Tuesday 14th of July 2020

English Tamil
Advertiesment


වසංගතය නොතකන මැතිවරණ සාහසිකත්වය පරද වනු 


2020-04-13 3544

මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බරපතළ හේතු මෙන්න 

 

පාර්ලිමේන්තුව වහාම කැඳ වනු 

 

කොරෝනා ආධාර වියදම් කරන හැටි ගැන වාර්තාවක් ඕනෑ

 

කොරෝනා එක්ක ප්‍රජාතන්ත්‍රවාදයත්-නිදහසත්-භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සේම මූල්‍ය රෙගුලාසිත් අවසන් කිරීමට ඉඩ නොතබනු  

 

පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් ආණ්ඩුවට පූර්ණ සහය දෙන්න ජවිපෙ සූදානම් 

 

භාෂණයේයි-ප්‍රකාශනයේයි නිදහස උල්ලංඝණය කරන්න පොලිස්පතිට බලය දුන්නේ කවුද..?

 

(සුජිත් මංගල ද සිල්වා)

 

කොරෝනා වසංගතය අවසන් කිරීමත් සමග රටේ නීති පද්ධතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය, සේම නීති රාමුවම ද අවසන් කිරීමට ඉඩ නොතැබිය යුතු යැයි ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

එනම් වසංගතය අවසන් කිරීමට දරන ප්‍රයත්නයන් මගින් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සේම රටේ මූල්‍ය රෙගුලාසි  කිසිසේත්ම උල්ලංඝණය නොවිය යුතු යැයි ද ඔහු පෙන්වා දෙයි. 

අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කර සිටියේ කොළඹ,බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ඉරිදා (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

කොරෝනා වසංගතයෙන් ලෝකයත් අපේ රටත් විශාල වශයෙන් අවධානමකට ලක්වෙලා. කොරෝනා වසංගතය අවසන් කිරීමෙන් පසුව රටේ නීති පද්ධතිය අවසන්වීමක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හෝ ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උදුරා ගැනීමක් හෝ මේ නීති රාමුවම පොඩිපට්ටම් කර දැමීමක් සිදු විය යුතු නැහැ. කොරෝනා වසංගතය අවසන් කිරීමට දරන ප්‍රයත්නයන් මගින් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට නිදහස, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, සේම රටේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කිරීමට අවස්ථාවක් නොවිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර ප්‍රකාශිත ගැටුමක් සමාජයට ඉදිරිපත්වී තිබෙනවා. 2015 අගෝස්තු මාසයේ තෝරා පත් කර ගන්නා ලද පාර්ලිමේන්තුව 2020 සැප්තැම්බර් 02වැනිදා දක්වා වලංගුයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබුණු පළමු නිමේෂයේදීම,එනම් 2020 මාර්තු 02වනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. චීනයේ "වුහාන්" නගරයෙන් නොවැම්බර් මාසයේ ආරම්භවූ කොරෝනා වසංගය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබුණා.

2020 මාර්තු 02වැනිදා වන විටත් චීන කාන්තාවක් ලංකාවේදී කොරෝනා ආසාධනයෙන් පෙළෙන බව තහවුරුවී තිබුණා. ශ්‍රී ලංකාවටත් වසංගතයේ තර්ජනය තිබීම ගැන පාලකයන්ට තේරුම් ගැනීමට ඕනෑ තරම් සාධක තිබුණා. පාලකයන්ට එවැනි පුරෝකථනයක් තිබෙන්නටත් ඇති. කෙසේ වුවද වසංගතය මැඩපැවැත්වීමට වඩා ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ උවමනාව ඉදිරියට ගෙන මැතිවරණය ප්‍රකාශයට පත් කළා. 

2020 මාර්තු 11වැනිදා ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාධනයෙන් පෙළෙන බව තහවුරු වුණා. ඉන්පසු තවත් පිරිසක් හමු වුණා. මෙම වසංගත තත්ත්වය අපේ රට තුළ ව්‍යාප්ත වන බව කරුණු සහිතව සනාථවී තිබුණා. එය මැඩ පැවැත්වීම රටේත් ජනතාවගේත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේත් මූලික වගකීමක්. නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාවය දී කටයුතු කළේ ඔවුන්ගේ මැතිවරණ බල සිතියම එළා ගැනීමටයි. 

මේ නිසා මාර්තු 2020 19වැනිදා දක්වා කෙරෝනා වසංගතය තීරණාත්මකව මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ග කිසිවක් ආණ්ඩුව අනුගමනය කළේ නැහැ. නාම යෝජනා භාර ගැනීම ඔවුන්ගේ මුඛ්‍ය උවමනාව බවට පත් කර ගෙන තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවා ජන වරමට අනුව මාස කිහිපයක් ඉදිරියට පාර්ලිමේන්තුව ගෙන යාමේ අවස්ථාව තිබුණා. නමුත් ජනාධිපතිවරයා "සාක්" රාජ්‍ය නායකයන් හමුවේ ප්‍රකාශ කළේත් 2020 අප්‍රේල් 25වැනිදා මහ මැතිවරණය පවත්වන බවයි. 

මේ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ආණ්ඩුවට හැකි නිසා ඡන්දය කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්‍ෂය කැඩී බිඳී විසිරී සිටින නිසා පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට මැතිවරණය පවත්වන බව ලක්‍ෂ්මන් යාපා ඇමතිවරයා ප්‍රකාශ කළා. වසංගතය පැතිරෙන් නැති ආකාරයට මැතවරණ ව්‍යාපාරය දියත් කරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

නමුත් 2020 මාර්තු මාසයේ  19 වැනිදා නාම යෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමට ලැබුණ බලය අනුව මැතිවරණය පැවැත්වීම 2020 අප්‍රේල් 25වැනිදා සිට දින නියමයකින් තොරව කල් දැමුවා. අපි මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. ජනතාව පැත්තෙන් හිට ගෙන ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. එය නොගන්නට අපේ රටේ ජනතාවට කවර ඛේදවාචකයක් අත්වෙයිද කියන බරපතළ ප්‍රශ්නය තිබෙනවා. 

ආණ්ඩුවේ සැහැසි බල උවමනාවට විරුද්ධව නිර්භීත තීරණයක් මැතිවරණ කොමිසම විසින් ගත් නිසා අද ජනතාව නිවාස තුළ රඳවා කොරෝනා මර්දන කටයුතු සාර්ථකව කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර ගැටීමක් නිර්මාණය වෙන්නේ මැතිවරණය කල් දැමීම හරහා බව අපි විශ්වාස කරනවා. 

කොරෝනා තත්ත්වය තවත් වර්ධනය වීම හමුවේ ව්‍යවස්ථාවේ මතුවිය හැකි ගැටලු කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා වැඩි කාලයක් කුමන කරුණක් නිසා හෝ පාර්ලිමේන්තුව රැස් නොවී තබන්නට බැහැ. නීති සම්පාදනය කිරීම මූල්‍ය බලය නියෝජනය කිරීමක් නිසා ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට මෙවැනි තත්ත්වයක් ලබාදී තිබෙනවා. 

2020 මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින සිට 2020 ජූනි 02 වැනිදාට පෙර මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. නමුත් වසංගත තත්ත්වය වර්ධනය හමුවේ 2020 ජූනි මස 02 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අතිශය දුෂ්කර බව මැතිවරණ කොමිසම නිරීක්‍ෂණය කරනවා. කොමිසම විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් 2020 ජූනි මස 02වැනිදායින් පසුව පාර්ලිමේන්තුව නොකැඳවීම නිසා ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව අවධානය යොමු කරවනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ කථනයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා යොමු විය යුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටියා. 

අපේ රටේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ව්‍යවස්ථාවේ යම් වගන්තියක් පිළිබඳව, ව්‍යවස්ථාවේ යම් අපැහැදිළි  අදහසක් පිළිබඳව අර්ථ නිරූපණයක් ඉල්ලා සිටීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මෙම ව්‍යවස්ථා අර්බුදයට ශේෂ්ඨාධිකරණය හරහා අර්ථ නිරූපණයක් ලබා ගැනීමේ බලය ජනාධිපතිවරයාට පමණක් තිබෙන නිසා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා. ඊට පිළිතුරක් ජනාධිපතිවරයා ලේකම්වරයා මගින් මැතිවරණ කොමිසමට යවා තිබුණා.

ඒ ලිපියේ වැදගත් කරුණු දෙකක් සඳහන් වෙනවා. එක, 2020 මැයි 28වැනිදා දක්වා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයාට ඒත්තු නොයන බව. එනිසයි මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන්නේ මැයි 28වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව හැඟී නොයන බවය. 

මැතිවරණයක් කියන්නේ පවත්වන දිනයේ ක්‍රියාවලියක් පමණක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට සූදානම් කිරීම, පුහුණු කිරීම, අදාළ ආයතන විධිමත්ව ක්‍රියාත්මක කිරීම, දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාමේ අයිතිය සහ ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාර එක්ක සක්‍රිීයව මැදිහත්වීමේ අයිතිය වැනි සමස්තය තමයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කියන්නේ. ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාරවලට තෝරා ගැනීමට තිබෙන අයිතියත් දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරීමේ අයිතියත් අහුරා දමා මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි. 

දෙවනුව, මැතිවරණයක් කල් දැමීමෙන් පසුව මැතිවරණ පැවැත්වීමේ දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසම සතු බව දන්වා තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙන්නේ 2020 අප්‍රේල් 25වැනි දින සිට මැතිවරණය කල් දැමීමෙන් පසුව මැයි 10 වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවයි. 

මැතිවරණය කල් දැමීම පිළිබඳව කොමිසම සමඟ උරණවූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණ කොමසාරිස්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගෙන ඇති බව පැහැදිළි වෙනවා. තමන්ගේ ස්වාමීන්ට නිරන්තරයෙන් වන්දිභට්ටකම් කරන පිරිස් ඉදිරියට ඇවිල්ලා මැතිවරණ කොමිසමට විරුද්ධව සාහසික ප්‍රහාරයක් දියත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ සාහසික බල උවමනාව තහවුරු කර ගැනීමේ අරමුණින් එය ක්‍රියාත්මකයි. 

2020 ජූනි 02දාට පෙර මැතිවරණයක් පැවැත්වීමේ නොහැකියාව නිසා ව්‍යවස්ථා අර්බුදයක් ඇති වන්නේ නම් විසඳුම් ලබාගත හැක්කේ කෙසේද? නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය පැවැත්වීමේ ඉඩකඩ නිර්මාණය කිරීමට අදාළ මූලික කරුණුවලට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් අපේ රටේ තිබේද යන්න ජනතාවගෙන් අප විමසා සිටිනවා. 

කොරෝනා වසංගතය ව්‍යසනයක් බවට පත් නොවී පාලනය කර ගැනීමට හැකිවී තිබෙන්නේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දු-තීරණ, ඒ අනුව කටයුතු කරන ලද සෞඛ්‍ය අංශයේ නිළධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය, ආරක්‍ෂක අංශයේ සාමාජිකයින් වගේම ප්‍රධාන සාධකය හැටියට ජනතාවගේ විශාල කැප කිරීම් නිසයි. 

ඔවුන් නිවෙස්වලට සීමා වෙමින් වැදගත්ම කාර්යය කොටසක් ඉටු කර තිබෙනවා. විශාල මුදලක් ආයෝජනය කළ කර්මාන්තකරුවන් අද ඒවා වසා දමලා. සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කරලා. පාසැල් දරුවන්ගේ පාසල් ජීවිත කැප කොට තිබෙනවා. ආහාර, සෞඛ්‍ය වැනි සීමිත අවශ්‍යතාවලට ජනතාවගේ ජීවිතය කැටි කොට තිබෙනවා. මෙවැනි අති මහත් කැපකිරීම් තුළින් කොරෝනා මර්දනයට ලබාදුන් සමස්ත දායකත්වය ආණ්ඩුවේ බල උවමනාව වෙනුවෙන් ගඟට කැපූ ඉනි වැනි තත්වයකට පත් කළ යුතු නැහැ. 

තනි කණ්ඩායමක් අතට බලය ලබා ගැනීමේ කැත සාහසික උවමනාව වෙනුවෙන් පොදු ජනතාවගේ සියලු කැපකිරීම් යටත් කළ යුතුද? අප විශ්වාස කරන්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන්, ක්‍ෂෙත්‍රයේ විද්වතුන්ගෙන්, ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනවල පැහැදිළි නිර්දේශයකින් තොරව මැතිවරණය පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය ආණ්ඩුව විසින් නතර කළ යුතුයි. 

වසංගත තත්ත්වය නොසලකා පටු බල උවමනාවන් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීමට දරන සාහසික උවමනාව පොදු ජනතාව විසින් පරාජයට පත් කළ  යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදෙනාගේම ප්‍රමුඛතම කාර්ය භාරය වන්නේ ජනාතාව අතුරු අන්තරාවලට පත් කරනවාද, එයින් මුදවා ගන්නවාද කියන සාධකය.

2020 ජූනි මාසයේ 02 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීමෙන් ඇති වන ව්‍යවස්ථා අර්බුදය විසඳා ගන්නේ කෙසේද? මේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලබාදී තිබෙන්නේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන්වලදී රටත් ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක වීමටයි. ඇති විය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතුව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය නිසා අතිශයින් පීඩාවට පත්වූ ජන කණ්ඩායම් සිටිනවා. ඔවුන් වෙනුවෙන් වැය කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක්, යුරෝපා සංගමය යුරෝ මිලියන 22ක්, ලෝක බැංකුව ඩොලර් මිලියන 128ක් වගේම චීනය ඩොලර් මිලියන 1100ක් ලබාදී තිබෙනවා. මේ රටේ ජනතාවත් කොරෝනා අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 650කට ආසන්න ආධාර ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. 

මේ අරමුදල් පරිහරණය කිරීම පිළිබඳව නිශ්චිත වාර්තාවක් පාර්ලමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අමතර මුදල් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් වෙන් කර ගත යුතුව තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් එකඟතාවය ලබාදෙන බව ජනතාවට සහතික වෙනවා. වසංගතය මැඩ පැවැත්වීමට නව නීතින් අවශ්‍ය නම් නීති සම්පාදනය කරගැනීමටත් පාර්ලිම්න්තුව කැඳවන්නේ නම් අප ඒ සඳහා දායකත්වය ලබාදෙනවා.

අද වනවිට භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය වන නියෝගයක් පොලිස්පතිවරයා නිකුත්කර තිබෙනවා. එවැනි නියෝගයක් නිකුත් කිරීමේ බලය පොලිස්පතිවරයාට ලැබෙන්නේ කවර පනතකින්ද, කවර රෙගුලාසිවලින්ද යන්න රටට පැහැදිළි කළ යුතුයි. අසත්‍ය හෝ වෛරී තොරතුරු වසංගතය හමුවේ පළ කිරීම වැළැක්වීමට ක්‍රියා කිරීම වෙනුවට තමන් තෝරා ගන්නා ලද කණ්ඩායම් දඩයම් කිරීම සඳහා යොදා ගන්නවා නම් ඉතාම බරපතළ තත්ත්වයක්. 

රටේ ප්‍රධාන නාලිකා ඉතාමත්ම වෛරී ප්‍රකාශන, අසත්‍ය ප්‍රකාශ සිදු කළ අවස්ථා අප දැක තිබෙනවා. අසත්‍ය හෝ වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාකිරීම ආණ්ඩුවට හිතකරද අහිතකරද යන්න හැරුණු කොට පොදු සමාජයට බලපාන තත්ත්වය මත තීරණ ගන්න බවක් පේන්න නැහැ. මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි ක්‍රියාකාරිකයින් 07 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තත්ව මැඩ පැවැත්විය යුතු වන්නේ ජනතාව දිනා ගෙන තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය වල්වැදීමට කටයුතු කිරීමෙන් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවට පැවරී තිබෙන නීති සම්පාදනය සහ මූල්‍ය විනය පවත්වා ගැනීමේ බලය පසෙකලා කටයුතු නොකළ යුතුයි. 

මේ සියල්ල නොතකා පවතින වසංගත තත්ත්වය ආණ්ඩුවේ බල ව්‍යාපෘතිය සඳහා යොදවා ගන්නේ නම් තවත් ව්‍යසනකාරී තත්ත්වයන් රට තුළ වර්ධනයවීම වළක්වන්න බැහැ. අපි ආණ්ඩුවට බල කර සිටින්නේ වසංගතය මැඩ පැවැත්වීම සඳහා රටේ ජනතාවත් රාජ්‍ය සේවකයිනුත් සිදු කර තිබෙන සියලු කැප කිරීම් සහ පරිත්‍යාගයන් ගඟට කැපූ ඉනි ලෙස නාස්ති කර නොදමන ලෙසයි. 

මේ වනවිටත් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය විශාල වශයෙන් කඩා වැටී තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ වසරකට ඩොලර් කෝටි 800ක මුදලක් මෙරටට එවන විදෙස්ගත ශ්‍රමිකයන්. වසංගතයේ මාරාන්තික තත්ත්වය නිසා විදේශ රටවල් බොහොමයක ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගැටලු රැසකට මුහුණදී සිටිනවා. 

තමන්ගේ රටේ පුරවැසියන් රට තුළ හෝ රටින් බාහිර කොතනක ජීවත් වුවත් ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමත්, අසීරුතාවකට පත්වනවා නම් ඉන් මුදවා ගැනීමත් ආණ්ඩුවක මූලික වගකීමයි. කෙටි න්‍යාය පත්‍රයක් අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණදී සිටින ගැටලු විසඳීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයයි. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අවශ්‍ය වෙන්නේ ඩොලර් සංචිත පුරවා ගැනීමට පමණක් නොවේ. 

මෙහෙදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

සියත ටී.වී. නාලිකාව - කොරා්නා තත්ත්වය හමුවේ මැතිවරණ ප්‍රචාකර කටයුතු කරන බවට චෝදනා එල්ල වනවා නේද ?  

මැතිවරණ කොමසාරිස්වරයාත් මේ පිළිබඳව අගමැතිවරයාගේ අවදානය යොමුකර තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය යොදවමින් භාණ්ඩ බෙදාහැරීම, සේවාවන් සැපයීම යටි දේශපාලන අරමුණු සහිතව සිදුකරන බවට ඒ මගින් අගමැතිවරයාගේ අවධානය යොමුකර තිබුණා. මේ ව්‍යසනය හමුවේ පවා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීම ජනතාව හෙළාදැකිය යුතුයි. මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපියෙන් පසුව ආණ්ඩුවේ ඇතැමුන් කොමිසමේ සභාපතිවරයාට ප්‍රහාරාත්මක ප්‍රකාශයන් කරන බව අපි දැක්කා. ඔවුන්ගේ බල න්‍යායපත්‍රය ප්‍රමුඛවී තිබෙන තරම මෙයින් පැහැදිලි වෙනවා.

ටී.ටී.වී. වෙබ් අඩවිය - එළවළු මිලදී ගැනීම සහ එම ක්‍රියාවලියට ගොවිජන සම්මේලනයේ සම්බන්ධය පිළිබඳව විවේචන එල්ලවෙමින් තිබෙනවා නේද ?

එළවලු මිලදී ගැනීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය කොරෝනා වසංගත තත්වයට පෙරත් පොදුවේ බිඳවැටී තිබුණා. අසවැන්න නෙලා ගන්නා සමයේදී එළවලු ගොවීන් අස්වැන්න විකුණාගත නොහැකිව ඉවත දමන හැටි අපි දැක තිබෙනවා. ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාදීමත් පිළිබඳව කිසිම වැඩපිළිවෙළක් මීට පෙරත් තිබුණේ නැහැ. එක වර්ෂයක් තුළ අසීමිත ලෙස මිල උච්ඡාවචනයන් සිදුවී තිබෙනවා. අස්වනු නෙළන කාලයට මිල අඩු වීමත් හිඟ කාලයට මිල වැඩිවීමත් කියන ස්වභාවික ක්‍රියාවලියට අමතරව විධිමත් ක්‍රියාවලියක්, යාන්ත්‍රණයක් ආණ්ඩුවට නැහැ. එය මුළුමනින්ම අඩපනවී තිබෙනවා. කෙරෝනා තත්වය හමුවේ සාමාන්‍ය තත්වයකට වඩා දැඩි අසීරුතාවයකට එළවලු ගොවීන් මුහුණදී සිටිනවා. මේ තත්වය හමුවේ ගොවි සම්මේලනයේ නායකත්වය දරන නාමල් කරුණාරත්න සහෝදරයා සති දෙකතුනක් පුරා ගොවි ජනතාවගේ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කිරීමත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාගැනීමත් සම්බන්ධයෙන් අඛණ්ඩ අරගලයක නිරතව සිටිනවා. ඔහුගේ සෞඛ්‍ය අනාරක්‍ෂිත තත්වය පවා නොසලකා සක්‍රීයව මැදිහත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 11වැනිදා ආණ්ඩුව එලවලු මිලදී ගන්නා බව ප්‍රකාශ කළා. සියලු කරුණු සලකා බලා එලවලුවලට යම් මිලක් තීරණය කර තිබුණා. ඒ මිලට ලබා නොගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් 11වැනිදා ඇතිවුණා. එය කිසි සේත් කඩාකප්පල්කාරී හෝ විනාශකාරී ප්‍රවේශයක් නොවෙයි. පාරිභෝගිකයාටත් ගොවියටත් සාධාරණත්වය ඉටුවිය යුතුයි කියන ප්‍රවේශයක් එතැන තිබුණේ. 

සියත ටී.වී. නාලිකාව - ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වර්ධනයවීම සහ මේ අවස්ථාවේ නීතියෙන් රිංගා යාමේ තත්වය පිළිබඳ අදහස කුමක්ද ?

ආරක්‍ෂක අංශවල සම්පූර්ණ අවධානය යොමුකර තිබෙන්නේ කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන්. ඒ නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට නීතියෙන් වහංවීමේ විශාල අවකාශයක් ලැබී තිබෙනවා. මේක ආණ්ඩුවේ දේශපාලනයට සම්බන්ධ බව සැඟවිය යුතු දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගණනාවක් ළමා අපචාරවලට සම්බන්ධවී තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරමටත් එහෙමයි. මීට පෙරත් විදේශ කාන්තාවන් දූෂණය කළ තංගල්ලේ සභාපතිවරයා වැනි අය සම්බන්ධයෙන් අපි දන්නවා. කාන්තාවන් දූෂණය කිරීම පිළිබඳව වාර්තා තැබූ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු ගැනත් මහජන නියෝජිතයන් ලෙස පෙනී සිටින දේවාරූඩයෙන් සාස්තර කියන අය ළමා අපචාරවලට සම්බන්ධවීමත් ගැන වාර්තා වූණා. මේ අපරාධ දැන් වර්ධනයවී තිබෙන බව පැහැදිලියි.

මව්බිම පුවත්පත - මේ මොහොතේ ජවිපෙ ආණ්ඩුවට සහාය නොදී විවේචනය කිරීමක් පිළිබඳව එල්ලවී තිබෙන චෝදනාව ගැන කියන්නේ කුමක්ද ?

කෙරෝනා වසංගතය පැමිණි මොහොතේ සිටම අපේ ප්‍රවේශයවී තිබෙන්නේ දේශපාලන පක්‍ෂවලට බෙදෙනවා වෙනුවට, මැතිවරණ තරඟකරුවන් වනවා වෙනුවට, ජනතාව බෙදෙනවා වෙනුවට සියල්න්ගේම මේ මොහොතේ පොදු සහ එකම සතුරා වන කොරෝනා මර්දනය කිරීමේ කටයුතු වෙනුවෙන් සම්පූර්ණයෙන් යොමුවිය යුතුයි කියන ස්ථාවරය. ඒ සඳහා පොදු යාන්ත්‍රණයක් ගොඩනගන ලෙස යෝජනාකර පංගුකරුවන් වීමට අපි සූදානම් බව ප්‍රකාශ කළා. ඒ වගේම අපේ සහන සේවා බළකාය අඛණ්ඩව ක්‍රියා කරවනවා. ගුවන් හමුදාව මුව වැසුම් 50,000ක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. අපි ඒ ඉල්ලීම සම්පූර්ණ කළා. රට පුරා රෝහල් ගණනාවක අවශ්‍ය පහසුකම් සහ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලවලට ඉල්ලා සිටි යටිතල පහසුකම් ලබාදීමට රතු තරුව සහන සේවා බලකාය මැදිහත්වී තිබෙනවා. නගරවල විෂබීජහරණ කටයුතුවලට විශාල වශයෙන් දායක වෙනවා. ඈත ගම්මානවල ආහාර හිගයෙන් පෙළෙන පවුල්වලට ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලෙන් ආහාර ද්‍රව්‍ය ලබාදෙනවා. අපි ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවාද නැද්ද කියන එකට වඩා වසංගතය මැඩ පැවැත්වීමට සහයෝගය ලබා දෙනවාද නැද්ද යන සාකච්ඡාව වැදගත්. දේශපාලන ව්‍යාපාරයක් හැටියට ස්වේච්ඡාවෙන් කොරෝනා මැඩ පැවැත්වීම සඳහා එයින් පීඩාවට පත් ජනතාවට යම් සහනයක් ලබාදීම සඳහා ප්‍රබලතම දායකත්වයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ලබාදෙන බව ජනතාව දන්නවා. 

පාර්ලිමේන්තු මැතිවරණය ජාතික වශයෙන් පැවැත්වීම වඩාත්ම යෝග්‍ය ක්‍රියාවලියයි. කලාප වශයෙන් මැතිවරණය පැවැත්වීමෙන් විශාල විකෘති ප්‍රතිඵලයක් ලැබිය හැකියි. දිස්ත්‍රික් මට්ටමින් හෝ පළාත් මට්ටමින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන්කර තිබුණත් එකට තිබෙන රටක්. යම් පළාතක් වෙන්කර ඡන්දය පැවැත්වූවත් අනෙක් පළාත්වල සිටින අදාල පළාතේ ඡන්දදායකයින් ඒ වෙනුවෙන් යායුතුයි. ඒ තත්වය කොරෝනා මර්දනයට බරපතළ අර්බුද ඇති කරවන්නක්. කලාප මට්ටමින් ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවේ තිබෙන කසු කුසුව තුළින් කියවෙන්නේ කැත බල දේශපාලන උවමනාවම තමයි.

ලංකාදීප පුවත්පත - ඇතැම් ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමේ විශාල අර්බුදයත් තිබෙනවා. එමෙන්ම නිෂ්පාදන ඇණ හිටීම නිසා ආහාර හිඟයක් ඇතිවයි හැකියි නේද?

අපි ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු වන්නේ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳව පුරෝකතනය කිරීමෙන්. මේ සම්බන්ධයෙන් පාලකයන්ට දැක්මක් තිබිය යුතුයි. රටේ ජාතික ආරක්‍ෂාවේ වැදගත්ම කොටස ඒ රටේ ආහාර සුරක්‍ෂිතතාවය බව බොහෝ කාලයක සිට අපි අවධාරණය කරමින් සිටිනවා. ආහාර සුරක්‍ෂිතතාවය ඇති කරන්න බැරිනම් රටක මොන තරම් ආයුධ තිබුණත් ජාතික ආරක්‍ෂාවෙන් පතුළටම වැටෙනවා. අපේ රට මුංඇට, කුරක්කන්, බඩඉරිඟු වැනි ධාන්‍ය වර්ගත් ආනයනය කරනවා. කෘෂි බීජ වර්ග සියල්ල ආනයනය කරනවා. අවම වශයෙන් අපේ රටේ ජනතාවගේ ප්‍රමුඛ ආහාර අවශ්‍යතාවයන් රට තුළ නිෂ්පාදනය කළ යුතු බව අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. නමුත් ලෝක බැංකුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බහුජාතික සමාගම් ජාලයත් අපේ රටේ පාලකයන්ගේ න්‍යාය පත්‍රය සකස් කිරීම නිසා අද අපේ රටේ ආහාර නිෂ්පාදන අරබුදයක් ඇතිවී තිබෙනවා. මේ ව්‍යසනයෙන් පස්සේවත් පාලකයන් මේ ගැන කල්පනා කරනවා නම් හොඳයි. අගමැතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළා සරුංගලයත් පිට රටින් ගේන බව. ඔහු අවුරුදු 10ක් ජනාධිපතිධූරය දැරීමත්, අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය ධූරය දැරීමත්, අමාත්‍යවරරෙයක් හැටියට කටයුතු කිරීමත් කළ පසු සරුංගලයත් පිටරටින් ගේන බව කියන්න වෙනවා නම් ඔහුට ඔහු ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවිය යුතුයි. ආර්ථිකයේ විශාල අර්බුදයක් එන බවට සංඥාවන් බොහොමයක් තිබෙනවා. විශාල ණය අර්බුදයක්, රුපියල කඩාවැටීමත්, රාජ්‍ය ආදායම හීනවීමත්, විදේශ වෙළඳ හිඟය වර්ධණය වීමත් කාලයක සිට පවතිනවා. කොරෝනා තත්වය ඇතිවුණේ මේ වගේ පසුබිමක් තුළ. ඒ නිසා ආර්ථක අරබුදය තවත් තීව්‍ර වන බව පැහැදිළියි.
 

Advertiesment