Saturday 26th of September 2020

English Tamil
Advertiesment


සරසවි යළි ඇරීමේ තීන්දුවට විශ්ව විද්‍යාල ආචාර්යවරු විරුද්ධ වෙති


2020-04-15 22671

දරු දැරියන්ගේ ජීවිත ගැන නොතකා මේ තීරණය ගත්තේ කිනම් පදනමකින් දැයි ප්‍රශ්න කරති

 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ තීරණය වෛද්‍ය-සෞඛ්‍ය-ආරක්ෂක නිර්දේශවලට විරුද්ධයි

 

සභාපතිවරයා රටට-ජනතාවට උත්තර දිය යුතුයි 

 
 
(සුජිත් මංගල ද සිල්වා)     

 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය අවසන් වන දින වකවානුවක් දැක්වීමට ලෝකයේ සිටින වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයන් පවා අසමත් වී සිටියදී, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල 2020 මැයි 04 වැනිදා යළි විවෘත්ත කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ කිනම් පදනමක් යටතේ දැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රශ්න කර සිටියි.

මාරාන්තික COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් රටත්, මුළු ලෝකයත් භීතියෙන් ඇළලී ගොස් සිටියදී රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල හදිසියේම යළි විවෘත්ත කිරීමට තීරණය කළේ කිනම් පදනමක් යටතේ කිනම් අයෙකුගේ උපදෙස් සහ නියෝග මත දැයි යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිළි කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැනුම් දී තිබේ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය තව දුරටත් පවත්වා ගනිමින් රජය මුළු රටම වසා තබා තිබෙන තත්ත්වය නොතකා විශ්ව විද්‍යාල යළි විවෘත්ත කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන ඇති තීරණය වෛද්‍ය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිර්දේශවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව සිය ලිපිය මගින් පෙන්වා දෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය එම තීරණය අතිශය භයානක බව ද අවධාරණය කර සිටියි. 

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩල සේවක සේවිකාවන්ගේ ජීවිතවල ආරක්ෂාව ගැන නොතකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන ඇති මේ තීරණය ගැන මුළු රටම මවිතයට පත්ව ඇතැයි ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩි දුරටත් අවධාරණය කර සිටියි.  

Advertiesment