Wednesday 23rd of September 2020

English Tamil
Advertiesment


සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ


2020-04-01 1762

(මහාචාර්ය රොහාන් සමරජීව)

අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය  බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි සිසුන් මුදාගැනීමේ එක ම ක්‍රමය එය වන නිසා මහජන මුදල් ගිලදමන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අවශ්‍ය බව යි. ඉතා ම දැනුම්  තේරුම් ඇති උදවිය පවා හැම ප්‍රශ්නයට විසඳුම ඍජු රාජ්‍ය  මැදිහත්වීම සහ රාජ්‍ය අයිතිය ඇති සමාගම් යැයි පිළිගැනීමට පෙළඹෙති.

ඇඳිරි නීති අවස්ථාවේ ආහාර සැපයුමේ ඒකාධිකාරය සතොස හා ලක් සතොස ආයතනවලට ලබාදීම හේතු ගණනාවක් නිසා වැරදි ය. පළමුවැනි කරුණ නම් කොතරම් කැපවීමෙන් හා කාර්යක්ෂම ලෙස ක්‍රියා කළ ද, දශ ලක්ෂ 5.4ක් කුටුම්භවලට සැපයුම් ලබාදීමට ඔවුන්ට හැකියාවක් නොවීම යි. සාමාන්‍ය තත්ත්වයේ දී සැපයුම්කරුවන් රාශියක් විසින් භාණ්ඩ සැපයු වෙළෙඳපොළට සැපයීම් කිරීමට මුළු වෙළෙඳපොළෙන් කුඩා කොටසක් පමණක් හිමිව සිටි සැපයුම්කරුවකුට හදිසි නීතිය තිබු පමණින් හැකියාව ලැබෙතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එයට අවශ්‍ය සැපයුම් දාමය හෝ ධාරිතාව ක්ෂණයකින් සකසා ගැනීමට සතොසට හැකිවන්නේ නැත.

දෙවැනි කරුණ වන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකාරීන්  විසින් තීරණය කරනු ලබන සම්මත බඩු මල්ල ලෙස වුවද, භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව අත මුදල් තිබිය යුතු වීම යි. පෞද්ගලික සිල්ලර වෙළෙඳුන්ට තම ව්‍යාපාර වසා තැබීමට සිදු වුවහොත් ඔවුනට සේවය කරන සේවකයන්ට මෙන් ම ඔවුන්ට සැපයුම් කරන ආයතනවල සේවකයන්ට ද රැකියා අහිමි වන අතර ඒ නිසා ම ඔවුන් අත මුදල් නැති වෙයි. දශ ලක්ෂ 5.4ක් වූ කුටුම්භ වෙත තම සම්මත බඩු මල්ල සැපයීමට යම් හෙයකින් සතොස සමත් වුව ද , එය මිල දී ගැනීමට ගැනුම්කරුවන් අත මුදල් නොමැති වුවහොත් සියල්ල නිෂ්ඵල බවට පත්වෙයි. කෙනකු අතේ මුදල් නැත්නම් ඔහුට හෝ ඇයට පරිභෝජනය කළ නොහැකි වෙයි.

තෙවැනි කරුණ නම් ආණ්ඩුව තීරණය කරන දේ පරිභෝජනයට මහජනයා පොළඹවා  ගත හැකිය යන අදහස ම වැරදි එකක් වීම යි. 1970-77 කාලයේ දී බොහෝ දේ සිදුවුයේ ඒ ආකාරයෙනි. නමුත් මේ අද කාලය යි. ඒ අඳුරු අතීතය අභිබවා අප ඉදිරියට ගොස් ඇතැයි බලාපොරොත්තු විය යුතු ය.

සතොස වලිප්පුවට පහසු විකල්පයක් වන්නේ යම්  අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වීමට විශාල සුපිරි වෙළෙඳ ජාලවලට ඉඩ ලබාදීම යි. සැපයුම් ජාලය පවත්වාගෙන යාමේ සහ විද්‍යුත් වෙළෙඳාමේද හැකියාව (කීල්ස් වෙබ් අඩ්විය බිඳවැටී තිබුණ ද)  ඔවුන් සතු ය. ඇඳිරි නීතිය ට පෙර සහ අතරතුර  පාරිභෝගික ඉල්ලුම උච්චවු  අවස්ථාවල ඔවුහු විශාල සේවයක් කළහ. හුරු පුරුදු වෙළෙඳ ආයතනවලින් මිල දී ගැනීමට ඉඩ දුන් විට විවේචනය කරන පන්ති ද නිහඬ වනු ඇත. එම ආයතන ඇත්තේ කිහිපයක් නිසා, ඇඳිරි නීති අවස්ථාවේ අනවසර ගමන් පාලනය අතින් හෝ මේවා නියාමනය කරගැනීම පහසු ය. 1989 දී ජවිපෙ එය රට පුරාම කළේ ය. 90,000 ක පොලිස් බලකායකට අද එය කළ නොහැක්කේ ඇයි ..?

හොඳම තත්ත්වය නම් ආණ්ඩුව පහසු විකල්පවලට සීමා නොවීම යි. කුඩා මට්ටමේ සිල්ලර වෙළෙඳුන් කෙසේ හෝ පවත්වා ගෙන යා යුතු ය. පාරිභෝගිකයාට කිට්ටු ඔවුහු විශාල සේවයක් කරති. සෑම කුඩා කඩයක් ම ජීවනෝපාය රාශියකට ආධාර වෙයි. එසේ වුව ද ඒවා නියාමනය කිරීම අපහසුය. දන්න අඳුනන ළඟ පාත ගැනුම්කරුවන්ට ඇඳිරි නීතිය තිබියදීත් බඩු විකිණීමට ඔවුන් පෙළඹෙනු ඇත.


නියාමනයක් කුමටද?


එකිනෙකා අතර පවත්වා ගත යුතු දුරස්ථ භාවය තබාගන්නේ නැති ව පහසුවෙන් ජනයා එහා මෙහා යන තත්ත්වයක් ඇති වුවහොත්, රටට හා ජනතාවට විශාල ආර්ථික හානියක් ඇතිකරන ඇඳිරි නීතිය පවත්වාගෙන යාම අර්ථ ශුන්‍යවෙයි. පහුගිය දවස් වල සමහරු බෙහෙත් වට්ටෝරු පෙන්වා නෑ මිතුරන් ආශ්‍රය කරන්නට ආ ගිය බව පෙනෙන්නට තිබිණි. රජයේ ඔසුසල් හැර සියලු ම ඖෂධ අලෙවිසල් වසාදැමීම තරම් දරුණු තීරණයකින් තොරව මෙය පාලනය කළ හැකිව තිබිණි. කරුණු සොයා බලා නිකුත් කරන හදිසි නීති බලපත්‍ර මෙයට සරල විසඳුමක් නොවන්නේද? නමුත් අසාධාරණ ලෙස මේවා නිකුත්කිරීමට විරුද්ධ ආරක්ෂාවක් ලෙස දුන්නේ කාටද කිනම් හේතුවකට යන්න අන්තර්ජාලයේ පල කල යුතුය.

නියාමනයට තවත් හේතුවක් විය හැක්කේ මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ටින් මාළු සහ පරිප්පු සඳහා නියම කළ යථාර්ථවාදී නොවන මිල ගණන් වල ස්වභාවික ප්‍රතිඵලය වන්නේ සලාක ක්‍රම, සැපයුම අඩුවීම හෝ නැතිවීම සහ කළු කඩ ඇතිවීමයි. සලාක පවත්වා ගැනීම සහ පාඩුවට විකිණීම යන දෙක ම රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතනවලට පහසුවෙන් කළ හැකි ය. රජයට අයත් ආයතන පවත්වාගැනීමට හේතුව එය ම බව කෙනෙකුට කිව හැකි ය. තම වියදම පියවා නොගත්තොත් බංකොලොත් වන පෞද්ගලික ආයතනවලට මෙන් නොව එපා කියන තෙක්  පාඩු පිට විකිණීමට රජයට අයත් සිල්ලර වෙළෙඳසල්වලට හැකියාව ඇත. ඔවුන්ගේ පාඩු භාණ්ඩාගාරය, එනම් අප, විසින් දරනු ඇත.

රාජ්‍ය අයිතියට කළ නොහැකි එක දෙයක් නම් කළු කඩ නැතිකිරීමයි. 1970-77 කාලයේ පෙන්නුම් කළ පරිදි , දුර්ලභ භාණ්ඩ සඟවාගැනීමත් ඒවා වැඩිමිලට විකිණීම හෝ බලවතුන්ට අනුග්‍රහ ලෙස ලබාදීමත් සිදුවිය හැකි ය (සතොසේ සේවය කල මර්වින් සිල්වා දේශපාලනයට ප්‍රවේශවුනේ මේ ක්‍රමයෙන් බව තතු දන්නෝ කියති). පරිප්පු සහ ටින් මාළු කළුකඩ ජාවාරම දැනටමත් ආරම්භ වී තිබිය හැකි ය.

තරඟකාරී වෙළෙඳපොලක දී මිල පාලනය අවශ්‍ය නැත. ඇඳිරි නීතිය තුළ ලබාදෙන කාල සීමාවල දී හෝ බඩු බෙදාහැරීමේ දී සැපයුම්කරුවන් වැඩි ප්‍රමාණයකට ඉඩ ලබාදෙමින් ක්‍රියාත්මක කළ හැකි අසම්පූර්ණ හෝ තරඟකාරීත්වයක් පවත්වාගෙන යා හැකි ය.


රාජ්‍ය අයිතිය යෝජනා කිරීමේ ඇත්ත හේතුව

ආණ්ඩුවේ දැන් සිටින ප්‍රධාන තීරණ ගන්නා උදවිය අතරින් වැඩි දෙනෙකු හැදුණු වැඩුණු කාලය වන්නේ 1960 සහ1970 ගණන් ය. අඛණ්ඩව අළුත් දේ ඉගෙනීම පුරුද්දක් කර නොගත් උදවිය ඇද වැටෙන්නේ තමන් හැදුණු වැඩුණු  කාලයේ උකහාගත් අදහස් වෙතට යි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස්ට වඩා හොඳින් මේ ව්‍යාධිය මට විස්තර කල නොහැක.

“ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් , එවා  නිවැරදි වන විට හා ඒවා වැරදි වන විට  යන අවස්ථා දෙකේ දීම, අප පොදුවේ තේරුම් ගන්නවාට වඩා බොහෝ බලවත් ය. සත්‍ය වශයෙන්ම ලෝකය පාලනය කරන වෙනත් දේ නැති තරම්ය. කිසිදු බුද්ධිමය බලපෑමකට තමන් හසු වී නැතැයි විශ්වාසකරන ප්‍රයෝගික මිනිස්සු, සාමාන්‍යයෙන්  කිසියම් අක්‍රිය ආර්ථික විද්‍යාඥයකුගේ වහල්ලු වෙති. සුළගේ එන හඬවලට සවන් දෙන, බලයේ සිටින පිස්සු මිනිසුන් තම උමතුව පෙරාගන්නේ වසර ගණනකට පෙර ලියැවුණු ඇතැම් ශාස්ත්‍රීය ලියැවිලිවලිනි. අදහස්වල බලපෑම ව්‍යප්තවීම හා සසඳන විට පාර්ශවකරුවන්ගේ බලය විශාල ලෙස අතිශයෝක්තියට නඟා ඇති බව මගේ විශ්වාසයයි.

වයස අවුරුදු විසිපහ හෝ තිහ ඉක්මවූ පසු නව න්‍යායන්ගේ බලපෑමට ලක් වූ වැඩි පිරිසක් නැත. එබැවින් වත්මන් සිදුවීම් සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් මෙන් ම උද්ඝෝෂකයින් පවා යොදාගන්නා අදහස් අලුත් ඒවා නොවේ. ඉක්මනින් හෝ කල් පසු වී, හොඳට හෝ නරකට බල පාන්නේ අදහස් ය.”


පසුව ලියමි


ආණ්ඩුවේ බලධාරීන්ගේ රාජ්‍ය කේන්ද්‍රීය සැලසුම් අසාර්ථක වන බව පෙනී පෙනී බකන් නිලා නොසිට  තම දිවි පෙවෙත රැකගැනීමටත්,  එමගින් ජනතාවගේ සාගින්න නිවීමටත්, සුළු ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. මධ්‍යම ආණ්ඩුවේ සහ වැඩ බලන පොලිස්පතිගේ නියෝග පසෙකින් තබා තමන්ගේ ප්‍රදේශ වල කඩ ඇරීමටත් බට්ටෝ වීල් යනාදිය මගින් වෙළෙඳාම කරන්නටත් ජනතාවට සමීප නිලධාරීහු ඉඩ දුන්හ. දඹුල්ලේ එළවලු අලෙවි කරගන්නට බැරි වීමෙන් විදහා දැක්වෙන සැපයුම් දාම වල ගැඹුරු ප්‍රශ්න ඉක්මණින් නොවිසඳුව හොත් මෙම තාවකාලික පැලැස්තර ගැලවෙන්නට ඉඩ ඇත. එසේ නොවේවා යයි අපි පතමු.

 

Advertiesment