Thursday 25th of April 2024

English Tamil
Advertiesment


දේශපාලනය නොකර එකට එක්වනු-එක්සත් ජාතීන් අවධාරණය කරයි


2020-04-02 7594

 ලෝක ආර්ථිකය පුපුරා යයි  

 

ලෝක ආර්ථිකය ගොඩනැගීමට නව මුල්‍ය ක්‍රමවේද අවශ්‍යයි

 

අභියෝගය ජය ගත හැක්කේ මෙහෙමයි

 

 

දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවීය.ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන දරුණුතම ගෝලීය අර්බුදය යැයි කී එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා වයිරසය හේතුවෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කර ඇතැයි ද කීය. 
 
ඒ තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථික පසුබැස්මක් සිදුවනු ඇතැයි අනතුරු ඇඟවූ හෙතෙම මීට පෙර සිදු වූ පසුබැසීම් කිසිවකට එය සමාන කළ නොහැකි යැයි ද පෙන්වා දුන්නේය. කොරෝනා වයිරසය ලොව සිටින සෑම සියලු දෙනකුටම තර්ජනයක් යැයි පෙන්වාදුන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වයිරසය හේතුවෙන් ලොවපුරා ඇති ගැටුම් උත්සන්න වනු ඇතැයි ද කීවේය.
 
‘‘කොරෝනා වයිරසයෙන් ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් අස්ථාවරත්වයක් මෙන්ම කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ තත්ත්වය මුල් කරගනිමින් ලොව පුරා ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දැනට තිබෙන ගැටුම් උග්‍ර අතට හැරෙන්නත් පුළුවන්. එය තමයි අපි මුහුණ දෙන විශාලතම අභියෝගය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අපි මුහුණ දෙන විශාලතම අභියෝගය මෙය’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරන ලද්දේ 1945 වසරේදීය. ඒ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය. තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වැළැක්වීමත් ලෝක සාමය පවත්වාගෙන යෑමත් එහි ප්‍රධාන අරමුණු විය. ලොව රටවල් 193ක් මේ වනවිට එහි සාමාජිකත්වය ගෙන ඇත.
 
‘‘ශක්තිමත් සහ වඩාත් පලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැක්කේ සහයෝගීත්වයෙන් පමණයි. අපි දේශපාලන බෙදීම් සහ දේශපාලන සෙල්ලම් අමතක කර එක්ව සටන් කළ යුතුයි. මානව වර්ගයා අවදානමකට පත්ව ඇති බව අපි තේරුම් ගන්න ඕනෑ’’ යැයි ද හෙතම කීය. "සංවර්ධනය වෙමින් පවතින රටවලට ගෝලීය පැකේජයක් සකස් කළ යුතුයි. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමත් ඉන් සිදුව ඇති ඛේදජනක ප්‍රතිවිපාකවලට පිළිතුරු සෙවීමත් එහි ප්‍රධාන අරමුණු විය යුතුයි. එහෙත් එවන්නක් අද හෙට සකස් කරන්න බැහැ’’ යැයි ඔහු කීවේය.

අවිධිමත් ආර්ථිකයේ සිටින බොහෝ පිරිසක් විශේෂයෙන් ම දෛනික රැකියාව නිරත වී සිටින පිරිස් දැඩි අවදානමක සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනතුරු ඇඟවීය.කුඩා ව්‍යාපර කඩා වැටී ඇති බවත් ලොව පුරා විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.‘‘අපි සෙමෙන් සෙමෙන් නිවැරැදි මාර්ගයට පිවිසෙමින් ඉන්නවා. එහෙත් අපි ඉක්මන් කරන්න ඕනෑ. මේ වයිරසය පරාජය කරන්න ඕනෑ නම් අපි තවත් බොහෝ දේ කරන්න ඕනෑ’’ යැයි ද හෙතෙම කීය

දුප්පත් සහ ගැටුම් පවතින රටවල ආධාර කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේදී ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා නව අරමුදලක් ස්ථාපිත කළේය.
 
සාම්ප්‍රදායික සහ පොහොසත් රටවලින් ආධාර ලැබෙන බවත් මේ අවස්ථාවේදී එය ප්‍රමාණවත් නොවන බවත් කී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒ සඳහා ‘‘නව්‍ය මූල්‍ය ක්‍රමවේද’’ අවශ්‍ය බවත් කීවේය. ඒ තුළින් මේ අර්බුදයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට උදවු උපකාර කළ හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීවේය.

 

 

Advertiesment