Tuesday 11th of August 2020

English Tamil
Advertiesment


වසංගත දේශපාලනය සහ COVID-19 එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් කරන දේශපාලන


2020-04-19 2058

(මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි)

මානව ඉතිහාසය යනු වෙනත් දෑවලින් සංයුක්ත වූවා මෙන්ම වංසගතයන්ගෙන්ද පිරී මිනිසුන්ගේ සහ සතුන්ගේද ජීවිත කෝටි ප්‍රකෝටි ගණනින් බිළිගත් ඉතිහාසයක්ද විය. මේ වනව්ට ලෝකයේ එක රටකුදු අත නොහැර බියෙන්, ත්‍රාසයෙන් මුසපත් කරමින් සමස්ත ලෝකයම සොහොන් බිමක් කරමින් ව්‍යාප්ත කොරෝනා හෙවත් කොවිඞ්-19 විශේෂයෙන් යුරෝපය සහ ඇ.එ.ජ සහාසික ලෙස වෙලාගෙන ඇති හෙයින් මෙම ලිපිය පුනරුද යුරෝපයේ සිට අද දක්වා වසංගතයන්ට සීමාකරමින් වසංගතයන්ගේ ව්‍යාප්තිය හා මරණ විෂබීජයන් නිසාම සිදුනොවූවක් හා නොවන බව පෙන්වාදීමට යොමුවේ. 20වෙනි සියවසේ කැපී පෙනෙන උදාහරණය 1918-19 ස්පාඤ්ඤ වසංගතයයි. එය අධිරාජ්‍යවාදී 1වෙනි ලෝක යුද්ධ උන්මාදය සමග සමීප ලෙස සම්බන්ධවීම නිසාවෙන් එම වසංගතය දේශපාලනිකය. එසේම SARS, EBOLA සහ ZIKA වැනි ලෝක අව්‍යාප්ත වසංගතයන් තුළද දේශපාලනය නොතිබුණා නොවේ. (Kapriri & Ross-2018 ‘The Politics ofDisease Epidemics). මේ වනවිට මාරාන්තික කොවිඞ්-19 වසංගතය ලෝකය විනාශ කරමින් සිටින අතර අවසනාවකට මෙන් එයද දේශපාලනික වී ඇත. මෙම ලිපිය කොවිඞ්-19 යේ දේශපාලනය පිළිබඳ කෙටි නිරීක්ෂණයකි.


න-දේශපාලනික ස්වාභාවික වසංගත

1.දිනකට ලක්ෂ 5000-10000 අතර ජීවිතක්ෂයට පත්කරමින් කොන්ස්තන්තිනෝපල නගරයෙන් ආරම්භව ලෝ පුරා ව්‍යාප්තව ගොස් ලක්ෂ 1000 පමණ ජීවිත බිළිගත් ක්‍රි.ව. 541 වසංගතය එදා ලෝකය සසල කළ එකක් විය. කොන්ස්තන්තිනෝපල නගරයේ ජනගහනයෙන් 1/3 ක් මෙම වසංගතයට බිළිවූහ.

2.14 වෙනි සියවසේදී මැක්කන් විශේෂයකින් ප්‍රභවය ලැබ වසංගත තත්ත්වයට පත්ව ලක්ෂ 500 සහ 750 අතර ප්‍රමාණයක් මියැදුණු ‘කළු මරණය’ (Black Death) වශයෙන් හැඳින්වෙන මෑත යුරෝපීය ඉතිහාසයේ ඛේදජනකම වසංගතය.

3.ඊළගට 1665-66 වසරයන්හී මීයන්ගෙන් ප්‍රභවය ලැබ ව්‍යාප්ත වූ තවත් වසංගතයක් 17වෙනි සියවසේ සලකුණුව ඇත. ලන්ඩන්වල ජනගහනයෙන් 1/5 මෙයට බිළිවූහ.


මෙම වසංගත ව්‍යසන තුනටම දේශපාලනික ප්‍රභවයක් හෝ ව්‍යාප්තිය දේශපාලන න්‍යායපත්‍රානුකූලව නොසිදුවිය. එනම් මෙම වසංගතයන් බෙහෝවිට එදා මිනිසුන්ගේ නොදැනීම හෝ නොසැලකිල්ල නිසාවෙන් මීයන් වැනි සතුන් නිසා ව්‍යාප්තවූවා මිස වසංගතයේ බෝවීම සඳහා ධනපති අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හී දේශපාලන තීන්දු-තීරණ හා ක්‍රියාදාමයන් බල පෑවේ නැත.


දේශපාලනිකවු පළමු වසංගතය- ‘ස්පාඤ්ඤ උණ’ 1918-19

4.විසිවෙනි සියවසේ මාරාන්තික වසංගත ව්‍යසනය ලෙස ඉතිහාස ගතව ඇත්තේ 1918 ‘ස්පාඤ්ඤ උණ වසංගතයයි.’ එයින් ද ලක්ෂ 1000 ක් පමණ මිනිසුන් මරණයට පත්වූහ. 19වෙනි ශතවර්ෂයේ ධනවාදයේ ආගමනයත් ප්‍රාග්ධන සමුච්චනයට කෑදරවූ අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතවාදී ආක්‍රමණ මානසිකත්වයත් නිසාවෙන් ගනු ලැබූ දේශපාලන තීරණයන් සහ භාවිතයන් ‘ස්පාඤ්ඤ උණ වසංගතය තීව්‍ර කළ අතර ව්‍යාප්තිය දෙගුණ තෙගුණ කිරීමට දායකවීමෙන් මරණ සංඛ්‍යාව ලක්ෂ ගණනින් වැඩිකරනු ලැබීය. වෛරසයේ ස්වභාවයට අනුව එය සුපුරුදු ලෙස මිනිස් බිළිගැනීම් කළ අතර අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ සුවච කීකරු දේශීය ධනපති වහළුන්ගේ දේශපාලනය විසින් මළකඳන් වැඩි කළෝය. බොහොමයක් රටවල ‘ස්පාඤ්ඤ උණ වසංගතයක් ලෙස ව්‍යාප්ත වූයේ ගම්වල නොව අධිරාජ්‍යවාදී සපත්තුවට පෑගී සිටි යටත්විජිත රටවල රන් සහ දියමන්ති පතලයන්හී මෙන්ම නාගරික කාර්මික වැඩබිම්වල අඩු පහසුකම් සහ අවම සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ අඩු වේතනයකට වැඩකළ ලක්ෂ සංඛ්‍යාත දුප්පත් වැඩකරන ජනතාව අතරය.

(යුරෝපයේ 19 සියවසේ මැදදී එනම් වික්ටෝරියානු එංගලන්තයේ ධනවාදී හාම්පුතුන් කම්කරුවන්ට සැලකූ ආකාරය සහ ඔවුන්ගේ දරිද්‍ර සෞඛ්‍ය වටාපිටාව ෆ්‍රෙඞ්රිච් එංගල්ස් විසින් ද සිය (The Condition of the Working Class in England:1945) ලියා තිබිණ. (එම නිසා මෙය දකුණු අප්‍රිකාවට සුවිශේෂ වූ තත්ත්වයක් හෝ අහඹුවක් නොව අධිරාජ්‍යවාදීන්ගේ හා ධනවාදීන්ගේ චර්යාවේම අමානුෂික ප්‍රකාරයකි. (උදාහරණ: දකුණු අප්‍රිකාවේ Rand දිස්ත්‍රික්කයේ රන් පතල් ආකාරවල සහ කිම්බර්ලිවල දියමන්ති ආකරවල සහ රොඬේසියාවේ වැඩකළ ජනතාව.) පළමුවැනි වසංගත රැල්ල ඇමරිකාව, යුරෝපය සහ ආසියාව ඩැහැගත් අතර මාස කිහිපයකට පසු නැගුණු දෙවැනි අති මාරාන්තික රැල්ල දකුණු අප්‍රිකාව සිසාරා පැතිරයමින් 140000 ක් බිළිගනු ලැබීය. මේ අනුව ස්පාඤ්ඤ උණ වසංගතය වෛරසයකින් ඉපිද ලෝ පුරා ව්‍යාප්තව මිනිස් ජීවිත බිළිගැනීම ස්වාභාවිකය. එහෙත් 1918-19 දී මෙය පාලනය කළ නොහැකි ආකාරයකින් දකුණු අප්‍රිකාව තුළ ව්‍යාප්ත වූයේ අධිරාජ්‍යවාදී දේශපාලනයේ සහ ලාභ රේට්ටුව වැඩිකර ගැනීමේ ධනවාදී අරමුණෙහි ඵලයක් ලෙසය. විශේෂයෙන් අසරණ කළු ජාතිකයින්ගේ ශ්‍රම සූරාකෑමේ ඵලයක් ලෙසය.

ස්පාඤ්ඤ වසංගතය විසින් ලක්ෂ දහස් ගණනින් මිනිස් ජීවිත බිළිගැනීම පළමුවෙනි ලෝක යුද්ධය සමගද සම්බන්ධය. එම නිසා ස්පාඤ්ඤ වසංගතය මෙම ලිපියේ ඉහත දැක්වූ ක්‍රි.ව. 541 වසංගතය හෝ 14වෙනි සියවසේ වසංගතය හෝ 17වෙනි සියවසේ යුරෝපීය වසංගතය මෙන් නොවේ. එම වසංගත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාභාවික වූහ. දේශපාලන මිනිස් මැදිහත්වීමක් කැපී නොපෙනුණි. වසංගතයන් සමනය වූ පසු පාලක පන්තිය වසංගතය හරහා හෝ ඒ මත තම දේශපාලනය සහ ආර්ථිකය හැඩගස්වා ගත් බව සත්‍යයකි. එහෙත් 19 වෙනි සියවසින් පසු ධනවාදය සහ අධිරාජ්‍යවාදය තම යටත් විජිතයන්ගේ දුප්පත් කළු ජාතික දේශීය ශ්‍රම බලකායට අකාරුණික සහ අමානුෂික ලෙස සැලකීම නිසා වසංගතය පැතිරීම වේගවත් විය. මෙසේ නොවූයේ නම් අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතයන්හී ස්පාඤ්ඤ වසංගතයෙන් මෙපමණ මරණ සංඛ්‍යාවක් සිදුනොවනු ඇත. එසේ වූයේ වසංගතය ව්‍යාප්තවීම ප්‍රවර්ධනය කරන සහ වැඩ කරන ජනතාවගේ දුක සැප නොබලන හැකි හැම ආකාරයෙන්ම ශ්‍රම සූරාකන දේශපාලන-ආර්ථික (political economic) ප්‍රතිපත්තියක සහ දෘෂ්ටිවාදයක ඔවුන් සිටි නිසාය. ස්පාඤ්ඤ වසංගතය අතිභයානක වසංගතයින්ගෙන් එකක් ලෙස ඉතිහාසගතවීමට අධිරාජ්‍යවාදී ධනපතීන්ගේ ක්‍රියාපටිපාටිය හේතුවිය.

අනික් අතට සුදු අප්‍රිකානුවන්ගේ සහ සුදු අධිරාජ්‍යවාදීන්ගේ වර්ගවාදී දෘෂ්ටිවාදයද කළු ජාතික සහ සුදු නොවන අනෙකුත් ජාතීන්ගේ මරණ සංඛ්‍යා ප්‍රතිශතය වැඩි කළෝය. මෙය දේශපාලනයේ වර්ගවාදී රූපයයි. ස්පාඤ්ඤ වසංගතය දේශපාලනික වූයේ මෙසේය. ස්පාඤ්ඤ වසංගතය දේශපාලනය සමග තිබූ සම්බන්ධය හොඳින් පෙනෙන කරුණ නම් පිලිපීනය ඇමරිකානු පාලනයට යටත්ව තිබූ සමයේ ඇමරිකාවට ගැති පිලීපිනුවන්ට හැරුණුකොට සාමාන්‍ය පිලිපීනුවන්ට වැඩපොළෙහිදී හෝ සමාජයේදී කිසිම ආරක්ෂාවක් නොලැබීමය. මෙම දේශපාලන තීරණයේ වන්දිය නිමවූයේ පිලිපීනු ජීවිත 80000ක විනාශයකිනි. මෙය ස්පාඤ්ඤ වසංගතයේ දේශපාලනය නොවේ නම් වෙන කුමක්ද?

වෛරස විද්‍යාඥයින් ස්පාඤ්ඤ වසංගතය වෛරස විද්‍යාවින් (virology) පමණක් තේරුම් ගත්තද තේරුම් කර දුන්නද ස්පාඤ්ඤ වසංගතය හරියට සහ නිවැරදිව තේරුම් ගත හැක්කේ 1 වෙනි ලෝක යුද්ධය හරහා එය බැලීම තුළිනි. 1වෙනි ලෝක යුද්ධය ගෝලීය දේශපාලනය සමග සම්බන්ධ වූවා පමණක් නොව ඇ.එ.ජ.යේ හමුදා මෙහෙයවීම් සහ රෙගුලාසි සහ ස්පාඤ්ඤ වසංගතයෙන් මියැදුණු ගණන අතර සමීප නොව අත්‍යන්ත සම්බන්ධයක් තිබිණ. හමුදා කඳවුරුවල අධික ජනගහනයක් නිතර ගැවසීම වසංගතයේ පැතිරීම වේගවත් කළේය. ස්පාඤ්ඤ වසංගතය සමනය කිරීමට වඩා අධිරාජ්‍යවාදීන්ට වුවමනා වූයේ වසංගතය නොසලකා තම යුද ව්‍යාපෘතියට ප්‍රමුඛස්ථානය දීමය. යුද තුවාලකරුවන් 2 ලක්ෂ 27000 ක් වූ අතර වසංගතයෙන් ආසාදිතවූ ගණන 3 ලක්ෂ 40000ක් විය. යුද හමුදා කඳවුරුවල අධික ජනගහනය උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාමට ඉවහල් විය. යුද්ධය නිසා ප්‍රවාහන පද්ධතිය අප්‍රාණික වීම ද මරණ සංඛ්‍යාව වැඩි කරනු ලැබීය. සතුරු හමුදා වෙඩි උණ්ඩවලට වඩා ඉහළ ප්‍රමාණයකින් උණ සන්නිපාතයෙන් සොල්දාදුවන් මරණයට පත්වූහ. හමුදාවලින් ලක්ෂ 90 ක් ජීවිතක්ෂයට පත්වූහ. මෙසේ වූයේ අධිරාජ්‍යවාදීන්ගේ යුද උන්මාදය නිසාය. යුද්ධය උණරෝගීන්ට අවශ්‍ය වූවක් නොවේ.

යුද්ධය අවශ්‍ය වූයේ අධිරාජ්‍යවාදීන්ටය. වසංගතය පැතිරයාම වැළැක්වීමට අවශ්‍යතාවක් නොතිබුණේද අධිරාජ්‍යවාදීන්ටය. අවම පහසුකම් සපයමින් කම්කරු ශ්‍රම සූරාකෑම කරනු ලැබුවේද ඔවුන්මය. එම නිසා ‘ස්පාඤ්ඤ උණ වසංගතය සමග අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතාවන් සහ සමාජ ව්‍යුහය සමග සමීප ලෙස බද්ධ වී තිබිණ. F.M.Snowden  Epidemics and Politics : From Black Death to the Present (2019) නමැති පොතින් 2019 වසරේදී ‘වසංගත රෝගවල ව්‍යාප්තියට පාලකයින් විසින් නිර්මාණය කර ඇති සමාජ ව්‍යුහය විශාල භූමිකාවක් කරන බව ව්‍යක්ත ලෙස පෙන්වාදී ඇත. (උදා: ස්පාඤ්ඤ උණවසංගතය.) කොවිඞ්-19 යේ හැසිරීම අනුකම්පා විරහිත සහ අමානුෂික ආකාරයට සිදුවූයේ පාලක පන්තිය විසින් කාලාන්තරයක් පුරා නිර්මාණය කරනු ලැබූ දරිද්‍ර, ජනවාර්ගික වෙනස්කම් සහ අසමානතාවලින් සැපිරි සමාජ ව්‍යුහය නිසා බව අද සමස්ත ලෝකයම දනී. ඇමරිකාවේ මරණවලින් සැලකියයුතු ප්‍රමාණයක් කළු අප්‍රිකානු සහ ලතින් ඇමරිකානුවන්ය.


වසංගතයක් යනු වෛරස විෂබීජයක් සමග සම්බන්ධ හෙයින් සහ එය ස්වාභාවික උපද්‍රවයක් වන හෙයින් වසංගතයක දේශපාලනයක් තිබිය හැකිදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් ස්පාඤ්ඤ වසංගතය පිළිබඳව අප ඉහත කෙටියෙන් දැක්වූ කරුණුවලින් වසංගතයක ප්‍රභවාත්මක මූලාශ්‍රය කෙසේවෙතත් වසංගතය රාජ්‍යයන් සහ පුද්ගලයින් කියවන ආකාරයේ, එයට දෙනු ලබන සැලකිල්ලේ සහ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් අප දුටුවා සේ වසංගතයේ ව්‍යාප්තිය ශීඝ්‍ර කිරීමට අධිරාජ්‍යවාදීන් තමන්ගේ යටත්විජිතයන්හී ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිද තීරණාත්මක වනු ඇත. Pale Rider: How Spanish Flu Changed the World  පොතින් Laura Spinny කළේද මෙවැන්නකි. එනම් වසංගතය වෛරසය තුළින් හෝ වෛරස විද්‍යාව තුළින් නොබලමින් ඇය ඒ දෙස බැලුවේ තත්කාලීන දේශපාලනය හා අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන-ආර්ථික ව්‍යාපෘතිය තුළිනි.

කොවිඞ්-19 වසංගතය වෛරස විද්‍යාඥයින් සහ ප්‍රජා සෞඛ්‍යය හා සම්බන්ධ අය නිවැරදිව වෛරසය, එහි සංයුතිය සහ ව්‍යුහය හරහා විග්‍රහ කරද්දී සහ ඒ සඳහා එන්නතක් සොයද්දී අප කළ යුත්තේ එහි දේශපාලන මානයක් ඇත්නම් ඒ දෙසද බැලීමය. හේතුව වෛරසයක් වසංගතයක් ව පැතිරී ලක්ෂ ගණනින් මිනිසුන් බිළිගැනීම සමග පාලකයින්ගේ දේශපාලන සහ ආර්ථික තීරණද විශාල භුමිකාවක් කරන හෙයිනි. (උදා: අද කොරෝනා ආක්‍රමණය ගැන ට්‍රම්ප් ගනු ලබන හිතුවක්කාර අදූරදර්ශී තීරණ). කොවිඞ්-19 සම්බන්ධයෙන්ද මෙය මෙසේම සත්‍යය වූ බව පසුගිය මාස 4 තුළ කොරෝනා කේන්ද්‍රය කරගනිමින් ලෝ පුරා සිදුවූ දෑ දෙස බලන කල පෙනේ.


කොරෝනා හෙවත් කොවිඞ්-19ය වසංගතයේ දේශපාලනය

2019 වසරේ අග කාර්තුවේදී චීනයෙන් ආරම්භව ලෝ පුරා ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 200 කට ව්‍යාප්තවී ඇති මෙම වසංගතය මේ ලියන මොහොත වනවිට (අප්‍රේල් 9) මිනිස් ප්‍රාණයන් 90000 ක් බිළිගෙන ඇත. පුරෝකතනය 1 ලක්ෂ 50000 ඉක්මවන බවය. වසංගතයේ පැතිරීම ඇනහිටින බවට ජායා මාත්‍රයක් හෝ දක්නට නැත. මරණ සංඛ්‍යාවේ මුළු එකතුව 1918 ස්පාඤ්ඤ වසංගතය තරම් නොවිය හැකි වුවද ස්පාඤ්ඤ උණවසංගතය මෙන්ම කොවිඞ්-19 තුළින්ද දේශපාලනයක් දක්නට ලැබිණ. එදා සේම මෙදා ද කොරෝනාව සමග දේශපාලනය කිරී්මක් සහ තම තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කොරෝනාව භාවිත කිරීමක් ගෝලීය දේශපාලනයෙන් පෙනේ.

කොවිඞ් -19 චීනයෙන් පසුගිය දෙසැම්බර් මැදභාගයේ පමණ වුහාන් ප්‍රන්තයෙන් පැන නැගුණද එහි ආරම්භක අවස්ථාවේදී චීනයේ පාලක පන්තිය හැසිරුණේද දේශපාලනිකවය. මිනීමරු වසංගතයක පෙරනිමිති පළකළ ඒ වනවිටත් ආසාදිතයෙකු වූ වෛද්‍ය ලී නෙකියෑං ඇතුළු 8 දෙනෙකු බොරු ආරංචි පැතිරවීfමේ හේතුවෙන් අත් අඩංගුවට ගනු ලැබුවේ චීනයේ දේශපාලන ප්‍රතිරූපය රැකගැනීම සඳහාය. එසේම සැබෑ තත්ත්වය සහ මරණ සංඛ්‍යාව චීනය දේශපාලනික හේතු නිසා සැඟවූ බවක්ද කියැවිණි. ඊජිප්තුව විසින් රෝගීන්ගේ ගණන එළිදරව් කිරීම නිසා එහි සිටි ගාඩියන් (Guardian) මාධ්‍යවේදියා රටින් පිටුවහල් කිරීම තවත් උදාහරණයකි. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ වසංගතය පැතිරීම පිළිබඳ තොරතුරු ජනතාවට නොදීමට වග බලා ගති.

කොරෝනාව යුරෝපයට සහ ඇමරිකාවට ව්‍යාප්තවීමත් සමග කරුණු දෙකක් කැපී පෙනිණ. 1 කොරෝනාවේ දේශපාලනය 2 ධනවාදී යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික දර්ශනය වන නව ලිබරල්වාදයේ ආදාහනය.

දැනටමත් ලිපිය දිග වැඩිවීම නිසා අවධානය කොරෝනාවේ දේශපාලනයට පමණි. (‘කොරෝනාව විසින් නව ලිබරල්වාදය ආදාහනය කිරීම’ මැයෙන් ලිපියක් පසුවට.)

ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය මුලදී කොරෝනාව ලිහිල් ලෙස ගත්තද ඔවුන් එය අවඥාවට ලක් කළේ හෝ එය පිළිබඳව අසත්‍ය පැතිරෙව්වේ නැත. ඒ රාජ්‍යයන් කොවිඞ්-19 උත්සන්න වන බව දැන සිටියෝය. එහෙත් බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ විශේෂයෙන් ඇමරිකාව දේශපාලනික වාසි පිණිස කොරෝනාවේ සැබෑ රූපය සහ එහි මාරාන්තිකභාවය ජනතාවගෙන් වසන් කිරීමේ සන්නිවේදන පිළිවෙතක සිටියෝය. ‘ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ’, ‘සියල්ල පාලනය කරමින් සිටී’, ‘එය මර්දනය කිරීම සරලය’, ආදී වශයෙන් ධනවාදී රටවල දේශපාලනඥයෝ ජනතාවට සත්‍යය වසන් කළෝය. සිදුවීමට යන ව්‍යසනය අවතක්සේරු කළෝය. ප්‍රංශය විසින් කොරෝනාවින් මහලු නිවාසයන්හී මියැදෙන ප්‍රමාණය සංඛ්‍යා ලේඛනවලට එකතු නොකිරීමද දේශපාලනයේ කොටසකි. මේ වනවිට ආසාදිතයෙක් වී රෝහල්ගතව සිටින බි්‍රතාන්‍යය අගමැති බොරිස් ජොන්සන්ද මුලදී කොරෝනාව සැහැල්ලුවට ගත්තේය. බි්‍රතාන්‍යයන්ට නිදහස තිබිය යුතු නිසා ‘සමාජ දුරස්ථභාවයට’ සහ ‘වසාදැමීම’ට (lockdown) බොරිස් අකමැති විය. ඔහුගේ මුල්කාලීන දේශපාලන මනෝවිද්‍යාවට මේ වනවිට බි්‍රතාන්‍යයන් දස දහස් ගණනින් වන්දි ගෙවති. බ්‍රසීලයේ ජනාධිපති බොල්සනාරෝද තම විරුද්ධවාදීන් මෙයින් දේශපාලනික ප්‍රයෝජන ගනීවියැයි යන බියට කොරෝනාව අවතක්සේරු කළේය. ‘එය සුළු උණක්. බයවෙන්න දෙයක් නැහැ.’ එහෙත් කොරෝනාව බ්‍රසීලයේද අවතක්සේරු නොවීය. මෙක්ෂිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපෙස් සිය දේශපාලන වාසි තකා ජනතාවට කීවේ ‘ගණන් ගන්න එපා. සාමාන්‍ය විදියට ඉන්න.’ එහෙත් ලෝපෙස්ගේ මෙක්ෂිකෝවටද කොරෝනාවින් සමාවක් ලැබුණේ නැත.


කොරෝනා සමග ට්‍රම්ප්ගේ දේශපාලනය


අන් සියලු රාජ්‍ය නායකයෙකුට වඩා කොරෝනාව සමග ඉතා බොළඳ, අවස්ථාවාදී, උන්මාද දේශපාලනයක් කළේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ය. කෙරෝනාව ඇමරිකාවට ඇතුල්වුණේ ජනාධිපති මැතිවරණයේ උණුසුමත් සහ තම ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සාර්ථකව ඉදිරියට එන මොහොතකය. මේ නිසා කොරෝනාව සැහැල්ලු කොට තමන්ව ‘පුම්බා’ ගැනීමට ට්‍රම්ප් ප්‍රමුඛතාව දුනි. එම නිසා තම දේශපාලන ව්‍යාපාරය සහ පාක්ෂිකයින් කඩා විසිරව නොයා එකම පොදියකට තබාගැනීමට ට්‍රම්ප් කෙරෝනාව පාවිච්චි කළේය. චීනය සමග ඇති දේශපාලන මතභේදය නිසාවෙන් සහ ඔහුගේ ඇමරිකානු සුපිරි-අහංභවය නිසා කොරෝනාව අපහාසාත්මකව සහ උපහාසාත්මකව හැඳින්වූයේ ‘චීන වෛරසයක්’ ලෙසය. එසේම ඇමරිකානු ජනතාව මුලා කිරීමට සහ තම විරුද්ධවාදීන්ට බැට දීමට මෙන්ම කොවිඞ්-19 වයිරසය පිළිබඳ ඔහුගේ දැනීමේ තරමද ප්‍රදර්ශනය කරමින් ඔහු කීවේ එය ‘තම විරුද්ධවාදීන්ගේ කවට උපායක් ‘නැතිනම් ‘වංචාවක් (hoax) ලෙසය. වරෙක ඔහු කොවිඞ්-19 ය ‘වාරික හෙම්බිරිස්සාවක්’ (seasonal flu) තත්ත්වයට අවතක්සේරු කළේය. ඔහු අප්‍රේල් 13 කීවේත් ‘සියල්ල මැඬපවත්වමින් සිටී’ යන්නය.


එහෙත් දිනෙන් දින කොරෝනාවෙන් මිනිසුන් මියයන විට ට්‍රම්ප්ගේ ඇස් හැරුණද දේශපාලන බල ලෝභීත්වයෙන් ඔහු අන්ධවී සිටීම නිසා ඔහු විසින් ඔහුගේ දේශපාලනය සහ පෞරුෂය පුම්බා ගැනීමේ ව්‍යාපෘතිය මේ ලියන මොහොත වනවිටත් අත්හැර නැත. විසිතුන්දාහක් (23000) මියගොස් 6 ලක්ෂයක ආසාදිතයින් සිටියදීත් ‘බිස්නස්’ කටයුතු සඳහා ඇමරිකාව විවෘත කිරීමට මේ මොහොත වනවිට ට්‍රම්ප් අර අඳිනුයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විරෝධතා මධ්‍යයයේය. තම ධනවාදී ව්‍යාපාරික මිතුරන්ව සැනසීම සහ එළඹෙන මැතිවරණ ව්‍යාපාරයට ඔවුන්ගෙන් මුදල් ලබාගැනීම මෙහි යටි චේතනාවයි. එසේම ආසාදිතයන් ලක්ෂ 5ක් ඇමරිකාවේ සිටින බවවත් ආසාදිතයින් දිනකට දහස් ගණනින් වැඩිවන බවවත් ඔහු නොදනී. ඔහු කුම්භකර්ණ නින්දේය. එසේම ජනතාව එක දිනකට දහස් ගණනින් මිය ගියද එයට ඔහු සංවේදී නැත. ඔහුගේ ඉලක්කය නැවත ජනාධිපති වීමය. ව්‍යපාර සඳහා ඇමරිකාව විවෘත කිරීමට ඔහු සහ ධවල මන්දිරයේ ඔහුගේ රිපබ්ලිකන් සගයින් තීරණය කරනුයේ මේ නිසාය. ඇත්තටම කොරෝනා වසංගත සමයේ ට්‍රම්ප්ගේ මනෝ (නැතිනම් මනෝව්‍යාධි) දේශපාලනය ගැන පමණක් වුවද පොතක් ලිවිය හැකිය. ප්‍රගතිශීලි ඇමරිකානුවෙකු මෙය අනාගතයේදී අනිවාර්යයෙන්ම කරනු ඇතැයි මට සිතේ.

කොරෝනා නිසා විවෘතව දිස්වුණ ට්‍රම්ප්ගේ වෛරස් දේශපාලනය වඩාත් කැපී පෙනුණේ ඔහු නිව්යෝර්ක් ප්‍රාන්ත රාජ්‍යය සමග සිදුවූ හබයේදීය. ඇමරිකාවේ වැඩිම මරණ සිදුවුයේ නිව්යෝර්ක්වලය. නිව්යෝර්ක් හී ආණ්ඩුකාරයාවූ ඇන්ඩෲ කූමෝ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පිලේය. ඒ නිසා ට්‍රම්ප් නිව්යෝර්ක් රෝහල් සඳහා අවශ්‍ය සෞඛ්‍යය ආධාර සහ මුදල් ප්‍රදානය කිරීම පමා කළේය. කෙන්ටකී ප්‍රාන්තයද එසේවූ නිසා එයටද ට්‍රම්ප්ගේ අවධානයක් යොමු නොවිණි. විෂබීජ ආරක්ෂක කබා, අත්වැසුම්, මුඛවාඩම් සහ ස්වසන පහසු කරන යන්ත්‍ර වැනි වෛරස ආශ්‍රිත සෞඛ්‍යය සේවා සඳහා අවශ්‍ය ‘පෞද්ගලික ආරක්ෂා උපකරණ’ (PPT) අඩුවෙන් සැපයීය. ඇත්තටම සෞඛ්‍යය සුභ සාධන මුදල් ට්‍රම්ප් කපාහැර තිබීම නිසා සැපයීම සඳහා ඒවා ගබඩාවල නොතිබිණ. ‘ස්වසන-සහන යන්ත්‍ර’ (ventilators) මිලදී ගැනීමට වඩා ඔහු මුදල් වියදම් කළේ ප්‍රහාරක යානා ගැනීමට, විදේශයන්ට යැවූ හමුදා නඩත්තු කිරීමට සහ මෙක්සිකානු තාප්පය සෑදීම වැනි මානව විරෝධී සහ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙනි. සමාජ සේවා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඔහු සෞඛ්‍යයට දෙනු ලැබුවේ හතරවෙනි ස්ථානයයි. මේ තත්ත්වය තුළ ඔහුගේ අඩුපාඩු වසා ගැනීමට ඔහු කළේ සෞඛ්‍යය සේවා පෞද්ගලික ආරක්ෂා උපකරණ හිඟවීම පිළිබඳව ප්‍රාන්ත ආණ්ඩු වගකිවයුතු බවක් පැවසීමයි. තමාගේ වගකීම පැහැර හැර එම වගකීම ඒ ඒ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට පැවරීම යනු දේශපාලනයයි. ට්‍රම්ප් හැසිරුණේ ඇමරිකාවේ ජනාධිපති හැටියට නොව කූමෝගේ හතුරෙකු ලෙසය. ඒ නිසාවෙන්ම ඇමරිකානු ජනතාවගේද හතුරෙකු ලෙසය.

නිව්යෝර්ක් තම සතුරු චීනයේ ප්‍රාන්තයක් ලෙස සිතාය. වෙනත් ප්‍රතිවාදී ප්‍රාන්ත රාජ්‍යයන්ටද ඔහු සැලකුවේ මෙසේය. මේ නිසා නිව්යෝර්ක්හී කොරෝනා ආසාදිතයින් ඉහවහා ගියා පමණක් නොව රෝගීන්ද බල්ලන් බළලුන් ගාණට දිනපතා මියැදිණ. සමස්ත ඇමරිකාවේ මේ වනවිට (අප්‍රේල් 14) මරණ 24000 ක්ව ඇත. මෙම සංඛ්‍යා සත්‍ය නොවන බවත් මුළු ගණන මීට සෑහෙන ප්‍රමාණයකින් වැඩි බවත් කියැවේ.

ඇත්තටම වසංගතයන් සමග සැබෑ මානව දේශපාලනයක් කළ නොහැකිවා නොවේ. රුසියානු විප්ලවයේ සේනාධිපති වූ වී.අයි. ලෙනින් ස්පාඤ්ඤ වසංගත සමයේදී මහජන සෞඛ්‍යය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කළා පමණක් නොව නිරන්තරයෙන් අවධාරණය කරනු ලැබුවේ සියල්ලම පසෙකලා වසංගතයට ප්‍රමුඛතාව දෙන ලෙසය. පුදුමයක් නොවූවද ට්‍රම්ප් මෙහි ප්‍රතිවිරුද්ධයයි. බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද බි්‍රතාන්‍යයන්ද ඇතුළු ලෝ පුරා කොරෝනා මරණවලින් සහ ආසාදිතයින්ගෙන් 70% ක ප්‍රමාණයක් මධ්‍යම සහ පහළ මධ්‍යම සහ කම්කරු පංතිවලින්ය යන්න දැන දැනම අපහාසාත්මකව කීවේ ආසාදිතයින්ටම තම රෝගය නිවාරණ කරගැනීමේ ‘රංචු ප්‍රතිදේහ හැකියාව’ (herd immunity) පවතින නිසා කොරෝනාව රජයට ප්‍රශ්නයක් නොමැති බවය. මෙය එම පන්තීන් නියෝජනය කරන්නන්ට මොනතරම් අපහාසයක්ද? සහ මෙය මොනතරම් ‘සුනඛ’ ප්‍රකාශයක් ද? මේ පාලක ධනපති පන්තියේ හැටිය. මේ උන්ගේ අමනුස්සකමය.

මේ වනවිට බොරිස් ජොන්සන් ලන්ඩන් රෝහලක තම රංචු ප්‍රතිදේහ ශක්තියේ හැකියාව මනිමින් සිට ඔහුගේ රංචු ප්‍රතිදේහ ශක්තිය සතුටුදායක නිසාවෙන් නිවෙස් බලා ගොස් ඇත. එහෙත් ලන්ඩනයේ පහළ පන්තියේ ආසාදිතයෙකුට බි්‍රතාන්‍යයේ අංක එකේ රෝහලින් ප්‍රකාර ලබාගත නොහැකිය. ඬේවිඞ් කැමරොන් සමග එකතුව ‘ජාතික සෞඛ්‍යය සේවය’ (NHS) අකර්මණ්‍ය කළ රැකියා දහස් ගණනින් කප්පාදු කළ බොරිස් රෝහලින් පිටවන විට ඉතා අසරණ තත්ත්වයට පත්ව ‘ජාතික රෝහල් සේවය’ ට පුන පුනා තුති පුදකිරීම දෛවයේ සරදමක් සේම කම්කරු පන්තියේ ජයග්‍රහණයක් නොවන්නේද?

ට්‍රම්ප් පතනුයේ සහ බලා සිටිනුයේ වසංගත මරණ උපරිමයට ගොස් නතර වන තෙක්ය. ඇස්තමේන්තුවේ හැටියට එය ලක්ෂ දෙකක් වුවද ඔහුට කම් නැත. එවිටවත් තමාගේ දේශපාලනය කිරීම සඳහා රට විවෘත කරගත හැකිය යන්න ඔහුගේ අභිලාෂයයි. එසේ නොමැතිව කල්තියා තම රටේ පුරවැසියන්ගේ ජීවිතය වෛරසයට වුවමනා විදියට තීරණය කිරීමට ඉඩ නොදී මර්දනය කරමින් තම පුරවැසියන්ගේ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට නොවේ. ට්‍රම්ප් කොවිඞ්-19 සමග සහ ඇමරිකාවේ ජනතාව සමග කරනුයේ දේශපාලන ක්‍රීඩාවකි. ඔබාමාගේ සෞඛ්‍ය සේවා මූල්‍ය ප්‍රදානයන් සහ සහනයන්ගේ කප්පාදුව ඊටත් වඩා ඉහළ මට්ටමකින් ට්‍රම්ප් කප්පාදු කිරීම සමග අද ඇමරිකාවේ දෛනිකව ඉහළ යන කොරෝනා මරණ සමග සම්බන්ධය. ට්‍රම්ප්ගේ මෙම දේශපාලනයේ අනිවාර්ය අවසාන ප්‍රතිඵලය වනුයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහු පරාජයවීමයි.

කෙසේවුවද වසංගත සමග සහ මිනිස් ජීවිත සමග කව්රුන් හෝ දේශපාලනය නොකළ යුතුය. ජේ.එම්. බැරී ස්පාඤ්ඤ වසංගතය පිළිබඳ සමීපව අධ්‍යයනය කළ ඉතිහාසඥයෙකි. ඔහු මෙසේ ලීවේය. “සමහර රාජ්‍ය නායකයින්ගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් අනවශ්‍ය ලෙස මිනිසුන් මරති” (බැරී මේ කීවේ ට්‍රම්ප් ගැන නොවේ. එහෙත් මට සිතෙනුයේ මෙම නිරීක්ෂණය ට්‍රම්ප්ටද අදාළය. ඇත්තටම අපටද අදාළය). කොරෝනා සමග බොහෝ පාලකයින් දේශපාලනය කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද දන්නා නිසා එහි ලේකම් අන්ටොනියෝ ගුටෙරස් නොබෝදා මෙම අවවාදය ලෝ පුරා මුදා හැරියේය. ’දේශපාලන ක්‍රීඩා අමතක කරන්න. වෛරස් හතුරා පරාජය කරන්න.” ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඞ්රෝස් ගෙබ්්‍රයේසස් ද ට්‍රම්ප්ට දැඩි ලෙස අවවාද කළේ මෙසේය.

“කරුණාකර මෙම වෛරසය දේශපාලයනට යොදා ගන්න එපා. ඔබට තව මෘත ශරීර බෑගයන් අවශ්‍ය නම් ඔබට එය කරගත හැකිය. එහෙත් මෙම වෛරසය (සහ තත්ත්වය) දේශපාලනයට භාවිත නොකළ යුතුය”

මෙය කාලෝචිත අවවාදයක් වුවද ස්වාභාවික වසංගතයන්ට ‘වෛරස් දේශපාලනය’ බෝවූයේ අධිරාජ්‍යවාදය, ධනවාදය සහ නවලිබරල්වාදය නිසා බව ගුටෙරස් සහ ටෙඞ්රෝස් ප්‍රකාශ කළේ නැත. නමුත් සත්‍යය එයයි.

මෙහිදී ශ්‍රී ලංකාව ගැනද කෙටියෙන් යමක් ලිවිය යුතුය.

ශ්‍රී ලංකාවටද කෙරෝනාව තර්ජනයක්ව ඇති අතර වෛරසය සහමුලින්ම පලවා හැරීමට රජයත්, ත්‍රිවිධ හමුදාවත්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයත් කරනු ලබන සේවය අතිප්‍රශංසනීයයි. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ද රෝගාතුරවූ චීන කතක් අපේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී එනම් කොරෝනාව පෙනි පෙනී තමන්ට වාසිදායක දේශපාලන තීන්දු යෝජනා කළහ. ‘මැතිවරණය පවත්වමු.’ ‘කල්දැමිය යුතු නැත. “2/3 ක බලය සඳහා යමු’ ‘කොරෝනාව නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුත්තේ නැත.” ආදිය පවසමින් කොරෝනාවේ ශක්තිය අවතක්සේරු කරමින් දේශපාලඥයින්ගේ බලය අධිතක්සේරු කර ගත්හ. එහෙත් කොවිඞ්-19 යක්ෂාවේශයෙන් මෙන් ලෝකය සොහොන් භූමියක් කරන විට සහ මාර්තු 10 අපෙන්ද ආසාදිතයෙක් හමුවීමත් සමග අවස්ථාවාදී දේශපාලනඥයෝ නිහඬ වූහ. මේ අතර මැතිවරණ කොමසාරිස් විසින් මැතිවරණය කල් දැමීය.

එහෙත් ඉහත කෑදර දේශපාලන අවස්ථාවාදීන් මේ තීරණය ගැන උරණ වූහ. එම නිසා මොවුන්ට තිබුණේද ට්‍රම්ප්ට තිබූ අවශ්‍යතාවය. මැතිවරණයක් සඳහා හඬ නැගූ කිසිවෙක් අද ආ ගිය අතක් නැත. එහෙත් ජනාධිපති/අගමැති, හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ වෛද්‍යවරු වෙනත් අය දිවි හිමියෙන් කොරෝනාව සමග යුද වදිද්දී අවාසනාවට මෙන් කොරෝනා දේශපාලනයේ පෙබරවාරි දෝංකාරය අදත් ඇසෙන්නට පටන් ගෙන ඇත.

‘කොරෝනාවට පළමු මැතිවරණ කොමසාරිස්ව සුව කළ යුතුයැයි එක්තරා ඇමතිවරයකුගේ ප්‍රකාශවලින් මැතිවරණය කල් දැමීම පිළිබඳ ඔහු තවමත් පසුතැවිල්ලෙන් සිටින බව පෙනේ. මේ අතර විරුද්ධ පක්ෂයද කොරෝනා මර්දන ක්‍රියාන්විතයේ සුළු අඩුපාඩු සොයා ජනතාව අතරට ගෙනියනුයේද මැතිවරණය ඉලක්ක කරගෙනය. එසේම මහජන අරමුදලින් සහ රජයේ මැදිහත්වීමෙන් ගම් නියම් ගම්වලට බෙදා දෙනු ලබන ආහාර මලු ‘පොහොට්ටු’ ලාංඡනය සහිතව බෙදූ බවක් සහ ’පොහොට්ටු’ පක්ෂයේ හිතවතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ බවක් මාධ්‍ය තුළින් අසන්නට ලැබිණ. එසේම කොරෝනාව මර්දනයට කටයුතු කළ සියලුදෙනාම වීරයන් බව ඇත්තය. ඔවුන්ට ප්‍රණාමයක් පුද කළ යුතු බවද ඇත්තය.

එහෙත් කොරෝනාව තවදුරටත් හැසිරෙන හැටි බලා ප්‍රණාමයන් කිරීම් මසකින් පමණ පමා කොට B.M.I.C.H හෝ නිදහස් චතුරශ්‍රය වැනි අපක්ෂපාතී ස්ථානයක සංවිධානය කළේ නම් අගය කියා නිම කළ නොහැකිය. එහෙත් වසංගතය නිමවීමටත් පෙර ඔවුනට ගරුත්වය දැක්වීම කරනු ලැබුවේ නෙළුම් කුලුනෙහි පහන් දල්වමිනි. නෙළුම් පොහොට්ටුව ආහාර බෙදන ‘බෑගයන්’ හරහා ජනතාවට සමීප කරවීම සහ කොරෝනා මර්දන ව්‍යාපෘතියේ සාර්ථක අවසානයක් දැකීමටත් පෙර නෙළුම් කුලුනෙහි පහන් දැල්වීමයි අතර සාම්‍යයක් සහ දේශපාලන භුමිකාවක් පෙනේ. වසංගතයේ දේශපාලනය යනු මෙයයි. හිටි අඩියේ මැතිවරණයක් ගැන මතක් වනුයේද මේ නිසාය. මේ නිසා අපේ රටේද මුලදී නොතිබුණු කොරෝනා දේශපාලනයක් දැන් දැන් ඉස්මත්තට පැමිණෙන බවක් පෙනේ. කෙසේ වුවද අපේ දේශපාලනඥයෝ ට්‍රම්ප් තරම් උග්‍ර ලෙස කොවිඞ්-19 න් දේශපාලන ක්‍රීඩාවක් නොකරන බව කිව යුතුය. එහෙත් සමහරුනට ට්‍රම්ප් පසුපස යාමේ අවශ්‍යතාවක් ද ඇත.

පහත සහ පහළ මානසිකත්වයකින් යුතු අය කොරෝනා සමග දේශපාලනයක් කළද මේ රජයේ ඉහළ අතළොස්සත්, ත්‍රිවිධ හමුදාවත්, අපේ දක්ෂ වෛද්‍යවරුනුත් මෙම ව්‍යසනයෙන් අපව ගොඩගන්නා බව මගේ විශ්වාසයයි සහ එකම පැතුමයි.

‘පළමුවත් අවධානය කොරෝනාවට, දෙවනුවත් කොරෝනාවට, තුන්වෙනුවත් කොරෝනාවට. හතරවෙනුව දේශපාලනයට’ යන්න අපේ නියාමක හා ගාමක පාඨය විය යුතුය. එසේ නොමැතිව කෙරෝනාවේ හෝ එල්ලී පාර්ලිමේන්තුවට යාමට වළිකෑම රටට ආදරය ඇත්තෙකුට තරම් නොවේ. ගුටෙරස් සහ ටෙඞ්රෝස් “කොව්ඞ් 19 වෛරසය දේශපාලනික නොකරගත යුතු” යැයි කීවේ ට්‍රම්ප්ට පමණක් නොව ශ්‍රී ලාංකික අපටත් බව තේරුම් ගත යුතුය. දේශපාලනය කළ හැක්කේ ජනතාව ඉතුරු වුවහොත් පමණි.

 

 

-රාවය- 
Advertiesment