Thursday 30th of November 2023

English Tamil
Advertiesment


බඩු මිල පෙන්වා බිය වැද්දීම


2019-07-02 7778

ඉන්දියානු ඔයිල් සහ කිරිපිටි මිල ඉහළ යාම ජාතික පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රධාන ශීර්ෂපාඨ අත්පත් කර ගනිද්දී ඒ කිසිඳු ජනමාධ්‍යයකට පුවතක් නොවුණ ජීවන වියදම සම්බන්ධ තවත් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති රැසක් පසුගිය දින කිහිපය ශ‍්‍රී ලංකා මහ බැංකුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනමාධ්‍යවලට නිකුත් කළා. ඒත් පුදුමයකට වාගේ ඒ කිසිදු ප‍්‍රවෘත්තියකට ලැබිය යුතු ප‍්‍රවෘත්ති වටිනාකම හෝ මාධ්‍ය අවධානය ලැබුණේ නැහැ. මේ තත්ත්වය තුළ ‘‘ වේලක් කන්න බැරි තරමට බඩු මිල වැඩියි’’ කියන ප‍්‍රවාදය සමාජගත කිරීමට විපක්ෂයට අවස්ථාව ලැබිලා තිබෙනවා.

ජීවන වියදමේ සැබෑව

පොදු ජනතාවගේ එදිනෙදා පාරිභෝජනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම සඳහා කරුණු කිහිපයක් බලපාන බව ආර්ථික විද්‍යාඥයෝ කියනවා. ලංකාවේ පසුගිය කාලය දෙස අවධානය යොමු කළහොත් මේ සහල්, එළවළු, පොල් ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම සඳහා ඍජු හේතුව වුණේ පසුගිය කාලය පුරාම අඛණ්ඩව මුහුණදීමට සිදු වුණු අයහපත් කාලගුණ තත්ත්වය බව ඉතාම පැහැදිලියි. සහල් සහ පොල් නිෂ්පාදනය කෙරෙහි විශාල දායකත්වයක් ලබාදෙන වියළි කලාපයට පසුගිය කාලය තුළ අඛණ්ඩව මුහුණදීමට සිදු වූ දැඩි නියං තත්ත්වය සහල් සහ පොලි මිල ඉහළ යාමට ඍජුව හේතු වුණා.  ඒ අතරේ තෙත් කලාපයත් පසුගිය කාලය පුරා විටින් විට ගංවතුර තත්ත්වයන්ට මුහුණ දුන්නා. මේ තත්ත්වය එළවළු ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යාමට හේතු වුණ බවක් දැකිය හැකියි. ඒ අතර අල, ලූනු, පරිප්පු, සීනි, කරවල වැනි බොහෝ භාණ්ඩ ආනයනය කිරීමේදී පසුගිය කාලය තුළ සිදු වූ රුපියල අවප‍්‍රමාණය වීම වැනි කාරණා ප‍්‍රබල හේතුවක් වුණා.

එහෙත් ආණ්ඩුවට පාලනය කළ නොහැකි, කළමනාකරණය කළ නොහැකි මේ තත්ත්වයන් මධ්‍යයේ පවා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා ආණ්ඩුව ප‍්‍රබල වෙහෙසක් ගත්තා. විශේෂයෙන් ආනයනික භාණ්ඩ සඳහා ආනයන බදු අඩු කිරීම, සහන මිල ගණන් යටතේ පොල් අලෙවි කිරීම, උපරිම මිල සීමා පැනවීම ඒ අතර අඛණ්ඩව සිදු වුණා.

මෙවැනි ඵලදායී ප‍්‍රවේශයන් හරහා රටේ උද්ධනමය පාලනය කර ගැනීම සඳහා ආණ්ඩුව ගත් පියවරවලින් අත්පත් කරගත් ප‍්‍රගතිය ගැන පැහැදිලි කිරීමක් පසුගිය දා ශ‍්‍රී ලංකා මහ බැංකුවවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් සිදුකළා. වසර 2018 සහ ඉදිරිය සඳහා මුදල් හා මූල්‍ය අංශ ප‍්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහ බැංකු  අධිපතිවරයා කියා සිටියේ 2018 වසරේදී උද්ධනමය සියයට 4-6 අතර තනි ඉලක්කමක පවත්වා ගෙන යාම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා බවයි.

‘‘පසුගිය වසරේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුුවෙන් ඉහළ ගිය උද්ධමනය මේ වන විට  යහපත් අතට හැරෙමින් පහළ අගයක් ගනිමින් තිබෙනවා. ඒ අනුව 2017 වසරේදී සියයට 8.2ක්ව පැවැති උද්ධමනය මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 3.2 දක්වා පහත වැටී තිබෙනවා’’ මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් හෙළි කළා.

ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ප‍්‍රකාශය තහවුරු කරමින් අදහස් දැක් වූ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2018 පෙබරවාරී මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 3.25 දක්වා පහළ ගොස් තිබෙන බවයි. මේ අගය පසුගිය ජනවාරි මාසයේදී සියයට 5.4ක අගයක පැවැති බවත් 2016 අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා වාර්තා වූ අවම උද්ධමනය වූ සියයට 3.2ක අගය පසුගිය පෙබරවාරී මාසයේදී වාර්තා වූ බවත්  මෙහිදී අමර සතරසිංහ මහතා සඳහන් කළා. මෙහිදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව යන ප‍්‍රධාන රාජ්‍ය ආයතන දෙකම ඉතාම පැහැදිලිව අවධාරණය කළේ 2017 වසරට වඩා 2018 වසරේදී උද්ධමනය අඩුවන ලකුණු මේ වන විටත් දැකිය හැකි බවයි.

වයිමලාගේ කතා දිගටම

‘‘බඩු මිල ඉහළ යාම පාලනය කරන්න සක‍්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’’ කිියන අපූරු කතාව දැන් දැන් ජනතාවට අමතක වෙමින් යන බවක් දැකිය හැකියි. රුපියල් 2500කින් පස් දෙනෙකුගෙන් යුතු පවුලකට හොඳට කාලා බීලා මාසයක් ජීවත් වෙන්න පුළුවන් ’’ කියලා කෙස් පැලෙන තර්ක කළ බන්දුල ගුණවර්ධන මහතාගේ අනුබලය හා පිටුබලය ලබන ජනමාධ්‍ය කල්ලිය අයි. ඕ.සී මිල ඉහළ යාම සමග මහා ආර්ථික අර්බුදයක් ගැන භීතියක් මවන්න සූදානම් වෙන කොට සිංහල - දමිළ අලූත් අවුරුද්ධ ළග ළඟම එන නිසා සාමාන්‍ය ජනතාවත් භීතියට පත්වීම ගැන පුදුම විය යුතු නැහැ. ඒ එක රුපියලකින් හරි බඩු මිල ඉහළ යාම දැනෙන්නේ ජනතාවගේ පොකැට්ටුවට නිසා.

ඒත් ඉදිරි කාලය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු නොවන බව මිල විශ්ලේෂණයේ යෙදෙන තවත් ප‍්‍රකට රාජ්‍ය ආයතනයක් වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ, අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය පසුගිය දා නිවේදනය කළා.

‘‘හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ක්ෂේත‍්‍ර සහ වෙළෙඳපොළ මිල තොරතුරු වලට අනුව ඉදිරි සති කිහිපය තුළ ප‍්‍රධාන ආහාර භෝගයන් හි දැනට පවතින මිළ ගණන් හි සැලකිය යුතු ඉහළයාමක් අපේක්ෂා නොකරන අතර විශේෂයෙන් අර්තාපල්, ලොකු ළූණු, රතු ළූණු, සහල්, පරිප්පු, කව්පි, සීනි සහ ප‍්‍රධාන එළවළු වර්ගවල  පවතින මිල ගණන් හි කිසිදු ඉහළයාමක් අපේක්ෂා කළ නොහැකයි. පරිප්පු, ලොකු ලූනු, රතු ලූනු සහ සීනි මිල ගණන්හි දැනට පවතින මිල තව දුරටත් පහළ යාමක් සිදුවිය හැකියි. ප‍්‍රමාණවත් දේශීය සහ ආනයනින තොග පැවතීම මේ සඳහා හේතු වී ඇති අතර එළවළු සැපයුම ද ඉහළ මට්ටමක පවතින අතර සැලකිය යුතු මිල ඉහළයාමක් කිසිසේත් ම අපේක්ෂා කළ නොහැකයි. කෙසේ වුව ද අපේ‍්‍රල් මස 05 -12 අතර කාලය තුළ ඇතිවිය හැකි ඉහළ ඉල්ලුමත් සමග දැනට පවතින එළවළු  සහ කෙසෙල් මිල ගණන්   50‍% කින් පමණ ඉහළයාමක් අපේක්ෂා කළ හැකියි’’ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ, අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශ ප‍්‍රධානී දුමින්ද ප‍්‍රියදර්ශන මහතා සඳහන් කරනවා.

උත්සව සමයට ජයටම

මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කළ ආකාරයට අයි. ඕ.සී මිල ඉහළ යාම ප‍්‍රධාන ශීර්ෂපාඨය කර ගනිමින් කාටූන් අඳින ජනමාධ්‍ය පසුගිය වසර හතකට පසුව සිදු වූ ඉතාම සුවිශේෂ පුවතක් හිතාමතාම ජනතාවගෙන් වසං කළා. ඒ වසර හතකට පසු අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ 12ක මිල පසුගිය මේ වන විට විශාල වශයෙන් අඩු වූ බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමය හෙළි කළ පුවතයි. රුපියල අවප‍්‍රමාණය වෙමින් පැවතියදී පවා මේ ආකාරයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල වසර 7කට පසු අවම අගයක පවත්වා ගෙන යාම විස්මයජනක එකක් බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ජේ. දේවාපිරන් මහතා ජනමාධ්‍ය හමුවේ අවධාරණය කළේ.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙළ මේ සඳහා ප‍්‍රධාන හේතුව වූ බව එම සංගමයේ උපසභාපතිවරයෙකු වන එම්.එස්.එම්. ෆයිරූස් මහතා අවධාරණය කළා. මෙහිදී ඔවුන් විශ්වාසවන්ත ලෙස සඳහන් කළේ උත්සව සමයේදී තව දුරටත් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පහළ යාමක් අපේක්ෂා කළ හැකි බවයි. මේ ධනාත්මක තත්ත්වය තුළ අවම උද්ධමනයක් තුළ සිංහල - හින්දු අලූත් අවුරුද්ද ජයටම සැමරීමේ පහසු අවස්ථාවක් මේ වන විට ජනතාව හමුවේ නිරාවරණය වෙමින් පවතිනවා. ඒත් මේ සියලූ ජනතා සහනවලට වින කටිමින්, ජනතාවට එකී සහන අහිමි කරමින් තම මඩිය තර කර ගැනීමට සැමදාම උත්සුක වූ අවස්ථාවාදීන් කල්ලියක් ද අප අතර සිටිනවා. ජනතව වගේම ප‍්‍රතිපත්ති සම්පාදකයින් ද මේ අවස්ථාවාදීන් ගැන අවධියෙන් සිටිය යුතුයි. ඒ සක‍්‍රයාගේ පුතා වයිමාටවත් කළ නොහැකි වූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීමට මේ ආණ්ඩුව සමත් වීම දේශපාලන අවස්ථාවාදීන්ගේ ඇසේ කටු ඇනීමක් බවට පත්ව ඇති නිසයි.

-තුෂාල් විතානගේ-

Advertiesment