Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


කොරෝනා ගැන සුභ පණිවුඩයක් අප්‍රේල් 25 දිය හැකි යැයි හමුදාපති කියයි


2020-04-11 6497

ඉදිරි සති දෙක නිවසවලටම වී ඊට සහය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි 

 

ශ්‍රී ලංකාවේ තත්ත්වය සතුටුදායකයි  

 
(ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු)

 

2020 අප්‍රේල් මස 25 වැනිදා වන විට රටටම යම් සුබ ආරංචියක් ලබාදීමට රජය ප්‍රමුඛ සෞඛ්‍ය අංශ, යුද හමුදාව සහ පොලිසිය ඇතුළු සියලු කණ්ඩායම් දැඩි පරිශ්‍රමයකින් යුතුව කටයුතු කරන බවත් ඊට සහයෝගය දැක්වීම සඳහා ඉදිරි සති දෙකක කාලය ඇතුළත නිවාසවලටම වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසට සියලුම ජන කොටස්වලින් ඉල්ලා සිටින බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. 

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේදී මුළු ලෝකයේම වැඩිම අවධානයකට පත්ව තිබෙන්නේ එම වයිරසය ව්‍යාප්ත වී 04, 05, සහ 06 වැනි සති බවත් ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ 05 වැනි සතියේ බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

2020 අප්‍රේල් මස 10 වැනිදා කොරෝනා මැඬලන්නට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අඛණ්ඩ වැඩසටහනේ පස්වැනි සතිය අප්‍රේල් මස 17 වැනිදා අවසන් වන බවත් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන 6 වැනි සතිය අප්‍රේල් මස 24 වැනිදා අවසන් වන බවත් ඒ අනුව අප්‍රේල් මස 25 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සහ එම තත්ත්වයෙන් ඔබ්බට කළ යුත්තේ කුමක්ද කියා යම් අවබෝධයක් ලබාගත හැකි බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙම කාලය ඇතුළත රටේ පොදු මහ ජනතාවගේ සහාය උපරිමව ලැබුණොත් මෙරට සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව නිවැරැදිව හඳුනා ගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ හැකි බවත් එම කාලය ඇතුතුළ වාර්තා වන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වාර්තා වුවහොත් අලුතින් රෝගීන් පිරිස් හමුවීමට නොහැකි බවත් එම තත්ත්වය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි අදාළ සියලුම අංශ දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීම සති 4 අවසන් වන විට 29%ක වැනි මට්ටමක ශ්‍රී ලංකාව පැවැතීම වෙනත් රටවලට සාපේක්ෂව සතුටට පත් විය හැකි බවද යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

පළමු සතිය ඇතුතුළ දී ශ්‍රී ලංකාව 137%ක මට්ටමක පැවතුණු බවත් එම තත්ත්වය තුන්වැනි සතිය වන විට 40% දක්වා ද, 4 වැනි සතිය වන විට  29% දක්වා ද අඩු වූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

4 වැනි සතිය වන විට කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ස්පාඤ්ඤය 1117%ක් ලෙස ද, ඇමෙරිකා 537%ක් ලෙස ද, ජර්මනිය 475%ක් ලෙස ද, බ්‍රිතාන්‍ය 447%ක් ලෙස ද,ඉතාලිය 292% ක් ලෙස ද වාර්තා වී තිබිණ.  

ඉහත සංඛ්‍යා ලේඛන සමඟ බලන විට සියලුම දෙනාගේ කැපවීම මත ශ්‍රී ලංකාව මේ වන විට සතුටුදායක මට්ටමක පවතින බවත්, කොරෝනා වයිරසය මුළුමනින්ම රටෙන් තුරන් කරන තුරුම එම සහයෝගය ඉදිරියටද අත්‍යවශ්‍ය බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(මව්බිම)


 

Advertiesment