Sunday 20th of September 2020

English Tamil
Advertiesment


වසංගත අර්බුදයට අතිරේකව රට ව්‍යවස්ථා අර්බුදයකට


2020-04-11 2594

වසංගතය ආණ්ඩුවේ පාලනයත් ආණ්ඩු ක්‍රමය වසංගතයේ පාලනයත් අවුල් කරලා

 

අභියෝගය ජය ගත හැක්කේ දේශපාලන-ජාතික-ආගමික ඒකාග්‍රතාවයකින් විතරයි

 

මහ මැතිවරණය කල් තබනු-පාර්ලිමේන්තුව වහා කැඳ වනු

 

විපක්ෂයෙන් අවංක දේශපාලන සහතිකයක් ආණ්ඩුවට ඕනෑ

 

මහ මැතිවරණය කවදා හෝ තබන තුරු ආණ්ඩුවේ කටයුතු කරන්න ජනපතිට බලයක් නැහැ

 

සියලු තීන්දු තීරණ පුළුල් ජාතික රාමුවකින් ගත යුතුයි

 

ආණ්ඩුවයි-විපක්ෂයයි දේශපාලන බල පොරය අත හැරිය යුතුයි   

 

 
(වික්ටර් අයිවන්)

දරුණු වසංගත තත්ත්වයක් ඇතිව තිබියදී එම තත්ත්වය නොසලකා රටේ ජන සමාජයේ වර්ධනය වෙමින් තිබෙන වර්ග භේදය සහ ආගම් භේදය එම වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට තිබෙන හැකියාව දුර්වල කොට වසංගත තත්ත්වයෙන් රටට සිදු වන හානිය වර්ධනය කිරීමට හේතුවෙමින් තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ. 

වසංගත තත්ත්වය ඇතිවීමෙන් පසුව හිස ඔස වමින් තිබෙන වර්ග භේදය සහ ආගම් භේදවාදී රැල්ල ස්වාභාවිකව ඇතිවූ තත්ත්වයකට වඩා හිතා මතා ඇති කොට පවත්වා ගෙන යන තවත් වසංගතයක් ලෙසද සැලකිය හැකිය. ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේදී වර්ග භේදවාදී සහ ආගම් භේදවාදී ආවේගයන් ඉස්මතුවීමක් සිදු නොවීය. වර්ග භේදවාදී සහ ආගම් භේදවාදී ආවේගයන්ගෙන් තොරව පොදු ජාතික හැඟීමකින් යුතුව රටේ ජනතාව ඊට මුහුණ දුන්නේය. වසර 15ක් තරම් කාලයක් අතුතුළත ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමයේ ඇතිවී තිබෙන විකෘතියේ තරම අති විශාලය.

19 වැනි සංශෝධනය

වසංගත තත්ත්වය රටේ ආණ්ඩු පාලනය විකෘති කිරීමට හේතුවී තිබෙනවා සේම රටේ ආණ්ඩු ක්‍රමය රටේ පවතින වසංගත පාලනයද අවුල් කිරීමට හේතුවී තිබේ. 19 වැනි සංශෝධනය සහ එම සංශෝධනය නීතිගත කෙරුණු ආකාරයේ ලොකු දෝෂ තිබුණද මොන මොන හේතු නිසා හෝ එම සංශෝධනය විරුද්ධ පක්ෂයේද සහාය ඇතිව ජනාධිපති බලතල විෂයයෙහි ලොකු වෙනස්කම් ඇති කිරීමට හේතු වූ ව්‍යවස්ථා සංශෝධනයක් බවට පත්විය. 

ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන අරමුණ වූයේ ජන රජයේ මුදල් බලය හැර රාජ්‍යයේ ජනාධිපතිවරයා හිමි කර ගෙන සිටි අනිකුත් බලය ඔහුගෙන් ඉවත් කොට ජනාධිපතිවරයාගේ භූමිකාව නාම මාත්‍රික තත්ත්වයට පත් කොට ඒ බලය නැවත පාර්ලිමේන්තුව සතු කිරීමය. ව්‍යවස්ථා සංශෝධනය කරළියට ගන්නා අවස්ථාව වන විට විධායක ජනාධිපති ක්‍රමය නමැති ආයතන ක්‍රමය අන්ත දූෂිත තත්ත්වයකට පත්ව තිබුණා සේම පාර්ලිමේන්තු ක්‍රමය නමැති ආයතන ක්‍රමය තිබුණේද අන්ත දූෂිත තත්ත්වයකය. 

ජනාධිපති බල රහිත කොට ජනාධිපති සතුව තිබූ විධායක බලය පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ පැවති දූෂිත ව්‍යුහයන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් තොරවය. එම තත්ත්වය එම ව්‍යවස්ථා සංශෝධනයේ දර්ශනයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකිය. ඒ ගැන වන මගේ විවේචනය මා ඒ කාලයේදීම පළ කරනු ලැබුවත් එම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටියවුන් ඒ මගින් සිදු වන්නට යන බරපතළ වරද නිවැරදි කිරීමක් කළේ නැත. යහපාලන ආණ්ඩුවට අවශ්‍ය වූයේ ජනාධිපති සතුව තිබූ බලතල ඉවත් කොට ඒ බලය පාර්ලිමේන්තුවට ලබාදීම විනා රාජ්‍ය බලය වෙලා ගෙන තිබුණ දූෂිත ව්‍යුහයන්ගේ විපර්යාසයන් ඇති කිරීම නොවේ. 

සාමාන්‍යයෙන් නාමික ජනාධිපතිවරයෙකු පත් කර ගන්නේ අගමැතිගේ නිර්දේශය මත හෝ සීමිත ඡන්ද බල මණ්ඩලයක ඡන්දයෙනි. එහෙත් 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නා ක්‍රමයේ වෙනසක් ඇති නොකළේය. විධායක බලය අහිමි කළ නාම මාත්‍රික ජනාධිපතිවරයා තෝරා පත් කර ගත් ක්‍රමය වූයේද පරණ ක්‍රමයට එනම් මුළු රටම එක ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා මහ ජන ඡන්දයෙනි. එම ක්‍රමය ද එම ව්‍යවස්ථා සංශෝධනයට ආවේණික බරපතළ දෝෂයක් විය. 

ජනාධිපති බලතල විෂයෙහි ඇති කර තිබූ මෙම විපර්යාසය කවර හේතුවක් නිසා හෝ මහ ජන සාකච්ඡාවකට ලක් කිරීමක් සිදු නොවීය. කිනම් හේතුවක් නිසා හෝ කිසිදු දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු ඒ ගැන රටට කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේ නැත. කිනම් හේතුවක් නිසා හෝ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන්ද ඒ ගැන කිසිවක් කතා කළේ නැත. ඒ නිසා බලතල විෂයෙහි ඇතිව තිබූ එම වෙනස ගැන සමාජය දැන නොසිටියා සේම දේශපාලකයන්ට පවා ඒ ගැන නිසි අවබෝධයක් නොතිබුණි. ඒ නිසා ඒ ගැන මහ ජනතාව පමණක් නොව දේශපාලනඥයන්ද දැන සිටියේ විධායක ජනාධිපති සතුව තිබූ බලතලවල 19 වැනි සංශෝධනයෙන් කිසියම් වෙනසක් ඇති කර ඇතත්, තව දුරටත් විධායක බලය තිබෙන්නේ ජනාධිපතිට බවය.

ඒ ගැන වන ව්‍යාකූලභාවය කොතරම් ඉහළ මට්ටමක පැවැතියේද කියතොත් පූර්ව නාම යෝජනා කාලයේදී ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් බලයට පත්වූ පසු කරන දේවල් ගැන කියන කතා මගේ පුදුමයට හේතුවී, විධායක බලයක් නැති ජනාධිපතිවරයෙකු එවැනි පොරොන්දු දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ලිපි කිහිපයක්ම ලියන්නට මට සිදුවිය. 

ඊළඟ ජනාධිපති විධායක බලයක් නැති නාම මාත්‍රික ජනාධිපතිවරයෙකු බව අවධාරණය කරන පළමු සමාජ දේශපාලන සංවාදය එම ලිපි මාලාව වී යැයි කිව හැකිය. ඉන්පසු ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි විශාරදයෙකු ලෙස සැලකිය හැකි නිහාල් ජයවික්‍රම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විග්‍රහ කරමින් ඊළඟ ජනාධිපතිවරයාට විධායක බලයක් නැති බව සහ ඔහු ජනාධිපති විලියම් ගොපල්ලවට සමාන නාම මාත්‍රික ජනාධිපතිවරයෙකු බව පෙන්වා දෙන ලිපියක් ලියා පළ කරන ලද අතර එම ලිපිය ව්‍යවස්ථා සම්පාදන විෂයට සම්බන්ධ උගතෙකු 19 වැනි සංශෝධනය නිවැරදි ලෙස පැහැදිළි කිරීමක් කළ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහුගේ එම කරුණු පැහැදිළි කිරීම පවා දේශපාලන තලයේ සහ මහ ජනයා අතර ඒ පිළිබඳව පැවති ව්‍යාකූලභාවය මුළුමනින් දුරු කිරීමට හෙතු වූයේ නැත.

වර්ගවාදය කරළියට ඒම


2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ පරාජය එම පක්ෂයේ සිංහල ආධාරකරුවන් අන්ද මන්ද කිරීමට හේතුවිය. එම පරාජය ඔවුන් දැක්කේ දකුණේ සිංහල සුළු පිරිසක් සුළු ජාතීන් සමග එකතු වී සිය නායකයා පරාජය කළ අවස්ථාවක් වශයෙනි. එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළකීමට නම් සිංහල ඡන්ද බලයෙන් පමණක් බලය දිනා ගත හැකි ක්‍රමයක් ගැන අවධානය යොමු කරන්නට එම දේශපාලන බලවේගයේ න්‍යායවාදීන්ට සිදු විය. 

සිංහල වර්ගයා අවදි කරන්නට නම් බලවත් සතුරකු කරළියට ගැනීම අවශ්‍ය බව ඔවුන් දැන සිටියේය. ඒ සඳහා පෙර යොදා ගනු ලැබූ පරණ සතුරා (වේළුපිල්ලේ ප්‍රභාකරන් සංකේතවත් කළ දෙමළ ජනයා) පරාජය කර ඇති බැවින් අලුත් සතුරකු කරළියට ගැනීමේ අවශ්‍යතාව ඔවුන් තේරුම් ගෙන තිබුණා විය යුතුය. මුස්ලිම් සතුරෙකු කරළියට ගැනුණේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාය.

බෙදුම්වාදී යුද්ධයේදී මුස්ලිම් ජනයා සුළු ජාතියක් ලෙස සලකා වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පැත්ත ගත්තේ නම් ඔහු පරාජය කිරීම මහා දුෂ්කර ක්‍රියාවක් බවට පත් වන්නට ඉඩ තිබුණි. එහෙත් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එම අරගලයේදී නැගෙනහිර මුස්ලිම් ජනයා පෙනී සිටියේ දෙමළ බෙදුම්වාදයට එරෙහිවය. ඒ වෙනුවෙන් මුස්ලිම්වරුන්ට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවූ අතර උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනයා එම ප්‍රදේශවලින් පළවා හරින ලදි.

මුස්ලිම්වරුන්ට අදාළ ඒ සියල්ල අමතක කොට සිංහලයන් අතර මුස්ලිම්වරුන් කෙරෙහි වෛරයක්ද, පිළිකුලක්ද ඇති කිරීමට හේතු වන බිහිසුණු කතා නිර්මාණය කොට එම කතා සමාජ ගත කිරීමක් සිදු විය. සමාජ ගත කරන ලද කතා අතර සිංහලයන් වඳ කිරීම සඳහා යොදා ගැනෙන වඳ බෙහෙත් කතාව ප්‍රබලව බලපෑමක් ඇති කළ කථාවක් ලෙස සැලකිය හැකිය. යහ පාලන ආණ්ඩුව එම මුස්ලිම් විරෝධී ප්‍රචාරක වැඩසටහනේ කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේ නැතත්, එම ප්‍රචාරක වැඩසටහනට එරෙහිව ක්‍රියා කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් මගින් ඊට ආධාර කළේය.

මුස්ලිම් අන්තවාදී තරුණ කණ්ඩායම් විසින් පාස්කු ඉරිදාවක මරා ගෙන මැරෙන පහරදීම් ගණනාවක් සිදු කළේ කතෝලිකයන් සහ ක්‍රිස්තියානින් එල්ල කොට ගෙන වුවත්, එම බිහිසුණු සිද්ධිය සිංහල ජනයා අතර වපුරමින් තිබූ වෛර සහගත ආකල්ප උපරිම තත්ත්වයකට වර්ධනය කිරීමට හේතුවිය. එම වාතාවරණය ගෝඨාභය රාජපක්ෂට සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් ඇති කර දුන්නේය.

අපේක්ෂාවේ අවුල


ගෝඨාභය රාජපක්ෂ පරම බලය ඇති එකම නායකයා බවට පත් කර ගනිමින් සිංහල බෞද්ධ අපේක්ෂාවන්ද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව,සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පත් කර ගැනීම ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරළියට ගෙන ආ සිංහල බෞද්ධ ව්‍යාපාරයේ නියමුවන්ගේ පරම අභිලාෂය යැයි කිව හැකිය. එහෙත් එම අභිලාෂයේ අවුලක් තිබුණු අතර 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිට තිබූ බලය අහිමි කොට ඔහු නාම මාත්‍රික ජනාධිපතිවරයකු බවට පත් කොට තිබූ බව, ඒ සියලු දෙනා හෝ දැන සිටියේ නැත.

සිංහල බෞද්ධ බලවේගයන් අපේක්ෂා කළ ආකාරයටම දෙමළ සහ මුස්ලිම් සහායක් නැතිව සිංහල බෞද්ධ ඡන්ද මත පමණක් පදනම් වී අති විශාල ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ගෝඨාභ‍ය රාජපක්ෂ සමත් වුවත් ජයග්‍රාහකයා අතට පත් වූයේ  විධායක බලයක් නැති ජනාධිපති තනතුරකි. ජනාධිපතිට හිමි බලයේ සමානත්වය සඳහා නව ජනාධිපතිවරයා බලයට පත් කරන ක්‍රියාවලියේ නියමුවන් වශයෙන් ක්‍රියා කළ වූවන්ට පවා අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වූයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය.

පළමුවෙන් ඇති කර ගෙන තිබුණු අපේක්ෂා බිඳ වැටීමෙන් පසු ඔවුහු නැවත අලුත් අපේක්ෂාවන් ඇති කර ගත්තෝය. එනම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ජනාධිපතිවරයාට පක්ෂපාත වියතුන්ට බර තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවක් ඇති කර ගනිමින් 19 වැනි සංශෝධනය අහෝසි කොට ජනාධිපතිට පරම බලය ලැබෙන පරණ ක්‍රමය ස්ථාපිත කිරීමය.

ජනාධිපතිවරණයෙන් පසු පරාජිත පිල තමන්ට තිබූ ආණ්ඩු බලය අත හැර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණු ජයග්‍රාහී පිලට ආණ්ඩු බලය ලබා දුන්නේය. එම බලය මැතිවරණය තෙක් පවත්වා ගෙන යන තාවකාලික භාරකාර ආණ්ඩුවක් වීම හේතු කොට ගෙන අයවැයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවූවත් මැතිවරණය තෙක් පාලන කටයුතු කර ගෙන යාමට අවශ්‍ය වියදම් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය විය. 

ඒ සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් සහිත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවත් විරුද්ධ පක්ෂය එම යෝජනාව පරාජය කරනු ඇතැයි කියන බිය නිසා ආණ්ඩුව එම පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කර ගත්තේය. එහෙත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළහොත් එම ඇස්තමේන්තුව පරාජය කරන බව ප්‍රකාශ කරන තර්ජනයක් විපක්ෂය විසින් කර නොතිබුණි. ඒ නිසා ආණ්ඩුවේ කටයුතු පවත්වා ගෙන යාමට සිදුවී තිබුණේ ව්‍යවස්ථානුකූලව වෙන් කළ මුදල් නැතිවය.

ව්‍යවස්ථා අර්බුදය


පාර්ලිමේන්තුව එහි කාලය සම්පූර්ණ කරන්නට පෙර විසුරුවා හැරීම කෙරෙහි මුදල් අනුමත කර ගෙන නොතිබීමේ ප්‍රශ්නය ද බලපා තිබුණි. ජනාධිපතිවරයා ජාතිය අමතා කරන ලද කතාවේදී ඒ ගැනද කතා කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය තමාට වැදගත් නොවන බවත්, එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැර නාම යෝජනා භාර ගැනීමෙන් පසු රටේ කටයුතු පවත්වා ගෙන යෑමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ බලය තමන්ට ලැබෙන බවත්, එය ආණ්ඩුව පවත්වා ගෙන යෑම සඳහා ඉතා අවශ්‍ය දෙයක් බවත් ජනාධිපතිවරයා එහිදි කියා සිටියේය. ජනාධිපතිවරයාගේ මතය නිවැරදිය. එහෙත් ව්‍යවස්ථාව අනුව ඒ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ 2020 අප්‍රේල් 30 වැනිදා දක්වා පමණය.

ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා නියම කරන ලද දිනයේදී (මාර්තු 18) නාම යෝජනා ලබා ගත්තද මැතිවරණය සඳහා නියම කර තිබූ දිනය (අප්‍රේල් 25) ඇතිවී තිබුණ වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දිනය ලෙස පිළි නොගෙන මැතිවරණය කල් දැම්මේය. 

ඉන්පසු මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට යවන ලිපියක් මගින් මැයි මාසයේ අගද මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බැවින් කඩිනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීම් ලබා ගැනීම සුදුසු බවද දැනුම් දුන්නේය. එය මැතිවරණ කොමසාරිස්වරයාට ඒ අවස්ථාවේදී ගත හැකිව තිබුණු හරි තීරණය ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථාවේ 70 (7) යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකිය. සැකයක් හෝ නොපැහැදිළිභාවයක් තිබෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසිය යුතුය.

එහෙත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කැමති බවක් පෙනෙන්නේ නැත. අධිකරණයෙන් කරුණු විමසන්නට කැමති බවක්ද පෙනෙන්නට නැත. ව්‍යවස්ථාවේ 76 (1) යටතේ පාර්ලිමේන්තුව සතුව තිබෙන ව්‍යවස්ථාදායක බලය ඉවත් කිරීම හෝ අන් සතු කිරීම කළ නොහැකිය. වසංගතය තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය කවදා පැවැත්විය හැකිද යන්න පැහැදිළි නැත. 

කවදා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ කටයුතු කර ගෙන යාමේ බලයක් ව්‍යන්‍ස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී නැත. ඒ සඳහා බලය ලබාදී තිබෙන උපරිම කාලය මාස තුනකි. ඒ බලය 2020 අප්‍රේල් 30 වැනිදායින් අවසන් වේ. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මග පෙන්වීම් නොසලකා ක්‍රියා කරන තැනකට ගියහොත් කොරෝනා වසංගතය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදයට අතිරේකව ව්‍යවස්ථා අර්බුදයක්ද ඇතිවීම වැළකිය නොහැකිය.

ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීම වැළැක්වීම


මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව යළි කැඳවීමකට කැමති නැත්තේ පාර්ලිමේන්තුවේ, බහුතර බලයක් ආණ්ඩුවට නැති නිසාය. පාර්ලිමේන්තුව නැවත කැඳවීමකින් පසු විපක්ෂය නැවත ආණ්ඩු බලය ලබා ගන්නා තැනකට ගිය හොත් ඇති විය හැකි තත්ත්වය ගැන ලොකු කනස්සල්ලක් ආණ්ඩුවට තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර එය සාධාරණ සැකයක් ලෙසද සැලකිය හැකිය.

ව්‍යවස්ථානුකූල නොවන හිතුවක්කාරී පාලනයක් ස්ථාපිත වීම වැළකීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක් වන අතර රටේ බිහිසුණු වසංගත තත්ත්වයක් තිබියදී බලය සඳහා කුළල් කා ගන්නා තත්ත්වයක් පොදු යහපතට හේතුවන්නේ නැත. ආණ්ඩුව පාර්ලිමේන්තුව නොකැඳවන්නේ බහුතර බලයක් නැතිකම නිසා ඇති කර ගත් බිය නිසා නම් ඒ බිය නැති කිරීම සඳහා විරුද්ධ පක්ෂයට ආණ්ඩුවට සහතිකයක් දිය හැකිය. පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ආණ්ඩුව පවත්වා ගෙන යාමට අවශ්‍ය සහායදීමට පොරොන්දු විය හැකිය.

ඇතිවී තිබෙන වසංගතය මිනිසුන්ගේ ජීවිතයත් මරණයත් තීන්දු කරන සෞඛ්‍ය ප්‍රශ්නයකට සීමාවූ අර්බුදයක් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. එහි ආර්ථික පැත්තක්ද පවතී.රජයට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග බිදවැටී තිබේ. ලක්ෂ ගණනකට ඔවුන්ගේ ජීවන මාර්ග අහිමි කිරීමට නියමීතය. මෙම දැවැන්ත අභියෝගය ජය ගැනීම සදහා දේශපාලන ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම අවශ්‍ය වනවා සේම වාර්ගික සහ ආගමික වශයෙන්ද ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම අවශ්‍ය ය. මෙම අර්බුදය අවසන් වනතෙක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය. පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතුය.

ආණ්ඩු පක්ෂය සේම විරුද්ධ පක්ෂයද මෙම අර්බුදය අවසන් වනතෙක් දේශපාලන බල පොරය අත් හළ යුතුය.ඒ ගැන දෙපක්ෂයම ප්‍රසිද්ධ ප්‍රකාෂයක් කළ යුතුය. ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති තත්ත්වය ඉදිරියේ පාර්ලිමේන්තුවේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට අවහිර නොකොට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කළ යුතුය. ඒ සදහා විරුද්ධ පක්ෂය ආණ්ඩුවට සහතිකයක් දිය යුතුය. තීන්දු ගැනීමේ ක්‍රියාවලිය පටු දේශපාලන රාමුවක සිර නොකට පුළුල් ජාතික රාමුවකට ගෙනා යුතුය. එම රාමුව ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කරන මහ ජනයාට විනිවිදව පෙනෙන සහ මහ ජනයාට වග කියන ක්‍රියාවලියක් විය යුතුය. ප්‍රශ්නයේ සෞඛ්‍ය පැත්ත පමණක් නොව ආර්ථික සහ සමාජ පැතිද සලකා බලන තැනකට යා යුතුය. සිදු වන හානි අවම කර ගන්නා අතර ශ්‍රී ලංකාවට නැගිටීමට මෙම අර්බුදය අවස්ථාවක් කර ගැනීම වැදගත් අරමුණක් කර ගත යුතුය.

 

 

Advertiesment