Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


වෙදමහත්වරු පරික්‍ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය


2020-04-06 1887

 
(මහාචාර්ය නලින් ද සිල්වා) 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ සංවිධානය කොවිඩ් පරීක්‍ෂා ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. දෙරණ ඒවාට ප්‍රචාරය දෙනවා. මිනිසුන් බය වෙනවා. මේ අවස්ථාවේ දී බය කරන්නවත් බය වෙන්නවත් හොඳ නැහැ. කළ යුත්තේ පරෙස්සම් වීමයි. බටහිර වෙදමහත්වරුන්ගේ ප්‍රධාන කතාව වන්නේ අද රෝගය වැළඳී ඇති 160ක් පමණ පිරිස සමග යම් ආකාරයක හමුවීමක් තිබූ 42000ක් පමණ රටේ ඉන්න බව. ඒ නිගමනයට ඔවුන් පැමිණියේ කෙසේ ද යන්න පැහැදිලි නැහැ.

ඉතාලිය දකුණු කොරියාව වැනි රටවල රෝගය එක්වර වැඩී වීම පිළිබඳ විවිධ කතා තියෙනවා. එක්වර පොකුරු වැඩිවීමක් වූයේ ඇතැම් පර්යේෂණාගාර තියෙන පළාත්වල බව කියනවා. ඒ සම්බන්ධ එක්වර නිගමනවලට ඒම සුදුසු නැහැ. එහෙත් පොකුරු වැඩිවීමක් ලංකාවේ දක්නට තිබුණේ නැහැ. අප රටවල් සන්සන්දනය කිරීමේ දී මුල් නැත්නම් ආරම්භක අවශ්‍යතා සැලකිල්ලට ගන්න ඕන. ඉතාලියේ දකුණු කොරියාවේ චීනයේ රෝගය පැතිර ගිය ප්‍රදේශවල ඒ ආසන්නයේ පර්යේෂණාගාර තිබුණු බව කියනවා.

මා හිතන්නේ නැහැ වෛරසය මිනිසුන් විසින් ඒ පර්යේෂණාගාරවලින් නිකුත් කෙරුණා කියා. සමහර විට සොයා බැලුවොත් එක්සත් රාජ්‍යවලත් නිව්යෝක් හා ලොස් ඇන්ජලිස් ප්‍රාන්තවල පරයේෂණාගාර තියෙන්න පුළුවන්. එහෙත් කොවිඩ් 19 පර්යේෂණාගාරවලින් නිකුත් වී ඇත්තේ එකවිට මෙන්. එය මනුෂ්‍ය නොවන ක්‍රියාවක් ලෙස හිතන්න පුළුවන්. ලංකාවේ හොඳ පර්යේෂණාගාර නැති වීමත් හොඳට ගියා.

මා බටහිර තබා කිසිම ආකාරයක වෙදමහතකු නො වෙයි. මා කුඩා කල සිට පාඩම් කරන විෂයවලට ඇලුම් කෙළේ නැහැ. මට හොඳ මතකයක් නැහැ. මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මට ටිකක් හිතන්න පුළුවන්. ඒත් ඇතැම් බටහිරයන්ගේ මට්ටමට වියුක්තව හිතන්න බැහැ. මා බටහිර විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු අයෙක්. එහෙත් මට ප්‍රශ්න තියෙනවා. වෛරසය අවශ්‍ය නම් වයිරයනය ගැන ප්‍රශ්න තියෙනවා.

වයිරසය වැඩෙන්නේ ජීවියකුගේ ෙසෙලවල කියනවා. ජීවීන් වුවත් ගස්වැල්වල වැඩෙන්නේ නැති බවයි මගේ හැඟීම. මා වැරදි වෙන්න පුළුවන්. ජීවියාට වඩා ප්‍රාණියා කියන වචනය මා ප්‍රිය කරනවා. ප්‍රාණියකුගේ පණ ගිය පසු මොකද වෙන්නෙ. වෛරසයට මිය ගිය අයකුගේ ෙසෙලවල වැඩෙන්න පුළුවන් ද? වැඩෙන්නෙ නැති වුණත් පවතින්න (මේ සියල්ල සම්මත අර්ථයෙන්) පුළුවන් ද? මිය ගිය අයකුගේ ඒ ඒ ෙසෙල මැරෙන්න කොතරම් වෙලාවක් ගන්නවා ද? බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රාණියකු, මෙහි දී මිනිසකු මිය යනවා කියන්නෙ කුමක් ද? එය ඊනියා මොළය මරණයට පත් වීම ද? වෙනත් එකක් ද?

මා මේ ප්‍රශ්න නගන්නේ කොවිඩ් 19න් මියගිය මුස්ලිමුන්ගේ මෘත දේහ ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය නිසා. මරණය කියන්නෙ මොකක් ද කියල බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හරියට නොදන්න වෙලාවක ෙසෙල මරණයට පත්වීම ගැන අවබෝධයක් නැති විට වෛරසය පවතින්න පුළුවන් ද වැඩෙන්න පුළුවන් ද යන්න ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිසි පිළිතුරු නැති විට කළ යුත්තේ මළ සිරුරු ආදාහනය කිරීම පමණයි. සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණයට බටහිර වෙදමහත්වරුන්ගෙ සංගමය විරුද්ධ වෙන්න පුළුවන්. එහෙත් එය මේ අවස්ථාවේ දී ගත හැකි හොඳ ම තීරණයයි.

බටහිර වෙදමහත්වරුන්ගෙ සංවිධානය අද සෞඛ්‍ය බලධාරීන්ට විරුද්ධ ව විශාල ප්‍රචාරයක් ගෙන යනවා. බටහිර වෙදමහත්වරුන්ගෙ සංවිධානය මෘතදේහ වළලන්න පුළුවන් කිවුවෙ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන නිසා වෙන්න පුළුවන්. එහෙත් එය විවාදසම්පන්නයි. මේ සම්බන්ධයෙන් වියත් මුස්ලිම් මතය කුමක් ද? එය බටහිර වෙදමහත්වරුන්ගෙ මතය සමග එකඟ ද? නැත්නම් සංගමයේ මතය වියත් මුස්ලිම් මතය සමග එකඟ ද? ඒ දෙක එකක් ම නොවන බව පමණක් කියන්න ඕන. දෙරණ මෙහි දී ප්‍රවාරය දෙන්නේ ඇයි? දෙරණ, මුස්ලිම් වියත් මතය, බටහිර වෙදමහත්වරුන්ගෙ සංවිධානය සෞඛ්‍ය බලධාරීන්ට විරුද්ධව එකට ඉන්න බවක් පේනවා.

දේහ ආදාහනය කිරීමට ගත් තීරණය ජාතිවාදී පදනමකින් ගත් එකක් බව පැවසීමට පඬියන් හා විද්වතුන් උත්සාහ කරනවා. මෙය ඊනියා සුළුතරයකගේ අයිතිවාසිකමක් පාවා දීමක් නො වෙයි. ඊයේ අර ප්‍රකාශය නිකුත් කළ අය ඒ බව තේරුම් ගන්නවා නම් හොඳයි. ඒ ප්‍රකාශයට මෙරට මෙන් ම පිටරටත් වසන විද්වතුන් අත්සන් කර තිබුණා. ආදාහනය කිරීම මුස්ලිමුන්ට එරෙහිව සිංහලයන් ගත තීරණයක් බව යමකු පවසන්නේ නම් ඒ නම් නිසැකව ම සිංහල විරෝධී ජාතිවාදී ප්‍රකාශයක්. කිසිම සිංහලයකු මා දන්නා තරමින් කියා නැහැ කොවිඩ් 19 මුස්ලිමුන් පතුරණ එකක් කියා.

බටහිර වෙදමහත්වරුන්ගෙ සංවිධානය ඉක්මන් පරීක්‍ෂා කරන්න කියනවා. ඔවුන් යම් පරීක්‍ෂාවක් නිර්දේශ කරන බවයි පෙනී යන්නෙ. එහි වරදක් නැහැ. එහෙත් තවත් පරීක්‍ෂාත් නිර්දේශ වී ඇති බව සෞඛ්‍ය ඇමතිණිය කියනවා. මේ පරීක්‍ෂා ගැන පරික්‍ෂණය කරන්න ඕන. මේ පරික්‍ෂා ගැන කෙතරම් දුරට (කිනම් සම්භාවිතාවක් සහිත ව) විශ්වාසය තැබිය හැකි ද? සෞඛ්‍ය බලධාරීන් ඒ පිළීිබඳ අප දැනුවත් කරනවා ද? මා මේ සියල්ල බටහිර වෙදකම ඇසුරෙන් කියන්නේ අද තීරණ ගන්නේ ඒ මත පදනම් වී නිසා. ඔය කියන පීසීආර් පරීක්‍ෂාවට කෙතරම් කාලයක් යනවා ද? ඒ පරීක්‍ෂණ උපකරණ කිහිප තැනකට පමණක් ගාල් කර ඉන් උපරිම සේවයක් ලබා ගනීමට හැකි ද?

නිරේධායනය ගැනත් වචනයක් කියන්න ඕන. මෙහි දී කෙරෙන්නේ රෝගී අයට ප්‍රතිකාර කිරීමක් නො වෙයි. රෝගය වැළඳීමට ඉඩක් ඇතැයි සිතන අය අන් අයගෙන් වෙන් කර තැබීමයි. ඔවුන් අදාළ තැන්වලින් පිට ව ගිය පසු රෝගය වැළඳෙන්න පුළුවන්. ඔවුන් කිනම් පරික්‍ෂාවකට ලක් කර නිරෝගි යැයි සියයට සියයක් සහතික කළත් ඔවුන්ට පසුව රෝගය වැළඳෙන්න ඉඩ තියෙනවා.

මා දන්නා තරමින් දෙයියන්නෙ ලෙඩවලට ප්‍රතිකාර නැහැ. බටහිර වෙදකමේ ඇතැම් රෝගයකට එන්නතක් තියෙන්න පුළුවන්. එහෙත් කොවිඩ් 19ට එන්නතක් නැහැ. අපට කළ හැක්කේ අර ප්‍රතිශක්තීකරණ හැකියාව, නැත්නම් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම. ඒ සඳහා ආයුර්වේද සිද්ධ යුනානි වෙදමහතුන්ගේත් පාරම්පරික වෙදමහතුන්ගේත් ආධාරය ලබා ගන්න ඕන. මේ වෙදමහත්වරුන් දන්නවා දෙන්න ඕන මොනවා ද කියා. දුන් (වාෂ්ප) හට්ටිය අල්ලනවා නම් ඒකත් කරන්න පුළුවන්. තවත් එකක්. නිරෝධායනයෙන් පස්සෙ ගෙවල්වලට යන අයට තවත් සති දෙකක් ගෙදරට වෙලා ඉන්න කියන අතර ඔවුන් ගෙදර යන විට කොත්තමල්ලි වෙනිවැල්ගැට සුදුළුූණු ආදිය ටිකක් මල්ලක දාල (බෙහෙත් මල්ලක්) යවන්නත් පුළුවන්.

තවත් එක දෙයක්. අද බටහිර ඔසුසල් යම් ආකාරයකට විවෘත ව පවතිනවා. සිංහල බෙහෙත් කඩත් විවෘත ව තැබීමට ක්‍රමයක් සකස් කරනවා ද? හෙට දින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙදමහතුන් සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ කරුණුත් සලකා බලන්න පුළුවන් ද?

 

Advertiesment