Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු ආර්ථිකය COVID-19න් ආසාදිත වෙයි


2020-04-14 1325

දකුණු ආසියානු ආර්ථිකය ලෝක බැංකුව අනතුරු අඟවයි

 

කලාපීය දිළිඳු භාවය වැඩි වන ලකුණු 

 

ආර්ථික වර්ධන වේගය පහත වැටිලා 

 

රැකියා අනතුරේ 

 

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70%ක් වූ නොනිල වෘත්තිකයන් අනාථයි 

 

රටේ දුගීභාවය 43.9% කින් ඉහළ ගොස් ආර්ථික වර්ධනය 3% කින් අඩුවීමේ අවදානමක්   

  

කොරෝනා වෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්ව ඇති බවට අනතුරු අඟවන ලෝක බැංකුව, එම තත්ත්වය ගෙවුණු හතලිස් වසරක කාලය ඇතුළත දී දක්නට ලැබුණු දකුණු ආසියාවේ ආර්ථික ප්‍රගමනයේ නරකම තත්ත්වය බව ද පවසයි.

එමගින් ඇති වන බලපෑම හේතුවෙන් දුගීභාවයට එරෙහිව දශක ගණනාවක් පුරා කලාපය ළඟා කර ගත් ප්‍රගතිය ආපස්සට ගමන් කරනු ඇති අතර ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය වැනි රටවලින් සාපේක්ෂ වශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් සුළු වශෙයන් වාර්තා වුවත් ඉදිරියේදී එම රටවල් තුළත් ව්‍යසනකාරී තත්ත්වයක් ඇති විය හැකි බවට ද විශේෂඥයෝ බිය පළ කරති.

දකුණු ආසියානු කලාපයේ ජන ගහනය කෝටි 180 (බිලියන 1.8) කි. එහි පිහිටි ඇතැම් ප්‍රදේශ ලොව වැඩිම ජන ගණත්වයක් සහිත නගර අතරට එක් වේ. කොරෝනා වෛරසය හමුවේ ඇති වන අහිත කර බලපෑම්වලට දකුණු ආසියාව පුර්ණ වශයෙන් හසු වන බවට ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

"සංචාරක කර්මාන්තය වියලී ගිහින්, සැපයුම් දාමයන්ට බාධා එල්ල වෙලා, ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම කඩා වැටිලා. එසේම පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ උනන්දුව පිරිහිලා," යනුවෙන් එහි සඳහන් වේ. කොරෝනා වෛරසය පැතිර යාමට පෙර දකුණු ආසියානු කලාපයේ මේ වසරේ ආර්ථික වර්ධනය 6.3% ක් ලෙස ප්‍රක්ෂේපනය කර තිබිණි. නමුත් මේ වන විට එම අගය 1.8% සිට 2.8% දක්වා ප්‍රමාණයකට පහළ ගොස් ඇත. අවම වශයෙන් කලාපයේ රටවලින් අඩක් "ගැඹුරු අවපාතයකට" වැටීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව

 

ලෝක බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව කොවිඩ්-19 පැතිර යාම කලාපයේ සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් එක් කරනු ඇත. යම් කිසි කාලයක් ආර්ථිකය ක්‍රියා විරහිතව තිබීම සහ ඒ හමුවේ එල්ල වන බාධා, 2020 වසර තුළ රැකියා සහ ආදායම් අහිමි වීම්වලට හේතු වනු ඇති බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ. "විශේෂයෙන් වෛරසය පැතිර යාම දිගින් දිගටම පැවතියහොත්, දුගීභාවය ඉහළ යනු ඇත," යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

පාස්කු ප්‍රහාරය


2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.6% යයි ඇස්තමේන්තු කර තිබූ අතර වසර 18 ට පසු වාර්තා වූ අවම අගය එය බවත් එම වසරේ අප්‍රේල් මස එල්ල කෙරුණු පාස්කු ප්‍රහාර මාලාවේ බලපෑම ඊට අඩ වශයෙන් හේතු වී ඇති බවත් ලෝක බැංකුව පවසයි.

කොරෝනා වෛරසයේ පැතිර යාම මගින් ආර්ථික වර්ධනය තවදුරටත් දුර්වල කර ඇතැයි විශ්වාස කරන බව ලෝක බැංකු වාර්තාවේ දැක්වේ. එමෙන්ම, "රට පුරා ඇඳිරි නීතිය සහ වැසියන් නිවෙස්වලට සීමා කර තීරණාත්මක ප්‍රදේශ ගණනාවක් වසා දැමීම (lockdown) නිෂ්පාදන සහ සේවා ක්‍රියාත්මක කිරීමෙහි ලා බලපෑම් එල්ල කර ඇති ආකාරයක් දැකිය හැකියි. මාර්තු 19 සිට ගුවන්යානා පැමිණීම් සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා දැමීම මගින් සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් එල්ල වී තිබෙනවා" යනුවෙන් ද එහි සඳහන් වේ.

ඩොලරය


2019 අගෝස්තු සිට ඩොලරයට සාපේක්ෂව විනිමය අගය ස්ථාවර මට්ටමක පැවතිය ද 2020 මාර්තු දෙවන භාගයේදී පළමු ශ්‍රී ලංකික කෝවිඩ්-19 රෝගියා වාර්තා වීමත් සමග ඩොලරයේ අගය 4.5% න් අවප්‍රමාණ විය.

 
නොනිල වෘත්තිකයන් "අනතුරේ"

 

"ගෘහස්ථ නිෂ්පාදන සහ ආනයන ආදේශන ඉහළ නැංවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතරතුර කෘෂි නිෂ්පාදනවලට එතරම් බාධාවක් එල්ල වෙතැයි බලාපොරොත්තු පළ නොවේ"ලෝක බැංකුවේ දත්තවලට අනුව "ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය (Informal workers). වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ වැඩිය. සමාජීය දුරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ල වනු ඇති අතර තවදුරටත් දීර්ඝ කෙරුණු සංචරණ සීමා හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇත. චීන සේවකයන් අඩු වීම හේතුවෙන් මේ වසර ආරම්භයේදීම ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු මන්දගාමී වූ අතර ව්‍යාපෘති නතර වීමේ අනතුරක් ඇති විය. ගෝලීය ඉල්ලුම පහත වැටීම සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ලක්ෂ පහක පමණ සේවයේ නිරත ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු රැකියා කප්පාදු ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළේය. මේ අතර ගෘහස්ථ නිෂ්පාදන සහ ආනයන ආදේශන ඉහළ නැංවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතරතුර කෘෂි නිෂ්පාදනවලට එතරම් බාධාවක් එල්ල වෙතැයි බලාපොරොත්තු පළ නොවේ. කෙසේ වුවත් අපනයන සම්බන්ධ උප අංශ වෙත අයහපත් බලපෑම් එල්ල වනු ඇත" යනුවෙන් ලෝක බැංකුව වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව හමුවේ ඇති අනතුරු සහ අභියෝග


ලෝක බැංකුව පවසන පරිදි ශ්‍රී ලංකාව හමුවේ මේ මොහොතේ ඇති අභියෝගය, කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කර තැබීමයි. එහි ව්‍යාප්තිය දීර්ඝ කාලයක් පැවතියහොත් තවදුරටත් ගමනා ගමන සීමා පැනවීමට එය හේතු විය හැකි බවත් එමගින් ආර්ථික සහ සේවා වෙළඳපොලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටත් ලෝක බැංකුව අනතුරු අඟවයි.

"කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසාය පැවැත්ම සඳහා අරගලයක යෙදේවි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය 3% කින් පහළ යාමට ඉඩ ඇති අතර 2020 වසරේදී දුගීභාවය 43.9% කින් ඉහළ යාවි" යනුවෙන් ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මාලදිවයින



මාලදිවයින විශාල වශයෙන් රඳා පවතින්නේ සංචාරක කර්මාන්තය මතයි. කලාපය තුළ ඉතාමත් දරුණුතම ආර්ථික බලපෑමකට ලක් වීමට නියමිත රට මාලදිවයිනය. ඉහළ පෙළ සංචාරක කර්මාන්තයේ කඩා වැටීම හේතුවෙන් එරට ආර්ථික නිෂ්පාදිතය 13% ක් තරම් අගයකින් පහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

 

 

ඉන්දියාව


දකුණු ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ මූල්‍ය වාර්ෂික වර්ධනය 1.5% කට පමණක් සීමා වනු ඇති අතර එය එය 5% ක පමණ අඩුවීමක් වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි."සෞඛ්‍ය සම්බන්ධයෙන් මතු විය හැකි හදිසි තත්ත්වයන් සීමා කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීම, සිය ජනයා ආරක්ෂා කර ගන්නා ලෙස, විශේෂයෙන් වඩාත් දුගීභාවයෙන් පෙලෙන සහ වැඩි වශයෙන් විපතට ලක් විය හැකි පිරිස් ආරක්ෂා කිරීමට සහ කඩිනමින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් වන ලෙස" ලෝක බැංකුව දකුණු ආසියානු රටවල ආණ්ඩුවවලට උපදෙස් දී තිබේ.

අත්‍යවශ්‍ය අපනයන සහ ආනයන සම්බන්ධයෙන් පවතින ක්‍රියාපටිපාටි සඳහා ගත වන කාලය සහ පියවර අඩු කරන අතරේ වෙනත් පළාත් හෝ කලාපවලින් පැමිණි සංක්‍රමණික සේවකයන්ට තාවකාලික රැකියා වැඩසටහන් හඳුන්වා දීම, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ණය සහන ලබා දීම ද ලෝක බැංකුව නිර්දේශ කරයි.

වසංගතයට මුහුණ දී ඇති රටවල් සහ ඒවායේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනතුරුදායක මට්ටමේ පවතින රටවලට සහාය දීමේ අරමුණින් ඉදිරි මාස 15 ඇතුළත මූල්‍ය උපකාරවලට ඇමරිකානු ඩොලර් කෝටි 16,000 ක් (බිලියන 160) යොදවනු ඇතැයි ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවර ණය දෙන ආයතනයක් පසුගිය සතියේ පැවසීය.

 

-BBC-

-සිංහල සේවය-

Advertiesment