Friday 14th of August 2020

English Tamil
Advertiesment


ආර්ථික වෛරසයෙන් රට බේරා ගන්නා හැටි හිටපු මුදල් ඇමති පහදයි


2020-04-06 3060

ආර්ථික වෛරසය කොරෝනාවට වඩා පීඩාකාරීයි    

 

නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි 

 

කුලීකරුවන් ඇතුළු දෛනික ආදායම් ලාභීන්ට මසකට රු.20,000ක් ඔනෑ 

 

"Credit Card" පොලී කපා හරිනු-ආපසු ගෙවීමට සහන කාලයක් දෙනු

 

සියලු ව්‍යාපාරික-ස්වයං රැකියා ණය සඳහා ද සහන කාලයක් ඕනෑ

 

රුපියලේ අගය ස්ථාවරව තබා ගනු 

 

විදේශ ණය ගෙවීමට සහන කාලයක් ලබා ගෙන පොලී අඩු කර ගමු

 

උසස් පෙළ-5 වසර ශිෂ්‍යත්ව විභාග කල් තැබිය යුතුයි 

 

මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් ඕනෑ 

 

සහන වැඩ පිළිවෙළ නිර්දේශපාලනික විය යුතුයි 

 

වගා සංග්‍රාමයක්-ආහාරවලින් සුරක්ෂිත රටක් 

 

ආනයන සීමා කරමු 

 

කොරෝනාව බිලි ගත් ජාතික-ජාත්‍යන්තර ආර්ථිකය ගැන ආසියාවේ හොඳම මුදල් ඇමති කතා කරයි

 

 

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කරමින් සුබවාදී තත්ත්වයක් කරා අපේ මාතෘ භුමිය යොමු කරවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි අවධාදානය යොමු කිරීම කාලීන වූ අවශ්‍යතාවයකි. රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් රට වැසියන්ගේ දෛනික ජීවිතයට බාධා ඇති වී තිබෙන අතර ජීවත්වීමේ ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු වී තිබේ. මෙවැනි අර්බුද මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන පිළිබඳව සාකච්ඡා කිරීම අද දවසේ මූලිකම කාරණය බව මම සිතමි. එමෙන්ම මෙම අයහපත් පසුබිම මත මතුව ඇති අධ්‍යාපන සහ  ආර්ථිකමය ගැටලු සාකච්ඡා කිරීම කෙරෙහි දෙවනුව අවධානය යොමු කළ යුතු වේ.

 
සෞඛ්‍ය ක්ෂේත්‍රය 

 

මෙම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සහ මෙම වෛරස ආසාදිත තත්ත්වය ශ්‍රී ලාංකික ජන සමාජයෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කිරීම ප්‍රමුඛතම කාරණය විය යුතුය. මේ වන විට වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග යම් තරමක් යහපත් වුව ද දේශීය සේම ජාත්‍යන්තර වශයෙන් COVID -19  වෛරසය ආසාදිතයන්ගේ දත්ත විමසීමේදී සතුටුදායක මට්ටමක් අත්පත් කර ගැනීමට අපට හැකියාවක් ලැබී නොමැති නමුත් රජය විසින් සෞඛ්‍යය අංශය වෙත දැඩි අවධානයක් මේ අවස්ථාවේදී යොමු කර ඇති බව පෙනේ.

එහෙත් තව දුරටත් සෞඛ්‍යය අංශය සඳහා කළ යුතු රාජ්‍ය වියදම් වැඩි කිරිමට අප පසුබට නොවිය යුතුය. මෙලෙස වැඩි කරන වියදම රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම වගේම පර්යේෂණ යන්ත්‍ර, තාක්ෂණික උපකරණ සහ ශ්වසන යන්න්‍ර මිලදී ගැනීමට පමණක් නොව මුව ආවරණ සැපයීම, සෞඛ්‍යය කටයුතු, සනීපාරක්‍ෂක කටයුතු සහ ප්‍රවාහන වියදම් ආදිය ආවරණය කිරීම සදහා ද යොදා ගත යුතුය. එමෙන්ම විශාල පිරිසකට එකවර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට හැකි වන අයුරින් අපගේ සෞඛ්‍යය අංශය සූදානම් කළ යුතුය. එපමණක් නොව මෙම වසංගතය හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන රෝග විනිශ්චය කර ගැනීමේ පරීක්ෂාවන් කිසිසේත් ප්‍රමාණවත් නොවන නිසා වෛද්‍ය සහ සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ද සැලකිල්ලට ගනිමින් එම ක්‍රියාවලිය වේගවත් කළ යුතු වේ.

ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙළ සඳහා  කාර්යක්ෂම, සාධාරණ සේම සියලු දෙනාට පිළි ගත හැකි විනිවිධභාවයෙන් යුතු යාන්ත්‍රණයක් සකස් කළ යුතු අතර එම වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතුම වේ.

සෞඛ්‍යය අංශයේ විශේෂඥ දැනුමක් ඇති ප්‍රාමාණිකයන්ගේ උපදෙස් අනුවම සමාජ දුරස්ථකරණය වෙනුවෙන් අවශ්‍ය නියමයන් සහ නියෝග ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිමට රජය ක්‍රියා කළ යුතු වේ. ජන සමාජයේ ඉදිරියේදී මතු විය හැකි විවිධාකාර සමාජ ගැටලු සහ මානසික කම්පනයන්ට ද මුහුණ දිමට හැකි අයුරින්  රජය සූදානම් කිරීමේ වගකීම ද අප සතුය. 

 
අධ්‍යාපන ක්ෂේත්‍රය 

 

වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අනුගමනය කරන සමාජ දුරස්ථකරණය,ඇඳිරි නීතිය සහ අධ්‍යාපන ආයතන වසා තැබීම ආදී අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ග මත අධ්‍යාපන කටයුතු ද කඩා වැටී ඇත. මේ හේතුවෙන් විශ්ව විද්‍යාල,උසස් පෙළ,සාමාන්‍ය පෙළ සහ 5 වසර ඇතුළු සමස්ථ සිසු දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ඔවුන් මානසික ආතතියට, පීඩනයට සේම මානසික අවපාතයකට පත් වීමේ අවදානමක් තිබෙන නිසාය.

රූපවහිනිය සහ නවීන තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ අදාළ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න රජය ප්‍රධාන අධ්‍යාපන බලධාරීන් උත්සහ කරමින් සිටින අතර එම උත්සාහයන් අගය කළ යුතුය.කෙසේ නමුත් රූපවාහිනියක් තබා විදුලි ආලෝකයවත් නොමැතිව කුප්පි ලාම්පුවෙන් අකුරු කරන අන්ත අසරණ සහ දිළිඳු දරු දැරියන් විශාල ප්‍රමාණයක් අපේ රටේ තවමත් සිටිති.මෙම වසංගතය හේතුවෙන් එම දරු දැරියන්ට රුපවාහිනියක් තිබෙන අසල්වැසි නිවසකට හෝ ගොස් එම අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගී විය නොහැකිය.

එමනිසා සිසු දරු දැරියන්ගේ මානසිකත්වය සේම රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වඩාත්ම ප්‍රායෝගික වන්නේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්වය ඇතුළු විභාග කල් දැමීමය. එසේ නොමැතිව උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග, නියමිත පරිදි 2020 අගෝස්තු මාසයේදීම පැවැත් විය යුතු යැයි රජය සහ අධ්‍යාපන බලධාරීන් සිතන්නේ නම් අදාළ විෂය නිර්දේශ මාලාවේ මේ මොහොත වන විට ආවරණය කර ඇති කොටස්වලින් පමණක් එම විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන ලෙසට ප්‍රශ්න පත්‍ර සකසන  මණ්ඩලවලට අදාළ බලධාරීන් උපදෙස් දිය යුතුය.

 
ආර්ථික ක්ෂේත්‍රය       

 

පවතින ආර්ථික තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගනිමින් ආර්ථික අභියෝග ජය ගැනිම සදහා නිර්මාණාත්මක විසදුම් සොයා ගත යුතු වේ. එවැනි ආර්ථික අභියෝග කිහිපයක් පමණක් සිහිපත් කිරිමට ද මේ මොහොත අවස්ථාවක් කර ගනිමි.

 
අප හමුවේ ඇති ආර්ථික අභියෝග

 

ජනතාව දුරස්ථ කිරීමේ සහ හුදෙකලා කිරීමේ තත්ත්වය මත ඉල්ලුම අඩුවීම හෙවත් ඉල්ලුම් කම්පන ද, ලොව වටා ඇති සැපයුම් ජාලයන් බිඳ වැටීම හරහා සැපයුම අඩුවීම හෙවත් සැපයුම් කම්පන ද ඇති වී තිබෙන අතර ඊට සමගාමීව ලෝකය හමුවේ මේ වන විට උග්‍ර මූල්‍ය අර්බුදයක් ද ඇති වෙමින් පවති. මේ පසුබිම යටතේ උග්‍ර ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීම වැළැක්විය නොහැකි අතර දැනට කර ඇති පුරෝකථනයන්ට අනුව ගෝලීය ආර්ථික වර්ධනය 01%ත් 02%ත් අතර ප්‍රමාණයකින් පහළ වැටීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ වෙළඳ පොළවල් වන ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපීය රටවල් සහ චීනය ආදී රටවල ජාතික ආර්ථිකයන් කොරෝනා වසංගතය හමුවේ මේ වන විට විශාල ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් සිටියි. 2020 වර්ෂයේ මුල් කාර්තුවේ දී චීන ආර්ථිකයේ, ආර්ථික වර්ධනය 05%කින් පමණ පහළ ගොස් ඇති අතර එම තත්ත්වයන් මත අප රටට ද බලපෑම් සිදු විය හැකිය.මේ වන විටත් රටේ සමස්ත නිෂ්පාදනය, බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ වෙළෙඳ ජාලයන් මුළුමනින්ම බිඳ වැටී ඇති අතර බැංකු සහ මුල්‍ය සේවා, රක්ෂණ, හෝටල් ආදී සේවාවන් ද අඩපණ වී ඇති නිසා මෙම වර්ෂයේ මුල් කාර්තුවල ඍණ ආර්ථික වෘද්ධියක් ඇතිවීමේ අවදානමකට ද අප මුහුණ දී සිටියි.  

ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිමේදී පවතින තත්ත්වය මත අපනයන නිෂ්පාදනයට ඍජු  බලපෑමක් එල්ල විය හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ඇඟළුම්  ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති අතර එම අංශය ආශ්‍රිතව විරැකියා තත්ත්වයක්ද නිර්මාණය විය හැකිය. එමෙන්ම ඍජු  විදේශ ආයෝජන ගලා ඒම පැහැදිළි ලෙස අඩු වනු ඇත. රටේ කොටස් වෙළෙඳ පොළ මේ වන විටත් වසා තැබීම නිසා ඉදිරියටත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩක් පැවතිය හැකි අතර ඒ හේතුවෙන් කලඹ  ආයොජන ද සීමා වනු ඇත. එමෙන්ම විදේශ ප්‍රාග්ධන ගලනයක් (ආපසු යාමක්) ද බලාපොරොත්තු විය යුතුය.

නව කෙරෝනා වෛරසය හේතුවෙන් මැදි ආදායම් ලබන රටවල් අතරින් දැඩි අවදානම් සහිත මැදි ආදායම් රටක් ලෙස ශ්‍රි ලංකාව මේ වන විටත් හඳුනා ගෙන තිබේ. අපගේ සංචාරක කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආදායම් මාර්ග උපයන අංශය වන හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදි අංශ රැසක් මේ වන විටත් අභියෝගයට ලක් වී තිබේ.

කෘෂිකාර්මික අංශයේ ඇතැම් ආර්ථික කටයුතු තවමත් සිදු වන නමුත් පවතින තත්ත්වය මත එම ආර්ථික කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබේ ද යන්න ගැටලුවකි. නිමැයුම් කර්මාන්තයේ සහ සිල්ලර වෙළෙදාම් කටයුතු ද දැනට ක්‍රියාත්මක වන්නා වූ සමාජ දුරස්ථකරණ ක්‍රියාදාමය සේම ඇදිරි නීතී තත්ත්වය මත ප්‍රයෝගිකව සිදු කර ගෙන යාම අසීරු වී ඇත. දේශීය සහ විදේශීය වශයෙන් මෙම කර්මාන්ත සදහා අවශ්‍ය වන සැපයුම් ජාල බිද වැටීම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ කාර්යසාධනය ඉදිරියේදී තවදුරටත් පහළ යනු ඇත.

දුප්පතුන්, දෛනික වැටුප් උපයන්නන්, විරැකියාවෙන් පෙළෙන්නන් සහ අවිධිමත් ආර්ථික ක්‍රියාවන්හි නිරතවන්නන්ගේ ජීවනෝපායන් ඇණහිටීමත් සමඟම පවතින තත්ත්වය තව දුරටත් අසතුටුදායක වනු ඇති අතර සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ද මෙම තත්ත්වය මත බරපතළ  අභියෝගයන්ට ලක් විම වැළක්වීය හැකි නොවේ.

 
ගත යුතු පියවර, උත්තේජනයන් සහ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති

 

පවතින තත්ත්වයන් සමනය කිරීම සඳහා රජය යම් යම් පියවර ගණනාවක් ගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුව ද ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය අඩු කිරීමට යොමු වී ඇති අතර මූල්‍ය අංශයේ ආයතන සහ මහජනයා මුහුණ දෙන අර්බුද සමනය කිරීමට උත්සාහ දරමින් සිටියි. රජය විසින් කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත, සංචාරක කර්මාන්තය වගේම ඒ ආශ්‍රිත අංශ නගා සිටුවීම සඳහා ණය සහනයන් ලබා දීමට ක්‍රියා කර ඇත. එමෙන්ම ස්වයං රැකියාවල නිරතවන්නන් සේම ක්ෂද්‍ර මූල්‍ය ණය අංශයට ද බලපාන ලෙස ණය සහන ප්‍රකාශයටපත් කර ඇත.

කෙසේ නමුත් රජය ක්‍රියාවට නංවා තිබෙන මෙම සහන සහ උත්තේජන "පැකේජ" රටක් ජාතියක් ලෙස අප මුහුණ දී ඇති අර්බුදයේ බැරෑරුම් තත්ත්වයට අනුව  ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි.

■ ශ්‍රී ලාංකික සමාජය මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස වසංගත තත්ත්වය මත පීඩාවට පත් දුප්පතුන්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, අවිධිමත් රැකියාවන්හී නිරත පිරිස, දෛනික වැටුප් උපයන පිරිස වගේම කෘෂිකර්මයේ සහ ධීවර කර්මාන්තයේ යෙදී සිටින අය ඇතුළු සමස්ත   ප්‍රජාව ආවරණය වන පරිදි සහන ලබා දීම කළ යුතු වේ.

සමෘද්ධි ලාභීන් සඳහා (මිලියන 1.8ක් පමණ) රජය රුපියල් 10,000ක් ලබා දෙන බව පැවසුව ද, එම මුදලින් යම් ප්‍රමාණයක් සමෘද්ධි බැංකු මගින් රඳවා ගනු ලබන අතර මේ අවස්ථාවේදී එසේ නොකළ යුතුය. මේ අතර රජය, දුප්පත් එහෙත් සමෘද්ධි නොමැති පුද්ගලයින් සඳහා ( 600 339) රුපියල් 5000ක ණයක් ලබාදීමට තීරණය කර තිබුණ ද එම ණය මුදල ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. 

ශ්‍රී ලංකාවේ මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස අවිධිමත් අංශයේ රැකියාවන්හි නිරත  60%ක් (මිලියන 4.7ක්) පමණ වන සිටිති. විශේෂයෙන් මෙහිදී දැඩි ආර්ථික සුනාමියකට,පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී ඇති කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ත්‍රී රෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරැයි අලෙවිකරුවන්, "වඩේ-කඩල-රට කජු" ආදිය අලෙවි කරන්නන්, කෑම පාර්සල් ඇතුළු ආහාරපාන ගෘහස්ථව සකස් කර අලෙවි කරන්නන්, "බුලත් විට-තැඹිලි-පළතුරු" වෙළෙඳුන්, පාසල් මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටින්නන්, බාබර් සාප්පු කරුවන්, ඇඳුම් මසන්නන්, පාවහන් අලුත් වැඩියා කරන්නන්, බස් රථවලට නැගී "පොත්පත්-හඳුන්කූරු-කපුරු බෝල-රස කැවිලි" ආදිය අලෙවි කරන්නන් සේම ගොවීන් සහ ධීවරයින් ආදීහූ වෙති.  

මෙම සියල්ලන් සදහා පවත්නා ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අඩුම වශයෙන් මසකට රුපියල් 20,000ක් වත් ලබා දිය යුතු යැයි යෝජනා කරමි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වී ඇති ප්‍රමාණයට සාපේක්ෂව රටේ ඉන්ධන මිල අඩු කිරීමක් මෙම වර්ෂයේදී  සිදු නොකරනු ඇති නිසා රට යථා තත්ත්වයට පත් වූ පසු මේ සහන සඳහා වැය වූ මුදලින් කොටසක් සොයා ගැනීමට රජයට  හැකියාව සහ අවස්ථාව තිබේ.

එමෙන්ම ග්‍රාමීයව ජීවත් වන දිළිඳු ජනයාගේ එදිනෙදා කෑම බීම ඇතුළු අත්‍යාවශ්‍ය බඩු මුට්ටු සපයා ගැනීම සඳහා සමාජ දුරස්ථකරණ ක්‍රියාවලියට බාධාවක් නොවන ලෙස ග්‍රාමීයව පවතින කුඩා කඩපිල් කිහිපයක්වත් විවෘත්ත කර තැබීමට යෝජනා කරමි. ඒ හරහා සිය හිතවත්කම් මත තාවකාලිකව ණයට හෝ අත්‍යාවශ්‍ය බඩු මුට්ටු ලබා ගැනීමට එම ජනයාට හැකියාවක් ලැබේ. එමගින් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අවස්ථාවලදී දැනට මතු වන අනවශ්‍ය ඒකරාශීවීම් සහ ජන තදබදය වළක්වා ගත හැකි අතර ග්‍රාමීය ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යාමට ද අවස්ථාව උදා වේ.  

■ රාජ්‍ය සේවක සේවිකාවන් සඳහා (1,500,000 පමණ) රජය අප්‍රේල් මස වැටුප ගෙවන අතර එම වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ. එමෙන්ම ත්‍රී රෝද රථ, ට්‍රැක්ටර්, පාසල් බස්-වෑන් රථ, මගී ප්‍රවාහන බස් රථ ආදියෙන් ප්‍රවාහන සේවා සපයමින් ස්වයං රැකියාවල යෙදී සිටින (1,500000 පමණ) මෝටර් රථ හිමියන් සිය යාන වාහන වෙනුවෙන් ගෙවීමට ඇති කල් බදු වාරික සඳහා සහන ලබාදීමක් ද සිදු කරයි.
රටේ ආර්ථිකය යහපත් වී මෙම මෝටර් රථ හිමි ස්වයං රැකියා ලාභීන්ගේ ක්‍රය ශක්තිය තහවුරු වන තෙක් නැවත දැනුම් දෙන තුරු කල් බදු වාරික සඳහා සහනශීලී  කාල පරිච්ඡේදයක් හඳුන්වා දිය යුතු යැයි යෝජනා කරමි.

එමන්ම සිය බැංකු ණය පත්වලට අදාළ (Credit Card) ගෙවීම් සිදු කිරීම සඳහා මෙම පිරිස ඇතුළු සියලු ජනයාට, පොදුවේ නිශ්චිත සහන කාල සීමාවක් ලබා දිය යුතු අතර ණය යළි අය කර ගැනීමේදී පොළිය සම්පූර්ණයෙන් කපා හැර මුදල පමණක් අය කර ගත යුතුය. මේ සහනය සියලුම බැංකු ණය පත් හිමියන්ට පොදුවේ ලබා දිය යුතු අතර ඒ සඳහා කිසිසේත්ම එම බැංකු ණය පත්වලට අදාළව නිශ්චිත ණය සීමාවක් නියම නොකළ යුතුය.

මුළු රටම අගාදයට ඇද වැටී ඇති මේ මොහොතේ සිය බැංකු ණය පත් හිමියන් සඳහා කොන්දේසි විරහිතව මේ සහනය ලබා දීම රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල වගකීමක් වගේම යුතුකමක් වන අතර මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතුය.මෙහිදී බැංකු සහ මුල්‍ය ආයතනවලට යම් ද්‍රවශීලතා ගැටලුවක් මතු වන්නේ නම් එම ආයතන මුදවා ගැනීමේ සැලැස්මක් ද රජයට තිබිය යුතුය.
   
■  එමෙන්ම පවතින තත්ත්වය මත සියලු ව්‍යාපාරික ආයතන ගෙවිය යුතු ණය සඳහා ද සහන කාලයක් ක්‍රියාත්මක කළ යුතු අතර එම සහනය ද යම් කිසි ණය සීමාවකට යටත් නොකර පොදුවේ සියලු ණය ප්‍රමාණයන් සඳහා ලබා දිය යුතුය.

■ උපයෝගිතා සේවාවන් වන විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් කිසිදු කපා හැරිමකින් තොරව මහජනයාට ලබාදිය යුතු අතර මෙවැනි සේවා සපයන  ආයතනයන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ.

■ කෘෂිකාර්මික අංශය නගා සිටුවීම අරමුණු කර ගෙන කෘෂිකාර්මික ප්‍රජාව වගේම පොදු ජනතාව අතර ද, වගා කටයුතු සඳහා අභිප්‍රේරණයක් ඇති කරමින් මුළු රටම ආවරණය වන පරිදි මහ වගා සංග්‍රාමයකට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය. රජය මේ සඳහා බීජ වර්ග සහ පැල ලබාදීමේ වැඩ සටහනක් යෝජනා කළ ද ප්‍රයෝගික තලයේ දී එවැන්නක් දැක ගත නොහැකිය. එමෙන්ම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන ලෙස තේ වගා කටයුතු ද, කිරි නිෂ්පාදන සහ සත්ව පාලන ක්ෂේත්‍රය ද අකර්මන්‍ය නොවීමට වග බලා ගත යුතුවේ.

සියලුම කෘෂි නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා  සහතික මිලකට මිල දී ගන්නා බවට රජය තහවුරු කළ යුතු අතර එවිට අස්වනු විකුණා ගැනීමේ ප්‍රශ්න සහ අතරමැදි ප්‍රශ්න ඇතුළු අර්බුද මතු නොවන නිසා කෘෂි නිෂ්පාදනය ඉහළ යනු ඇත. මේ වන විට ගොවියා මුහුණ දී ඇති බීජ සහ පොහොර ලබා ගැනීමේ ගැටලුව ඉක්මනින්ම විසඳීමට රජය මැදිහත් විය යුතු වේ.

මේ අනුව කෘෂිකාර්මික අංශය ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත බව ආර්ථිකය නඟා සිටුවීම සඳහා ප්‍රබල හේතු සාධකයක් වනු ඇති අතර මේ අනුව අල, ලූණු සහ මිරිස් වැනි කෘෂි භෝග සඳහා රටක් ජාතියක් ලෙස වාර්ෂිකව අපට වැය වන රුපියල් බිලියන 75 ඉක්ම වූ අධික මුදල් සම්භාරය ඉතිරි කර ගත හැකි වේ.

මෙම සැලසුම් කාර්යක්ෂම සහ සඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් වසරක් වැනි කාලයකදී රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇති අතර මේ ආශ්‍රිතව ගොඩනගා ගන්නා ස්වයංපෝෂිත තත්ත්වය මත තව දුරටත් ආනයන සීමා කිරීම මගින් දැනට මුහුණ දී ඇති ගෙවුම් ශේෂ ගැටලුව මග හරවා ගැනීමට හැකි අතර තවත් ආර්ථික වාසි රැසක් අත් පත් කර ගැනීමේ අවකාශය ඇත.

එමෙන්ම  කෘෂිකාර්මික අංශය සඳහා ලබා දෙන්නා වූ සියලු ණය මුදල් සඳහා පොළිය 03%ත් 04%ත් අතර මට්ටමකට සීමා කළ යුතු අතර ධීවර අංශය නඟා සිටුවීම සඳහා ද ඩීසල් සහනාධාරය ඇතුළු මෙකී සහන ක්‍රියාත්මක කළ යුතුය.

■ රජයේ පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්තීන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පවතින ආර්ථික සහ සමාජ පසුබිම මත රුපියල ස්ථායි තත්ත්වයේ පවත්වා ගැනීම වැදගත් වේ. අපනයන ඉහළ නංවා ආනයන තව දුරටත් සීමා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. බාහිර ණය සහන ලබා ගැනීමට යොමු වීමේදී "SDR" සංචිතය ලබා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කළ යුතුය.  

COVID-19 වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සිය හදිසි අරමුදල් ක්‍රමවේද හරහා මැදි ආදායම් සහ පහළ ආදායම් ලබන රටවල් සඳහා අරමුදල් වෙන් කර ඇත. එම අරමුදල් ලබා ගැනීම සඳහා රටක් ලෙස අප විධිමත් සහ අර්ථවත් ක්‍රමවේද සකස් කළ යුතුය. වත්මන් තත්ත්වය මත පවතින සංචිත ප්‍රමාණවත් නොවීම සහ විදේශ සංක්‍රාමයන් නොලැබීම හේතුවෙන් උක්ත ක්‍රියාමාර්ග දූරදර්ශී සහ නිර්මාණාත්මකව ක්‍රියාවට නැංවිය යුතු වන්නේ ය.

■ කොරෝනා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන පසුබිම යටතේ අපගේ රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රයෝගිකව සිදු කිරීම අපහසු කරුණකි. එම නිසා දැනට ප්‍රකාශ කර ඇති COVID -19 අරමුදල තව දුරටත් ශක්තිමත් කිරිම කළ යුතු වේ. 2020 වර්ෂයේ දී අපට රුපියල් බිලියන 9000ක පමණ ණය ප්‍රමාණයක් ගෙවිය යුතු අතර මෙහි විදේශ ණය සේවා කරණ ගෙවීම් පමණක් ඩොලර් බිලියන 4.5ක් වේ. එයින් ද ඩොලර් බිලියන 2.8ක් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ගෙවීමට සිදුව තිබේ. එබැවින් බහු පාර්ශවීය සහ අනෙකුත් ආයතනයන්ගේ (IMF සහ China EXIM Bank වැනි ) ණය කොන්දේසි ලිහිල් කර ගැනිම සහ ණය ආපසු ගෙවීම සහනදායි ක්‍රමවේදයකට යළි සකස් කර ගැනිම සම්බන්ධයෙන් එම ආයතන සමග වහාම සාකච්ඡා ආරම්භ කළ යුතුය. එමෙන්ම ස්වායත්ත බැදුම්කර හරහා ගෙවීමට පවතින ණය සඳහා යම් සහනදායී වැඩ පිළිවෙළක් නිර්මාණය කිරීමට ද ක්‍රියා කළ යුතු වේ.මේ සඳහා මිත්‍රශීලී රටවල සහය ලබා ගැනීමට ද හැකියාවක් ඇත.  

■ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී උද්ධමනය නොසලකා හරිමින් මූලික පොළී අනුපාතික අඩු කිරීමට මහ බැංකුවට සිදු වේ. මෙවැනි ක්‍රියා මාර්ගයන් හරහා ණය බර වැඩිවීම පාලනය කිරීමක් කළ හැකිය. සමස්ත ප්‍රජාව ආවරණය කරමින් සියලු සහන සහ උත්තේජන "පැකේජ" ක්‍රියාත්මක    කිරීම සඳහා නිශ්චිත අනුමැතීන් ලබා ගත යුතු අතර රාජ්‍ය වියදම් සම්බන්ධ දැනට පවත්නා අනුමැතිය  2020 අප්‍රේල් 30 වැනදා වන තෙක් වලංගු බවට ප්‍රකාශ වේ. එබැවින් පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුම උචිත පරිදි සංශෝධනය කර ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කරවමි.

■ එමෙන්ම අපනයන නිෂ්පාදන ආයතන සුභවාදී මගකට යොමු කිරීම සඳහා බදු ව්‍යූහය ලිහිල් කළ යුතුය. බදු අඩු කිරිම සහ බදු වීරාම ලබා දීමටත් රජය උනන්දු විය යුතුය. මේ හරහා අපනයන නිෂ්පාදන ආයතන පුනරුදයකට ලක් වේ. විදුලිය, ජලය සහ දුරකථන සේවාවන් මෙම ආයතනවලට සහන මිලට ලබා දෙමින් ඔවුන්ගේ ද්‍රවශිලතා ගැටලු විසදීමට රජය සක්‍රීය ලෙස මැදිහත් විය යුතු වේ.

■ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රගමනයක් ද ඇති කළ යුතුය. ඒ සඳහා බදු අඩු කිරිම සහ බදු විරාම ලබා දිමටත් හෝටල් ක්ෂේත්‍රය, එම ක්ෂේත්‍රය ආශ්‍රිත ප්‍රවාහන සේවා අංශය, සංචාරක කර්මාන්තය සමග බැඳුණු විනෝදාස්වාදය සපයන සේවා අංශය ආදී අංශ ලබා ගෙන ඇති ණය පියවා ගැනිමටත් රජය සහන සැලසිය යුතු අතර එම ණය සඳහා සහන සැලසීමේදී ද, නිශ්චිත ණය ප්‍රමාණයකට සහ සීමාවකට යටත්ව ක්‍රියා නොකර පොදුවේ සියලු ණය ලාභීන්ට එම සහනය ලබා දිය යුතුය.

රටත්  ජනතාවත් මුහුණ දී සිටින මේ බරපතළ ආර්ථික අභියෝගය ජය ගැනිම සදහා දේශපාලන පක්ෂ, පාට,ජාති සහ ආගම් ඇතුළු සියලු භේද පසෙක තැබිය යුතු බව තරයේ අවධාරණය කරමි. මෙවැනි බරපතළ ජාතික ව්‍යසනයකදී පවා අප ඒ ගැන නොතකා එකට එක්ව රටක් ජාතියක් ලෙස වැඩ නොකළහොත් සහ මේ අභියෝගය ජය ගැනීම සඳහා සාමූහිකව ක්‍රියාත්මක නොවුණහොත් අනාගත පරම්පරාව අපට ශාප කරනු නියතය. එබැවීන් ඉහතින් අවධාරණය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් කෙරෙහි අවධානය යොමු කිරීම බොහෝ සෙයින් වැදගත් වන අතර පොදු ජාතික ආර්ථික සැලැස්මක් මගින් COVID-19 හෙවත් මාරාන්තික නව  කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින අභියෝග රැසක් ජය ගැනිමට අපට හැකි වනු ඇත.

-රවී කරුණානායක- 
හිටපු මුදල්, විදේශ, විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය 
එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 
 

   

Advertiesment