Saturday 26th of September 2020

English Tamil
Advertiesment


රවීගේ රජ මල්වත්ත ප්‍රාසාදය දාන ශාලාවක් වෙයි


2020-04-12 6202

 දෛනික අදායම් අහිමිවූවන්ගේ කුස ගිනි නිවයි

 

සිය පෞද්ගලික ධනයෙන් වරකට ලක්ෂ 50ක් වැය කරයි

    

ආධාර දීමට තෝරා ගෙන ඇති නැති බැරි-තැලෙන පොඩි ජන කොට්ඨාශය මෙන්න

 

සමාජ ජාලා-මුද්‍රිත-විද්‍යුත් ප්‍රචාර මාධ්‍ය නැහැ

 

ආධාර ලාභීන් හෙළිදරව් කිරීමක් නැහැ

 

කන්න බොන්න දී මාධ්‍ය ඔස්සේ කුල කියන්නේ නැහැ

 

(නිලන්ති මානෙල්)   

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, කිසිදු පිළිසරණක් නොලැබ කිසවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව කුස ගින්නේ සිටින කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සහ පැල්පත් වාසී ජනයාගේ කුස ගිනි නිවාලීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීමේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා පියවර ගෙන තිබේ.

මේ විශේෂ ජාල ගත වැඩ පිළිවෙළ යටතේ සහල් සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාරපාන බෙදා දීමට රවී කරුණානායක මහතා විශේෂයෙන් තෝරා ගෙන සිටින්නේ, ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය හේතුවෙන් දැඩි ආර්ථික සුනාමියකට,පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී සිටින කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ත්‍රී රෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරැයි අලෙවිකරුවන්, "වඩේ-කඩල-රට කජු" ආදිය අලෙවි කරන්නන්, කෑම පාර්සල් ඇතුළු ආහාරපාන ගෘහස්ථව සකස් කර අලෙවි කරන්නන්, "බුලත් විට-තැඹිලි-පළතුරු" වෙළෙඳුන්, පාසල් මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටින්නන්, බාබර් සාප්පු කරුවන්, ඇඳුම් මසන්නන්, පාවහන් අලුත් වැඩියා කරන්නන්, බෝතල් පත්තර ආදිය අලෙවි කරන්නන්, බ්‍රෝකර් වැඩ කරන්නන්, බස් රථවලට නැගී "පොත්පත්-හඳුන්කූරු-කපුරු බෝල-රස කැවිලි" ආදිය අලෙවි කරන්නන් සහ ධීවරයින් ආදීහූ වෙති.

ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය අවසන් වන තුරු සිය පෞද්ගලික ධනය වියදම් කරමින් සතියකට ප්‍රමාණවත් වන අයුරින් මේ ජනයා සඳහා සතිපතා මෙම අත්‍යවශ්‍ය ආහාරපාන බෙදා දීමට රවී කරුණානායක මහතා කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වරකට රුපියල් ලක්ෂ 50ක් වැය කෙරෙන බව වාර්තා වේ.

තුන් වේල කා බී කුස ගිනි නිවා ගෙන වසංගතයෙන් ආරක්ෂා වී ජීවිතය රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා දීමේ මෙම  අසරණ සරණ සමාජ සත්කාරක වැඩ සටහනේ විශේෂත්වය වන්නේ, ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා,විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ නිතිපතා ප්‍රචාරයක් ලබා ගනිමින් අවස්ථාවාදී ලෙස දේශපාලන වාසියක් ලබා නොගැනීම, එවැනි මාධ්‍ය ප්‍රචාරයක් මගින් එම ආධාර ලාභීන් සමාජයට නිරාවරණය කරමින් ඒ අයගේ ආත්ම ගෞරවයට හානි නොකිරීම සහ සහනාධාර බෙදා දීම සඳහා එම ජනයා එකට ඒකරාශී කර ජන තදබදයක් ඇති කරමින් සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය උල්ලංඝණය නොකර, ඊට බාධා එල්ල නොවන අයුරින් වෛද්‍ය, සෞඛ්‍ය සේම ආරක්ෂක අංශ නිර්දේශවලට යටත්ව එම කටයුතු සිදු කිරීම යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානය පවසයි. 

ජනතාව අතර බෙදා හැරීම සඳහා ගෙන්වා තිබෙන සහල් සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාර්ලිමේන්තු මාර්ගයේ "රජමල් වත්තේ" පිහිටි රවී කරුණානායක මහතාගේ පුද්ගලික නිවසේ ගබඩා කර තිබෙන අතර එම ස්ථානයේ සිට වාහන මගින් අදාළ ජනයා වෙත ආහාර ද්‍රව්‍ය බෙදා හැරේ.     

     

Advertiesment