Friday 5th of June 2020

English Tamil
Advertiesment


රජයේ ඉඩම් පෙන්වා ලක්ෂ 78ක් ගැරූ චෝදනාව ශාන්තිනී ප්‍රතික්ෂේප කරයි 


2020-04-02 2035

බංකොලොත් දේශපාලකයින්ගේ දේශපාලන මඩක් 

 

"හැකි නම් ඔප්පු කරනු-උත්තර දෙන්න සූදානම්"

 

"රු.25,000 එකතු කළේ ඉඩම් මැනීමට"

 

"ඉඩම් බෙදීමට මම සම්බන්ධ නැහැ"  


රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් මහනුවර ජනතාවගෙන් රුපියල්  ලක්ෂ 78ක් වංචනික සහ නීති විරෝධී ලෙස ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිය දේශපාලන විරුද්ධවාදීන් තමාට එරෙහිව එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම චෝදනාව සාවද්‍ය සහ පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා සහ හේවාහැට ප්‍රධාන සංවිධායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය අවධාරණය කර සිටියි.

ඇය මේ බව මෙසේ අවධාරණය කර සිටියේ, "රජයේ ඉඩම් පෙන්වා ශාන්තිනී පාක්ෂිකයින්ගෙන් ලක්ෂ 78ක් ගරලා.." යන ශීර්ෂය යටතේ 2020.03.30 වැනිදා "lankanewsweek" හී පළ වූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ,හේවාහැට,මැදකැටිය පිහිටි අක්කර ගණනක ඉඩම එම ප්‍රදේශයේ සිටින ඉඩම් නොමැති පාරම්පරික සහ සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් බෙදා දීම සඳහා යහ පාලන රජය යටතේ තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් නීත්‍යානුකුලව වෙන් කරවා ගෙන ඒ ඉඩම් සුදුසු අය සොයා ඒ අයට බෙදා දීමේ වගකීම  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුපුන් පුෂ්පකුමාර සහ එම් සාදික් යන මහත්වරුන්ට පැවරූ අතර තමා ඒ වැඩ කටයුතු සඳහා කිසිදු මැදිහත්වීමක් නොකළ බව ද ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පෙන්වා දුන්නාය.

එක් අයෙකුට පර්චස් 10 බැගින් ඉඩම් කැබලි 116ක් ලබාදීමට කටයුතු යොදා තිබූ අතර අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අදාළ පුදගලයින්ගෙන් රුපියල් 25,000 බැගින් එකතු කර තිබුණේ ඒ අයට හිමිවීමට තිබෙන ඉඩම් කැබැල්ලේ මැනීම් කටයුතු සඳහා යැයි ද,අදාළ පුද්ගලයාගේ නම,ලිපිනය සහ මැනීම් කටයුතු වෙනුවෙන් ලබා ගත් මුදල ඇතුළු ඒ සියලු ගනුදෙනුවල විස්තර අදාළ ලිපි ගොනුවල සඳහන් වන්නේ යැයි ද,ඒ අනුව මේ ඉඩම් බෙදීමේ ක්‍රියාවලියේ දී කිසිදු දුෂණයක්,වංචාවක් හෝ අක්‍රමිකත්වක් සිදුව නොමැති බව ද ඇය සඳහන් කළාය.

කෙසේ නමුත් යහ පාලන රජය පෙරළී නව රජය බලයට පත්වීමත් සමග මේ ඉඩම් බෙදා දීමේ ක්‍රියාවලිය අතරමඟ ඇණ හිට ඇති අතර මහ මැතිවරණය ද  කැඳවා ඇති මොහොතේ එමගින් දේශපාලන වාසි ලබා ගැනීමට සැලසුම් කළ සිය දේශපාලන විරුද්ධවාදීන් මේ ජනතාව ද උසිගන්වමින් තමාට එරෙහිව දේශපාලන අවලාද නගමින් සහ දේශපාලන මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයෙන් ලැබීමට යන නියත ජයග්‍රහණය හමුවේ වියරු වැටී ඇති නිසා යැයි ද ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.

රජයේ ඉඩම් ලබා දෙන බව කියමින් අන්ත අසරණ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් මුදල් ගැරීමට තරම් දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් බංකොලොත් වූ අරාජිකත්වයට පත් ලැජ්ජාවක් බියක් නොමැති අමානුෂික දේශපාලන නායිකාවක් නොවන බව අවධාරණය කර සිටී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මේ අභූත,අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරන බංකොලොත් දේශපාලකයින්ට ජනතාව උත්තර ලබා දෙනු ඇතැයි ද වැඩි දුරටත් කියා සිටියාය.     
 

Advertiesment