චිත්‍රය වෙනස් කිරීමට හේතුවිය හැකිය.ඒ නිසා මැතිවරණය  කල් තබන වැඩ සටහනකට ආණ්ඩුවට එකග විය නොහැකි ය.එවැනි දේකට එකග වුවහොත් පාර්ලිමේන්තුව නැවත කැදවන්නට සිදුවේ.එවිට පාලන බලය පවත්වා ගෙන යාමට සිදුවන්නේ බහුතර බලයක් නැතිවය.අනෙක් අතට කල් පසුවී පවත්වන මැතිවරණයක් කෙරෙහි වසංගතය හා ආර්ථික අර්බුදය පාලනයේදී පෙන්නුම් කරන හොද නරකද බලපායි.තෝරාගත හැකි වාසිදායකම විකල්පය වනුයේ ඉක්මන් මැතිවරණයක්  ලබා ගැනීමය.

උභතෝකෝටිකය 


ඉක්මන් මැතිවරණයක්  ලබා ගැනීම සදහා වන ආණ්ඩුවේ දැඩි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්  මැතිවරණ කොමිසම  හා විරුද්ධ  පක්ෂ අනුගමනය කරන්නට යන ප්‍රතිපත්තිය කුමක් ද යන්න පැහැදිලි නැත.කොමිසම ඊට විරුද්ධ වුවහොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම නොවැලැක් විය හැකිය.පාර්ලිමේන්තුව  විසුරුවා හැරීම සදහා ජනාධිපති  නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගැනීමෙන් හෝ අධිකරණයේ උපදෙස් ලබා ගැනීමෙන් ව්‍යවස්ථා අර්බුදයක්  ඇතිවීම වලක්වා ගත හැකි වුවත් එවැනි පිලිවෙතක් තම පක්ෂය  ලබාගත් ජයග්‍රහණය දියාරු කිරීමට හේතු වියහැකි බැවින් එවැනි පිලි වෙතක් අනුගමනය නොකිරීම ආණ්ඩුවේ  දැඩි පිළිවෙත වී තිබෙන බව පෙනේ .මැතිවරණ කොමිසමට හෝ විරුද්ධ  පක්ෂවලටද අධිකරණය  ඉදිරියට යාමේ හැකියාවක් ඇතත් ඒ කිසිවෙක් එසේ කරන්නටද කැමති නැති බවද පෙනේ.වැරදි තීන්දුවක් ගත හොත් එය රටේ පැවැත්ම සමග  පමණක්  නොව ඒ සියලු දෙනාගේ පැවැත්ම සමග කරන බිහිසුනු සූදුවක් බවට පත්වනු නොවැලැක් විය හැකිය.

කොරෝනා වසංගතය අහම්බයක් මිස ආණ්ඩුවේ දේශපාලන  ගමන කඩාකප්පල් කිරීමේ අරමුණින්  කිසියම් දුෂ්ඨ බලවේගයක් ඇතිකරන ලද්දක් නොවේ.ඒ මගින් ආණ්ඩුවට  තහවරු වීමට තිබෙන ඉඩ අහුරා ඇති බව සත්‍යයකි.එහෙත් එම උභතෝකෝටික තත්වය ජයගැනීම සදහා වසංගතය  සමග සෙල්ලම් කරන තැනකට යාම භයානකය.මෙම ව්‍යවස්ථා අර්බුදය  විසදා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය  කෙටි කාලීන අර්ථයෙන් හෝ රටේ දේශපාලන  ගමන් මගේ හැඩතල තීරණය  කරන ප්‍රශ්නයක්  ලෙස ක්‍රියා කරනු ඇත.මෙය ආණ්ඩුව සහ විරුද්ධ  පක්ෂ පමණක් නොව  නොව මැතිවරණ කොමිසම වැනි ස්වාධින  ආයතනවල සැබෑ ස්වභාවය තියුණු  උරගා බැලීමකට ලක් කරන්නට නියමීත අයිතිහාසික අවස්තාවක් ලෙස සැලකිය හැකිය.

යුගයක අවසානය ද..?

වසංගතය  කඩා වැටෙන්නට පෙරත් රට තිබුනේ යහපත් තත්වයක නොව ජරාජීර්ණ  තත්වයකට පත්ව තිබුණ  සමස්ත දේශපාලන ක්‍රමය කඩා බිද වැටෙන්න්ට ආසන්න තත්වයකය.ඒ මත වසංගතය  කඩා වැටීමෙන් සිදුවී තිබෙන්නේ දේශපාලන  ක්‍රමයේ කඩා බිද වැටීමේ ක්‍රියාදාමය වේගවත් වීමය.එය සමාජ බලපෑමෙන් සිදුවන දෙයක් නොව ක්‍රමයේ අභ්‍යන්තර  රීති මත සිදුවන්නකි.නිවසක් හොදටම ජරාජීර්ණ වූ  පසු ඒ නිවසේ නිවැසියන්  එම ජරාජීර්ණ වූ  නිවස කඩා බිද නොදමා තව දුරටත් එහි වෙසෙන්නේ නම් කිසියම් අවස්ථාවක දී  එය කඩා දැමීමකින් තොරව කඩා වැටෙණු ඇත්තේය. ශ්‍රී ලංකාවේ  දේශපාලන  ක්‍රමයට සිදුවන්නට යන්නේත් එයම විය හැකිය.

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ  මනුෂ්‍ය  ජීවිත වලට ඇති කරන්නට යන බලපෑමේ තරම පැහැදිලි නැත.එහෙත් එය දැනටමත් සමාජ -දේශපාලන  සහ ආර්ථිකය  කෙරෙහි ඇති කර තිබෙන බල පෑම සුවිශාලය.සමාජ ක්‍රමය තිබෙන්නේ මුලුමනින් කඩා බිද වැටෙමින් තිබෙන තත්වයකය.රාජ්‍යය තිබෙන්නේද කොරෝනාවලට ලැබෙන ආධාරවලින් ගැටගසාගෙන යන අසරණ  තත්වයකය.රජයට ආදායම් ලැබෙන සියලු ආර්ථික මාර්ග බිදවැටී තිබේ.පුද්ගලීක අංශයේ ද  ක්‍රියා කාරිත්වය විශාල ප්‍රමාණයකට  හැකිලී තිබෙන අතර ලක්ෂ ගණනකට  රක්ෂා අහිමි වන තත්වයක් නිර්මාණය  වී තිබේ.

ශ්‍රී ලංකාවේ  එක යුගයක් මහජනයාගේ බලපෑම නිසා නොව අභ්‍යන්තර සාධක  මත අවසානයක් කරා ගමන් ගනිමින් තිබෙන බව පෙනේ.ඉන් පසු එලබෙන යුගය ගෙවී ගිය යුගයට වඩා ඉදිරිගාමිද පසුගාමිද යන්න තවමත් පැහැදිලි නැත.

 

Advertiesment