Sunday 12th of July 2020

English Tamil
Advertiesment


වසංගතයේ දිශානතිය සලකා බලා හිටපු කතානායක ජනපතිට ලියයි


2020-04-11 4379

ආසාදිතයින් අපරාධකරුවන් ලෙස නොසලකනු 

 

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රෝහල්වල ධාරිතාවය පවත්වා ගන්නේ මෙහෙමයි 

 

දෛනික PRC පරීක්ෂණ වැඩි කරනු 

 

ආර්ථිකය ගොඩනැගීමට දෙස්-විදෙස් පුළුල් සංවාදයක් ඕනෑ 

 

ජනයාගේ රැකියා ආරක්ෂා කරන හැටි 

 

ව්‍යවසායකයින් රැක ගැනීමට ගත යුතු පියවර මෙන්න  

 

රටේ ඇඳිරි නීතිය වහාම ලිහිල් කළ යුත්තේ ඇයි..?

 

ලෝක නායකයින් සතු වගකීම කුමක් ද..?

 

COVID-19 ගැන කරු ජයසූරියගේ පසු විපරම මෙන්න 

 

(සුජිත් මංගල ද සිල්වා)   

 

COVID-19 මාරාන්තික නව කොරෝනා වෛරසයෙන් රටත්-ජනතාවත් ආර්ථිකයත් බේරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා හයක් ඔස්සේ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර සිටින හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා, මෙම අර්බුදයෙන් ජනතාව මුදවා ගැනීම පිණිස සියලු දේශපාලන අභිමතාර්ථ ඉවත ලා කටයුතු කිරීම සියලු ලෝක නායයකන්ගේ වගකීම වන්නේ යැයි ද අවධාරණය කර සිටියි. 

කොවිඞ්-19 ව්‍යසනයේ දිශානතිය යළි සළකා බැලීමේ අවශ්‍යතාව මතු කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති ඒ කරුණු කාරණා,යෝජනා,නිර්දේශ සහ නිරීක්ෂණ මෙසේය.

ජනතා සංචරණ සීමා කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් කෝවිඞ්-19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට සාධනීය ලෙස දායක වී ඇති අතර ජනතාවට අත්‍යවශ්‍ය සේවා සම්පාදනයේදී, සෞඛ්‍ය සේවා, ආරක්ෂක අංශ සහ පොලීසිය ඉතා අගය කළ යුතු සේවාවක් ඉටු කරමින් සිටින තත්ත්වයක් පැවතියද, බිම් මට්ටමින් උද්ගත වෙමින් පවතින නව යථාර්ථයන්ට අනුව හැඩ ගැසීමට  අපොහොසත් වුවහොත් එමගින් රටේ පොදු සෞඛ්‍ය අර්බුදයක් සහ ආර්ථික කඩා වැටීමටක් ඇති වීම නොවැළැක්විය හැකි වනු ඇති බව වඩ වඩාත් තහවුරු වෙමින් පැවතීම පිළිබඳව අවධාරණය කළ යුතුය. 

මනුෂ්‍ය ජීවිතවලට ඇති විය හැකි තර්ජන සහ ආර්ථිකට සිදු විය හැකි හානිය අවම කිරීමේ අරමුණ පෙරදැරිව, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ වෙනත් වෘත්තිකයන් විසින් මා වෙත ඉදිරිපත් කරන ලද පහත නිරීක්ෂණ සහ යෝජනා ඔබතුමාගේ අවධානයට යොමු කරවීම මාගේ වගකීමක් සේ සලකමි.
 

 රෝගයට ගොදුරු වන්නන් අපරාධකරුවන් සේ සැලකීම සහ ගර්හාවට ලක් කිරීම

කෝවිඞ්-19 රෝගයේ මතුපිටට පෙනෙන රෝග ලක්ෂණ වන්නේ සාමාන්‍ය උණ රෝගයකදී මෙන්ම, ශරීර උෂ්ණත්වය වැඩි වීම, උගුර කැසීම, සහ සෙම්ප‍්‍රතිශ්‍යාව ආදිය වේ. ඉතා සාමාන්‍ය කාල පරිච්ඡේදයන් හී පවා දහස් ගණන් ශ‍්‍රී ලාංකිකයෝ එවන් සාමාන්‍ය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙති. එහෙත් වර්තමානයේදී, එවැනි රෝග ලක්ෂණ ඇති ජනතාව අතරින් පරීක්ෂණ සඳහා පැමිණෙන්නේ ඉතා සුලු පිරිසක් පමණක් වන අතර තමන්ට ද අපරාධකරුවන්ට මෙන් සලකණු ඇතැයි යන භීතිය ඊට හේතු විය හැකිය. 

පරීක්ෂණ පැවැත්වීම සඳහා පෞද්ගලික රෝහල් දිරිමත් කෙරී නොමැති බැවින්, ඒවාට පැමිණෙන රෝගීන් ද යළි හරවා යවනු ලබයි. මේ තත්ත්වය හේතුවෙන් බොහෝවිට, සිය ගණනක් හෝ ඇතැම් විට දහස් ගණනක් කෝවිඞ්-19 ආසාදිත රෝගීන්, සැඟවී සිටීමට තැත් කිරීමට ඉඩ ඇති අතර එමගින් ඔවුන් තවත් බොහෝ දෙනෙකු වෙත රෝගය සම්පේ‍්‍රෂණය කිරීමේ අවදානමක් පවතී. දරුණු ලෙස සලකණු ලැබීමේ අවදානමකින් තොරව පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමේ වාතාවරණයක් ඇති වුවහොත්, ආසාදිතයන් අතුරින් අති බහුතර පිරිසක් එසේ සැඟවී සිටීමට තැත් නොකරනු ඇත.

වෙනත් රටවල අත්දැකීම් මගින් පෙනී ගොස් ඇති කරුණක් නම්, කෝවිඞ්-19 ආසාදිතයන්ගෙන් හරි අඩක් පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බවයි. එහෙත්, ඔවුන්ගෙන් වෙනත් අයට රෝගය බෝ විය හැකිය. කෝවිඞ්-19 සඳහා පරීක්ෂණ කෙරෙනුයේ රජයේ රෝහල්වලට ඇතුළත් කරනු ලැබූ සීමා සහිත පිරිස සඳහා පමණක් වන හෙයින්, එසේ නොවුණු පිරිස මගින් සාමාන්‍ය උණ කැස්ස තත්ත්වයක් සේ, නිසි අවධානයට පාත‍්‍ර නොවී, රට පුරා පැතිරෙමින් තිබෙන්නට පුළුවන. බොහෝ සැක සහිත රෝගීන් පරීක්ෂාවට ලක් කෙරී නැති තත්තවයක් තුළ, වසංගතය පුළුල්ව පැතිර යාමේ අවදානම සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි අතර, ඇඳිරි නීතිය පැනවීමේ සහ ආර්ථික කටයුතු සීමා කිරීමේ සැබෑ ප‍්‍රතිලාභය නොලැබී යා හැකිය.
 
යමකු කෝවිඞ්-19 ආසාදිත වූවකු ලෙස හඳුනා ගැනීම පිළිබඳ මහජන භීතිය හේතුවෙන් ඇති විය හැකි සාමූහික අලාභය අති විශාල විය හැකිය. එබැවින්, කෝවිඞ්-19 ආසාදිත රෝගීන් සහ ඊට අවදානමක් ඇතැයි සිතිය හැකි පුද්ගලයන් දෙස හුදෙක් ප‍්‍රතිකාර අවශ්‍ය රෝගීන් දෙස බලනා අන්දමින් මිස සමාජයෙන් පන්නා දැමිය යුතු අපරාධකරුවන් ලෙස නොසලකා කටයුතු කිරීමට අවශ්‍ය කඩිනම් සහ ඵලදායී ක‍්‍රියා මාර්ග ගන්නා ලෙස අදාළ ආයතන වෙත නියෝග කරන මෙන් මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එවැනි ක‍්‍රියා මාර්ගයක් මගින් ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳව පවතින විශ්වාසය තහවුරු වනු ඇති අතර සියලු ආසාදිතයන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට අවස්ථාව උදා වනු ඇත.      


 මුලිනුපුටා දැමීම ද..?  පාලනය කිරීම ද..?

කෝවිඞ්-19 රෝගය මුලිනුපුටා දැමීම මීට වසර පහකට පෙර මැලේරියා රෝගය මුලිනුපුටා දැමීම වැන්නක් නොවේ. වෙනත් රටවල්වල අත්දැකීම් ඇසුරින් බැලූ විට, අවම වශයෙන් නිසි එන්නතක් සොයා ගන්නා තෙක් හෝ මෙම රෝගය සම්පූර්ණ වශයෙන් තුරන් කිරීමට අපට නොහැකි වනු ඇත. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ මතය නම්, එවැනි එන්නතක් නිෂ්පාදනය කිරීමට තවත් වසරක් හෝ ගත විය හැකිය. නුදුරු අනාගතයේ දී ශ‍්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් මෙම රෝගය යම් මට්ටමකින් හෝ පවතිනු ඇතැයි අනුමාන කළ යුතුය. 

සැබවින්ම රෝගය මුලිනපුටා දැමීම වෙනුවට, මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය අවධානය යොමු කළ යුුතු වන්නේ, වෛරසයේ ව්‍යාප්තිය සීමා කිරීම මගින්, එක් වරකට රෝගී වන සංඛ්‍යාව සීමා කිරීමයි. එවිට, තත්ත්වය උත්සන්න වන රෝගීන්හට නිසි ලෙස ප‍්‍රතිකාර කිරීමේ පහසුකම් රටේ රෝහල්වලට පවතින බව තහවුරු කර ගත හැකිය.

තවද, කෝවිඞ්-19 වෛරසය ශරීර ගත වන බොහෝ ජනයා, කිසිදු ප‍්‍රතිකාරයකින් තොරවම රෝගයෙන් සුවය ලබන අතර, රෝහල් ගත කර ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ ආසාදිතයන්ගෙන් ඉතා සුළු ප‍්‍රතිශතයකට පමණි. වෛරසය ආසාදනය වන අයගෙන් හරි අඩක් පමණ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර ඔවුන් තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව හෝ නොදැන සිටිය හැකිය. අනෙක් පුද්ගලයන්ගේ ආරක්ෂාව සලකා, එවැනි පුද්ගලයන් නිතර සහ විශ්වසනීය ලෙස අධීක්ෂණය කළ යුතු වේ. 

කෝවිඞ්-19 වෛරසය යම් කාලයක් යන තුරු අප අතර පවතිනු ඇතැයි යන යථාර්ථය ආණ්ඩුව විසින් ජනතාවට ප‍්‍රකාශ කළ යුතුය. අපගේ අභියෝගය නම්, රෝගයෙන් රෝහල්ගත වන පිරිස අපගේ රෝහල්වල ධාරිතාවට සරිලන සේ සීමා කර පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි අපගේ වැඩ කිරීමේ රටා වෙනස් කර ගැනීමයි. එම වැඩ කිරීමේ ක‍්‍රම ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව, ක‍්‍රමිකව ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකි වනු ඇත.  


පරීක්ෂණ සිදු කිරීම

මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ පොදු මතය නම්, වසංගත රෝගයක් පාලනය කර ගත හැකි වන්නේ ජනතාව සමූහ වශයෙන් නිතර නිතර පරීක්ෂාවට ලක් කිරීමෙන් බවයි. මෙහිදී, PCR (ශ්ලේශ්මල) පරීක්ෂණ පැවැත්වීම රජයේ රෝහල්වලට පමණක් සීමා වී තිබීම පිළිබඳව මාගේ සැලකිල්ල යොමු වී තිබේ. රෝගය පැතිර යාමේ යම් වර්ධනයක් සිදු වන්නේ නම්, රජයේ රෝහල්වලට පමණක් සියලු පරීක්ෂණ සිදු කිරීම අපහසු විය හැකිය. එබැවින්, පෞද්ගලික රෝහල්, සායන, සහ විශ්ව විද්‍යාලවලට සම්පත් ද කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොදවා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන මෙන් මම අවධාරණයෙන් ඉල්ලා සිටිමි. එම ආයතනවලට සිය පශ්චාත් උපාධි ශිෂ්‍යයන්ගේ දායකත්වය ලබා ගනිමින් පරීක්ෂණ ධාරිතාව වර්ධනය කිරීමට දායක විය හැකිය. 

තවද, ජන සමූහ ප‍්‍රජා මට්ටමින් කෝවිඞ්-19 ප‍්‍රතිදේහ (රුධිර) පරීක්ෂණ සඳහා යොමු විය යුතු වීම වැදගත් වේ. ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ මෙවලම් මේ වන විට සුලභ වෙමින් පවතී. ඒවා වඩාත් පහසු සහ ලාභදායී වන අතර පරීක්ෂණ සිදු කිරීම PCR පරීක්ෂණ තරම් දුෂ්කර නොවේ. එම පරීක්ෂණ මගින්, තමා නොදැනුවත්වම දැනටමත් රෝගය වැළඳී සුවය ලබා සිටින පුද්ගලයන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. 

මෙසේ දැනටමත්, ප‍්‍රතිශක්තිය වර්ධනය කර ගෙන සිටින පුද්ගලයන් ඉතා වටිනා අතර ඔවුන්ට නැවත ආසාදනය වීමේ හෝ රෝග වාහකයන් ලෙස ක‍්‍රියා කිරීමේ අවදානම ඉතා අඩු බව දැන සමාජයේ නිදහසේ සංචාරය කළ හැකිය. එම පරීක්ෂණ මගින්, රෝග වෛරසය වඩාත් පැතිර ගොස් ඇති ප‍්‍රදේශ හඳුනාගෙන ඒවා වෙන් කොට තැබීමේ හැකියාවද ලැබේ.  

එම පරීක්ෂණය කර ගැනීමේ හැකියාව සහිත සියලු දෙනාහට පෞද්ගලික අංශයෙන් එම පරීක්ෂණ සිදු කර ගැනීමට දිරි ගැන්විය යුුතුය. එමෙන්ම, එම පරීක්ෂණ උපකරණ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනය කිරීමට සහ පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශය දිරි ගැන්විය යුතුය. 

කෝවිඞ්-19 ප‍්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ශ‍්‍රී ලංකාවේ  නිපදවීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම් සමූහයකට ආරාධනා කරන මෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. ඒ සඳහා ශක්‍යතාව දේශීය සමාගම් සතුව පවතින අතර, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකූ විට ද එම පරීක්ෂණ කට්ටල ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම වැදගත් වේ. කෙසේ වෙතත්, එවැනි පරීක්ෂණවල ප‍්‍රතිඵල විශේෂඥයන් විසින් අර්ථකතනය කළ යුතු බැවින්, ඒවා සිදු කළ යුතු වන්නේ රෝහල් සහ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයන් විසින් පමණි.

තවද, ඉදිරි වර්ෂවලදී, කෝවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස අවශ්‍ය වන වෙනත් අයිතමයන් වන මුහුණු ආවරණ, අත්-පිරිසිදු කිරීමේ දියර, අත්වැසුම්, බිෂබීජ නාෂක ඉසින දියර, ඉවත දැමිය හැකි සනීපාරක්ෂක තුවා සහ කඩදාසි, මෙන්ම සෞඛ්‍ය සේවයකයන් සඳහා අවශ්‍ය වන ආරක්ෂිත මෙවලම් ආදිය මීට ඇතුළත්ය. පරීක්ෂණ කට්ටල මෙන්ම, මේ නිෂ්පාදනවලට ද ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් ඇති වන අතර අතිරික්ත නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව පවතී. 

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව ද, කාර්යාලයක්, පොදු වෙළඳ සැලක්, හෝ දුම්රිය ස්ථානයක් වැනි යම් පොදු ස්ථානයකට ඇතුළු වන ජනතාවගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම, මහජන පරීක්ෂණයන්ගේ වැදගත් අංගයක් ලෙස පැවතිය යුතු වේ. අතේ තබා ගත හැකි දුරස්ථ උෂ්ණත්ව මාපක මගින් මෙය පහසුවෙන් සහ ලාභදායී ලෙස සිදු කළ හැකිය. ඉහළ ශරීර උෂ්ණත්වයක් පවතින ජනතාව හඳුනාගෙන ඔවුන්ට ස්වයං නිරෝධායනට ලක් වන ලෙස නිර්දේශ කළ හැකිය. එවැනි පරීක්ෂණ ඉතා සුලභ විය යුතු වේ.  


 ආර්ථිකය යළි ගොඩ නැංවීම

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩ නැංවීමේදී බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වනු ඇත. ප‍්‍රවාහනය, වැඩ සංස්කෘතිය, වෙළඳ පොළට යාම සහ එදිනෙදා ජීවිතයේ බොහෝ අංශවල විශාල වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය වනු ඇත. අප දැන්ම ආරම්භ කර ඒ සඳහා සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගත යුතු වේ. එහිදී, ආණඩුව සියලු දේශපාලන පක්ෂ, විදේශීය රටවල තානාපතිවරුන්, සහ වෙනත් මිත‍්‍ර රටවල් සමග සංවාදයක් පවත්වා ගැනීමට ද කටයුතු කළ යුතු වේ. එහිදී, ලෝක බැංකුව, ජපානය, ඉන්දියාව සහ චීනය යන රටවලින් ණය කපා හැරීම හෝ ණය සහන ලබා ගැනීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් දියත් කළ යුතු වේ.  

නුදුරු අනාගතයේදී පැවතිය හැකි යැයි අපේක්ෂා කළ යුතු පරිදි රෝගය ස්වදේශීය වශයෙන් පැතිර යාම පාලනය කළ හැකි වන්නේ ජනතාව සමූහ වශයෙන් පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේද මගින් බව අවධාරණය කරමි. විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගත යුතු ප‍්‍රධානතම ක‍්‍රියාමාර්ගය එය වනු ඇත. පොලීසි සහ හමුදා බැරැක්ක, කම්හල්, ගුවන්තොටුපොළ, සංචාරක ස්ථාන, භෝජන ශාලා, සහ පොදු ප‍්‍රවාහන සේවා එවන් ජනාකිර්ණ වන ස්ථාන සමහරකි. එවන් ස්ථානවල කඩිනමින් පරීක්ෂණ ක‍්‍රමවේද දියත් කිරීම ඉතා වැදගත් වේ.

යම් අවස්ථාවකදී රට තුළ කෝවිඞ්-19 ආසාදිතයන් යම් සුළු පිරිසක් සිටියද,  ආරක්ෂා සහිත අන්දමින් යළිත් ජාත්‍යන්තර ගමන් බිමන් සහ සංචාර ආරම්භ කරන ආකාරය පිළිබඳව අප විසින් සලකා බැලිය යුතු වේ. මේ සඳහා අනුගමනය කළ හැකි එක් ක‍්‍රමයක් නම්, ශ‍්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා ගැනීමේ කොන්දේසියක් ලෙස, ආසන්නතම පැය 24 තුළ කෝවිඞ්-19 ආසාදිත නොවන බවට තහවුරු කළ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කළ හැකිය. ශ‍්‍රී ලංකාවෙන් පිටත් වන ජනයාට ද එවැනි පරීක්ෂණයක් අනිවාර්ය කළ යුතුය. PCR තාක්ෂණය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බැවින්, පැය කිහිපයක් තුළ වාර්තාවක් ලබා ගැනීම දුෂ්කර නොවිය යුතුය. යළිත් වරක් ජාත්‍යන්තර සංචාර ආරම්භ වන විට සෑම රටක්ම පාහේ එවන් පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කිරිමට ඉඩ ඇති බැවින් ශ‍්‍රී ලංකාව දැන් තියා ඊට සැලසුම් කළ යුතු වේ. 

ආර්ථිකය යළි ගොඩ නැංවීම සදහා තම ක්ෂේත‍්‍රයන්ට අදාළ මාර්ගෝපදේශ සම්පාදනය කරන ලෙස රටේ ප‍්‍රධාන වාණිජ මණ්ඩල වෙත ආරාධනා කිරීම යෝග්‍ය වේ. අනාගතයේදී, සිය සේවයකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෝවිඞ්-19 ආසාදිත දැයි නිතර පරීක්ෂා කිරීමට සේවා ස්ථානවලට සිදු වනු ඇත. පොදු ප‍්‍රවාහන සේවාවල තදබදය අවම කිරීමට නම්, කාර්යාල විවෘතව තබන වේලාවන් සහ ඇතැම්විට වැඩ කරන දින පවා (සෑම දෙනාම සේවය කරන්නේ සතියේ සීමිත දින ගනනක් වන ලෙස) වෙනස් කිරීමට සිදු වනු ඇත. ඉදිරි වර්ෂය තුළ පොදු නිවාඩු දින සීමා කිරීමට සිදු විය හැකි අතර, ආගමික කටයුතු සඳහා සේවකයන් හට සිය වාර්ෂික නිවාඩු භාවිතා කිරීමට සිදු විය හැකිය. යම් කෙටි කාලයක් සඳහා එවන් ක‍්‍රියාමාර්ගයකට එළැඹීම ආර්ථිකය යළි ගොඩ ගැනීමට සෑම ශ‍්‍රී ලාංකිකයකුම දක්වන යහපත් දායකත්වයක් ලෙස අගය කෙරෙනු ඇත.

සේවා ස්ථානවල නිසි සනීපාරක්ෂක ක‍්‍රමවේද අනුගමනය කළ යුතු වේ. ඒවාට, වැසිකිළිවල සබන් සහ කඩදාසි තුවා තැබීම, දොරවල් සහ ඇඟිලි සළකුණු යන්ත‍්‍ර වැනි බොහෝ දෙනා ස්පර්ෂ කරන මතුපිටවල් අසළ අත් පිරිසිදු කරන ද්‍රාවණ තැබීම ආදිය ඇතුළත්ය. ගොඩනැගිලිවලට යම් වෙනස්කම් සිදු කිරීමට ද අවශ්‍ය වනු ඇති අතර, තමා දෙසට ඇද විවෘත කිරීම වෙනුවට තල්ලු කර විවෘත කිරීමට හෝ කකුලෙන් විවෘත කිරීමට හැකි පරිදි සැකසීම ආදිය නිදසුන් වේ. ලෙඩ නිවාඩු ක‍්‍රමවේද යළි සමාලෝචනය කිරීමට සිදු වනු ඇති අතර, කෝවිඞ්-19 වැනි රෝග ලක්ෂණ ඇති අය වහා පරීක්ෂා කිරීම සහ සේවයට වාර්තා කිරීමෙන් වැළැක්විම අවශ්‍ය වනු ඇත. එවන් අවස්ථාවකදී පරීක්ෂණ වියදම සේවා යෝජකයා විසින් දැරීම වඩාත් යෝග්‍ය වේ.    

රැකියා 

මේ වන විට බොහෝ සේවා යෝජකයන් මාර්තු මාසය සඳහා වැටුප් ගෙවා තිබුණ ද, කිසිදු ආදායමක් නැති මාසයක් ගෙවා දැමීමෙන් පසුව, බොහෝ ආයතනයවලට සිය සේවකයන්ට අපේ‍්‍රල් සහ ඉන් පසු මාසවල සේවක වැටුප් ගෙවීම අපහසු වනු ඇත. කෝවිඞ්-19 පිළිබඳ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිසි පරිදි සමනය වීමට පෙර එහි වර්ධනයක් ඇති වෙතැයි අපේක්ෂා කිරීම ඥානාන්විතය. එබැවින්, තවත් මාස කිහිපයක් යන තෙක් සාමාන්‍ය පරිදි ජනතා සංචරණය සීමා කිරීමට සිදු විය හැකි අතර, එවායෙන් දරුණු ආර්ථික ප‍්‍රතිඵල ඇතිවීම නොවැළැක්විය හැකිය. 

එවන් තත්ත්වයකදී, සේවා යෝජකයන්ට සිය සේවක වැටුප් ගෙවීම දුෂ්කර වනු ඇති අතර, ආර්ථිකයේ කඩා වැටීමක් ද එමගින් සමාජ ස්ථාවර භාවයට ඉතා හානිකර තත්ත්වයක් ද උදා වනු ඇත. එබැවින්, ව්‍යාපාර ක්ෂේත‍්‍රය පිළිබඳව කඩිනම් ඇගයීමක් සිදු කොට ව්‍යවසායකයන් බංකොළොත් වීම සහ මහා පරිමාණ රැකියා අහිමි වීම් වළක්වා ගැනීම පිණිස යෝජනා ඉදිරිපත් කරන ලෙස වාණිජ මණ්ඩලවලින් ඉල්ලා සිටින මෙන් මම යෝජනා කරමි. පුළුල්ව කෝවිඞ්-19 සඳහා පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් සැපයීමෙන් අනතුරුව, අදියරෙන් අදියර ආර්ථිකය යළි විවෘත කිරීම පිළිබඳව සලකා බැලිය යුුතු වේ.     

ඇඳිරි නීතිය ලිහිල් කිරීම 

කෝවිඞ්-19 වෛරසය මැඩපැවැත්වීම පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ජනතාවට ප‍්‍ර‍්‍ර‍්‍රකාශ කිරීම වැදගත් වේ. අපගේ පරමාර්ථය විය යුත්තේ කෝවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය අපගේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යන ලෙස වර්ධනය වීමට ඉඩ නොතැබීයි. එසේම, කෝවිඞ්-19 වෛරසයට යටත් නොවී ඒ සමඟ ජීවත් වන අතරම තිරසර ලෙස පැවතිය හැකි පරිදි අපගේ සමාජ ආර්ථික පද්ධතීන් යළි සකසා ගත යුතුව තිබේ. 

වසංගත විද්‍යා නිර්දේශ මත සහ සිය ආර්ථික කටයුතු පූර්ණ ලෙස වසා දැමීමෙන් තොරව පවත්වා ගැනීමට සමත් වූ චීනය, දකුණු කොරියාව, තායිවානය, හොංකො, ජපානය සහ සිංගප්පූරුව ආදී වෙනත් රටවල අත්දැකීම් මත පදනම් වූ විට, අප රට තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය ක‍්‍රමිකව ලිහිල් කළ යුතු බව පැහැදිලි වේ. 

ඇඳිරි නීතිය පැනවීම මහජන යහ පැවැත්මට සහ චිත්ත ධෛර්යයට අයහපත් බලපෑම් ඇති කරයි. දින නියමයකින් තොරව ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ප‍්‍රායෝගික ද නොවේ. ඇඳිරි නීතිය පැනවීමෙහි අරමුණ වන්නේ විශාල වශයෙන් ජනතාව සංසරණය වීම වැළැක්වීම වන බැවින්, ජනතාවගෙන් යම් සුළුතරයක් පමණක් ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සහ බැංකු පහසුකම් ආදී මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස එක් එක් දිනවල නිවසින් බැහැර යාමට හැකි වන අන්දමේ ක‍්‍රමවේදයක් සම්පාදනය කළ හැකිය.  

අතිගරු ජනාධිපතිතුමනි, අපගේ මාතෘ භූමිය කෙරෙහි පේ‍්‍රමය සහ අප රටේ ජනතාවට විඳින්නට සිදු වන දුක් ගැහැට අවම කිරීම පිණිස දැඩි කැපවීම අප හට පොදු වූවකි. මෙම ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරන මෙන් මම අවධාරණයෙන් ඉල්ලා සිටිමි. මෙම අර්බුදකාරී අවස්ථාවෙන් ජනතාව මුදවා ගැනීම පිණිස සියලු දේශපාලන අභිමතාර්ථ සහ වෙනස්කම් ඉවත ලා කටයුතු කිරීමේ වගකීම සියලු ලෝක නායයකන් සතු වේ.  

Advertiesment