Sunday 12th of July 2020

English Tamil
Advertiesment


කොරෝනා වසංගතය හමුවේ ආණ්ඩුවේ හැසිරීම රටට මාරාන්තිකය


2020-03-31 1757

මහින්ද දේශප්‍රියට ආතතිය ද..?

 

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

පසුගිය ආණ්ඩුවට එරෙහි පැවති විවේචන බොහෝ ය. එහෙත් රාජ්‍ය සේවා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම් සිදු කළේ යහ පාලන රජය විසිනි. එසේම විශ‍්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවීමක්ද සහතික කර තිබිණ. නව රජය බලයට පත්ව සිව් මසත් ඉක්ම ගොස්ය. අලූත් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ යහ පැවැත්ම පිණීස ගත් එකී තීරණ දෙකම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අත් හිටුවා ඇත. ඔහු රට බාරගත් දවසේ සිට කල්පනා කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමටය. ඒ තමන්ට රිසි ලෙස වැඩ කිරිමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමටය. ඒ අරමුණෙන් ඇති කළ මැතිවරණ ව්‍යෘපෘති බොහෝය. රැකියා ලක්‍ෂයේ වැඩ සටහන මෙන්ම රාජ්‍ය සේවයට උපාධිධාරින් බඳවා ගැනීමේ වැඩ සටහනද රටට රහසක් වුණේ නැත. ඔවුන් අණබෙර ගසා ආරම්භ කළ වැඬේ අවසන් නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. සියලු  ව්‍යාපෘති එක් රැයින් කණපිට හැරිණ. හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවීමට සිදුවිය. බැසිල් රාජපක්‍ෂ පුහුණුවේ මුවාවෙන් සැලසුම් කළ පොකට් ඡන්ද රැස්වීම් සිය ගණනක් නතර විය. ඒ මැතිවරණ කොමිසමේ  විරෝධය නිසාය. ඒ අවස්ථාවේ පාලකයන් කොමිසමට සැරෙන් කතා කළේය. එහිදී මැතිවරණ කොමිසම ඇසුවේ ඔය පත්වීම් ටික දීලා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නැත්තේ ඇයි කියාය. 

රජයට මොකක්දෝ වැරදිණ. බොහෝ දේශපාලන විචාරකයන් කල්පනා කළේ පාලකයන්ට මොලයක් නැත කියාය. ඒ සමග බැසිල්ගේ ක‍්‍රමය ගැන දන්නා අයට මෙය තේරුම් ගත නොහැකි තත්වයක් විය. හේතුව බැසිල් යනු අසමාන සැලසුම් කරුවෙකු මිස තකතිරුවෙකු නොවන නිසාය. සත්‍ය ලෙසම කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම මහා පරිමාන කුමන්ත‍්‍රණයකි. ඔවුන්ට අවශ්‍ය වුණේ කොරෝ්නා පැතිරිමට පෙර මහ මැතිවරණය පවත්වා කසය අතට ගැනීමටය. මරණ භයෙන් තැතිගත් අප මේ ගෙවන්නේ ඒ පාපයයි.

මාර්තු 18 දින තෙක්ම බැසිල් සැර්ථක විය. රැකියා දීම කුණු ගොඩට දමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොරෝනා වසංගතය හරහා රට ක‍්‍රමයෙන් අකර්මන්‍ය වන බව තේරුම් ගත් නිසාය. ඊට අනුකූලව ඔවුන් සිය මැතිවරණ සිතියම අළුත් කළේය. හෙවත් තුනෙන් දෙකේ බහුතරය ඩැහැ ගැනීමට සියලු  උපක‍්‍රම සැලසුම් කළේය. එහි පසුබිම් කතාව මෙසේ ය.

චීනය හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා තත්වයක් 2019 දෙසැම්බර් මාසයේ වසන්ගතයක් බවට නිල වශයෙන් චීන බලධාරින් හඳුනා ගත්හ. ඕස්ටේ‍්‍රලියාව දෙසැම්බරයේම පූර්ව සූදානම් සකස් කළාය. එය වසංගතයක් බව 2020 ජනවාරි 07 වන දින තත්වය තහවුරු කෙරිණ. ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 ජනවාරි 30 දින මෙම රෝග ව්‍යාප්තිය හදිසි තත්වයක් බව ප‍්‍රකාශ කළේය. ගෞරවයෙන් ප‍්‍රකාශ කළ යුත්තේ ශී‍්‍ර ලංකා රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට දින 3ක් කලින් මේ වසංගතයට එරෙහිව පළමු පියවර තැබීය. ඒ අපේ සෞඛ්‍ය බලධාරිහූ ජනවාරි 27 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිරෝධායන ඒකකය සකි‍්‍රය කිරීමෙනි.

ඒ සමග 22 දෙදෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර කි‍්‍රයාකාරි කමිටුවක් පත් කළහ. ජනවාරි 27 දා ජාතික පළමු කොරෝනා රෝගි කාන්තාව හමුවිය. ඇය පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා රටින් පිටව යන්නීය. පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිට ගෙන්වා ගත් ශී‍්‍ර ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු දියතලාවේ නිරෝධානයක කඳවුරේ ස්ථානගත කළහ. මාර්තු 10 වෙනි දින පළමු ශීීීීීීීීී‍්‍ර ලාංකික රෝගියා හමුවේ. අද වන විට දිනපතා මරණ මෙන්ම රෝගින්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. ආසාදන තත්වයෙන් මිදී නිරෝගීව සිය රට බලා ගිය චීන කාන්තාව උපුටා ගෝඨාභය රාජපක්‍ෂ පාලනය සංචාරය සඳහා බෙහෙවින් ආරක්‍ෂිතම රට ශී‍්‍ර ලංකාව ලෝකයට නිල වශයෙන් ප‍්‍රචාරය කළහ. එය වෙළඳ ප‍්‍රවර්ධනයකි.

ඒ අනුව පැමිණි කිසිදු සංචාරකයෙකු පරීක්‍ෂා කළේ නැත. මේ තත්වය තුළ රට තුළ සැරිසරමින් සිටි කොරෝනා ආසාධිතයන් වාර්තා විම ආරම්භ විය. ඒ වරද ඉතාලියේ ජීවත්වන ලාංකිකයන් පිට පැවරීමෙන් ආණ්ඩුව යම් තරමකට ඇග බේරා ගත්හ. සත්‍ය ලෙසම චීනයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් ගෙන්වා ගත් සැනින් ලෝකය පුරා විසිරි සිටින ලාංකික ශ‍්‍රමිකයන් මෙහි ගෙන්වා ගැනීමට ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුව තිබිණ. එහෙත් එය එසේ සිදු වුණේ නැත. මාර්තු 13 වෙනි දින සිට ශ්‍රී  ලංකාව දැඩි පියවර ගත යුතු බවට විවිධ පාර්ශව ආණ්ඩුවට බල කළහ. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊට දැක්වූ ප‍්‍රතිචාරය කුමක්ද..?

යුද්ධය නිසා සෙබලූන් 5000ක් මිය ගොස් 10000ක් ආබාධිත වූ තත්වයක හෝ ආරක්‍ෂක ලේකම් ලෙස තමන් රට ලොක් අවුට් නො කළ, බවය. ඒ තත්වය තුළ තමන් කොරෝනා රෝගින් 28 දෙනෙකු හමුවීම ගැන නො සැලෙන බවය. එකී ආඩම්බර දේශපාලන ප‍්‍රකාශය ගැන රටේ මිනිසුන්ට අඬනවා මිස සිනාසිමට අවකාශයක් නො තිබිණ. හේතුව අවදානමේ බරපතලකම තේරුම් ගෙන සිටි නිසාය.

එහෙත් එතෙක් රජය සමග එක්ව කි‍්‍රයා කළ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ජනාධිපති වරයාට ප‍්‍රසිද්ධියේම අභියෝග කළහ. වසංගතයක සහ යුද්ධයක අතර වෙනස සිහිපත් කළ වෛද්‍ය නිලධාරි සංගමය සත්තකින්ම වසංගත කි‍්‍රයාවලිය සියතට ගත්තා යයී කීවොත් එය අසත්‍යයක් නොවේ. සුව සැරිය ගිලන් රථ සේවය ප‍්‍රතික්‍ෂේප කළ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මේ අවස්ථාවේදී මෙසේ හැසිරුණේ ඇයි? කොරොනා වසංගතය යනු ඡන්දයක් දිනීමට පාවිච්චි කළ හැකි දොස්තර සාපි වර්ගයේ බොරුවක් නොවන හෙයිනි. ඔවුන් වසංගතය පැතිරුණොත් මරණයෙන් මෙපිට වෙනත් කිසිදු සහන පැකේජයක් නො ලැබෙන වග වෘතිය වශයෙන් හොඳාකාරව දැන සිටියහ. කෙසේ වෙතත්, ආණ්ඩුව නාම යෝජනා භාර ගැනිම අවසන් වන තෙක් කිසිදු විකල්පයකට යාමට අකමැති විය. අගමැති මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂය ඉල්ලා සිටි සාකච්ඡාව  ගැන කීවේ කුමක්ද? නාම යෝජනා අවසන් වන තෙක් කිසිදු සාකච්ඡාවකට  සූදානම් නැති බවය.

කොරෝනා බෝ නොකරගෙන ඡන්ද කළ හැකි බව ඩලස් කීය. අදටත් ඔහු ඒ තකතීරු මතයෙහි සිට හැසිරෙමින් සිටී. පොහොට්ටුව දිනන නිසා ඡන්ද කල් නොදැමිය යුතු බව සෞඛ්‍ය ඇමතිනී  කීවාය. සුසිල් පේ‍්‍රම ජයන්ත කීවේ ඡන්ද කල් දැමීමට හේතුවක් නැත කියාය.විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ පවත්නා අවදානම නොතකා පැමිණීම ගැන ස්තුති කළාය. කොරෝනාවට වඩා ඡන්දය ආණ්ඩුවට වැදගත් බවට තවත් සාක්‍ෂි නැත. හොරොව්පොතානේ කිවුලේකඩ පැවති යාඥාවකට සහභාගි වූ අසූ ගණනකින් පොලිසියට හසුවුණේ 11 දෙනෙකි. ඒ අතර සිටි පල්ලියේ පූජකයාට සහ පල්ලියේ සමිති සභාපතිට අවවාද කර යවා ඉතිරි 09 දෙනාට නඩු පවරණ බව ප‍්‍රචාරය විය. එහි නොකියන කොටස දේශපාලන උනන්දුවකි. නිදහස් කළ දෙදෙනා ලවා පොහොට්ටුවේ පණිවිඩය ගමට ගෙන යාම ඒ කරුණාවේ යටි අරමුණ වේ.

සුවපත් වූ චීන කාන්තාවගේ පුවත පාදක කොට දිලිත් ජයවිර, විරාජ් වීරරත්න සංචාරයට බෙහෙවින් සුරක්‍ෂිත රට ශී‍්‍ර ලංකාව බව දැක්වෙන විඩියෝ පටයක් නිකුත් කිරීමට පෙර, වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ඇසුවා නම්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ඇසුවා නම් ඒ වැඬේ කරන්න ඉඩ දෙන්නේ නැත. පළවෙනි දේශීය කොරෝනා රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වීමෙන් අර සංචාරක වීඩියෝ පටය කළ විනාසයේ ප‍්‍රමාණය තේ්රුම් ගත හැකිය. බැසිල්ට ගෝඨාභයට අවශ්‍ය වුණේ රටට හෙන ගැසුවත් ඡුන්දය පවත්වා පොහොට්ටුව දිනවීමය. විරාජ් වීරරත්නලා දිලිත් ජයවීරලා කරන්නේ රාජපක්‍ෂලාට කඬේ යාමය. මෙහිදී දිලිත් ජයවිරගේ නම පැටලෙන්නේ ඇයි? ඩලස් අලහප්පෙරුම කාන්චන විජේසේකර සහ පාටලී චම්පික රණවක තිදෙනාම පවත්නා බරපතල තත්වය හෝ රටේ නීතිය නොතකා සවකීය මැතිවරණ ප‍්‍රවර්ධනය කළහ. දිලිත් ජයවීරගේ දෙරණ වාර්තා කළේ පාටලී චම්පික රණවක සිද්ධිය පමණකි.

මේවාට කඬේ යනවා කීමත් අපරාධයකි. බජාර් භාෂාවෙන් නම් මේවා පක්කලිකම් ය. මේ පක්කලිකම් කරමින් සිටින්නේ රටට සිදුවන විනාසය නොදැන නොවේ. දිලිත් ජයවීර මේ කතාව වාර්තා කරවන ලද්දේ පවත්නා තත්වය පිළිබඳව දැන සිටි එකම සිද්ධිය පාඨලී චම්පිකගේ කඩප්පුලි හැසිරිම නම් ඔහුව අත් අඩංගුවට ගන්නා තෙක් ඒ පුවත ඇදගෙන යා යුතුවේ. මෙය අභියෝගයකි. මෙය දකින චතුර හෝ දිල්කා සමන්මලී එයා කවුද මාධ්‍යයට උපදෙස් දෙන්න කියා අසන්නට පුළුවනි. එය සතයකි. මාධ්‍යට නීති රෙගුලාසි පැනවිමට වෙනත් කිසිවෙකුට අයිතියක් නැති බව පිළිගත් සත්‍යකි. එහෙත් ප‍්‍රසිද්ධ ස්ථානයක කාගේවත් හැට්ටයක් අස්සට අත දමා සිටිනවා නම් ඒක නතර කිරිමේ අයිතිය මාධ්‍ය සතු ස්වාධීනත්ත්වයේ කඩතුරාවෙන් වැසිය නොහැකි බව රටම දනී. එසේම වැලිකන්ද නිරෝධායන කඳවුරෙන් මුදා හරින පුරවැසියන් කරන ප‍්‍රකාශ කෙළෙහි ගුණ දැක්වීම් වෙති. ඒ ප‍්‍රකාශ හරහා යුද හමුදාව මිස ඒ කඳවුරේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සේවය කරලාම නැත.

සියල්ල කර ඇත්තේ හමුදා සාමාජිකයන්ය. එය නරක නැත. ඒ පුවත් දකින ඉහ මොල ඇති පුරවැසියන්ට ඇතිවන අදහස මේ තකතිරු මාධ්‍ය තේරුම් ගෙන නැත. තේ කෝපි දුන්නාට ඒ පිරිස් නිරෝගී බවට සහතික කිරිමට හමුදාවට ඇති හැකියාව කුමක්ද? සත්තකින්ම ඒ නිදහස් කරන අය අතුරෙන් කිසිවෙකුට හෝ වෛරසය  ඇතුල් ව තිබී සොයාගත නොහැකි වුණා නම්..... (එසේ නොවේවා) විධීමත් නිරෝධායන කි‍්‍රයාවලිය ගැන මිනිසුන් විශ්වාස නොකරනු ඇත. මාධ්‍ය භාවිතය බෙහෙවින් වගකීමෙන් කළ යුතුව ඇත. එය ලෝකයේ මුල්ම රස්සාව මෙන් ඇහැ පියාගෙන කියන දේට අනුකූල විමක් නොවේ. අපට යුද අපරාධ චෝදනා නැගුණේ සටන් පෙරමුණේ දර්ශන සහිත විඩියෝ පට නිසාය. සුපි‍්‍රයා ඇතුලූ කොටි කි‍්‍රයාකාරින් නිරුවත් කළ දර්ශන ගියේ එහෙමය. ඒවා මුදලට වික්කේ අද යුද විරුවන් ලෙස කර තබාගෙන යන ප‍්‍රසිද්ධියට කෑදර මුග්ධයන්ගේ හිතමිත‍්‍ර මාධ්‍ය කරුවන් විසිනි.

මේ දිනවල රටේ සෞඛ්‍ය තත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් සහතිකයක් කුප‍්‍රකට තක්කඩියෙකු මුහුණු පොතට මුදා හැර තිබේ. ඒ වාර්තාව 2018 වසරේ ඬේලි නිවුස් පුවත් පතේ පළවූ පුවතකි. මේ මෝඩ චූන් හරහා රට රැවටීම හානියකි. තත්වය බෙහෙවින් බරපතලය. මෙසේ බොරු කියා රට රැවටීම හානියකි. එය හරියට පාස්තු ප‍්‍රහාරයට මුවා වී මුස්ලිම් වෛරය වපුුරා බලයට පත්ව සයින්ද මරුන්දු ප‍්‍රදේශයට නගර සභාවත් දීමට සිදු වුණා වැනි තත්වයකි. බෝම්බ ප‍්‍රහාරයකදී සිදුවූ ජීවිත විනාශය ටිකෙන් ටික හෙළි කිරීීම සාධනීය උපක‍්‍රමයකි. ඒ හරහා ජනතා කෝපය තුනී කළ හැකිය. 83 ජූලි කලබලය ඇති කළ බෙලූන් 13 දෙනාගේ මරණ එකවර ප‍්‍රකාශ නො කළා නම් රටේ ඉතිහාසයද වෙනස් වීමට ඉඩ තිබිණ. මේ ව්‍යසන අවස්ථාව අවදානම ඒ හැටියෙන්ම රටට කීමෙන් රටම ආරක්‍ෂා කළ හැකිය.

අටුලූගම සිද්ධිය ගැන අරක්‍ෂක ලේකම් මෙසේ කියයි. ‘‘මේ පුද්ගලයා ගම පුරා සංචරය කර ඇත.ඒ ගමේ පුද්ගලයන් 175ක් පමණ සිටිනවා. ආසාදනය වුණේ තාත්තාට සහ පුතාට. අදාල කෙනා රට සිට පැමිණ ඇත්තේ මාර්තු 13 වෙනිදාය.’’ නිරෝධායන කි‍්‍රයාවලිය ගැන රජය කරන තහවුරුවට සමපාතව මේ පුද්ගලයා මෙසේ හැසිරීමට ඉඩ ලැබුණේ කෙසේද? මෙවැන්නෙකු මෙසේ ආසාදිතව ගමේදීිම මිය ගියා නම්, භූමදානයද අනාරක්‍ෂිතව සිදු වේ. අකුරණ පුද්ගලයා ගැනද මේ ප‍්‍රශ්නයම නැගිය හැකිය. දිවයිනට පැමිණෙන කෙනෙකු ගමට ගොස් පැය 12ක් තුළ සෞඛ්‍ය බලධාරින් හමුවීමට නියම කර ඒ බව පසු විපරම් කළා නම් පැය 24ක් තුළ අවදානම පාලනය තර කළ හැක වේ. ඒ කාර්ය සිදු කිරමට අදටත් ආණ්ඩුව අසමත් ය. මෙසේ නිදැල්ලේ හැසිරෙන රෝග වාහකයන්ට වාර්තා කිරිමට දින සති ගණන් දීමට තීන්දු ගන්නා එවුන් ගල් බැඳ මුහුදට විසි කළ යුතු නොවේද?

මේ අවදානම මෙසේ පාලනය නොවුණේ ඇයි? ජාතික ආරක්‍ෂාව එකම උද්යෝගි පාඨය කර රටේ බගයට පත් ගෝඨාභය රාජපක්‍ෂ පාලනය මෙසේ දියවි යන්නේ ඇයි? එය ආරක්‍ෂක ලේකම් මේජර් කමල් ගුණරත්නගේ බැරිකම නොවේ. ඉරාජ්ලා ඩලස්ලා දිලිත්ලා චතුරලා දිල්කාලා කලිසම් ඔලුවේ දමාගෙන රාජපක්‍ෂලාට කඬේ යන නිසාය. ආරක්‍ෂක ලේකම් මේජර් කමල් ගුණරත්න යනු හමුදා නිලධාරියෙකි. මහජන ආරක්‍ෂාව පිණීස අවශ්‍ය පියවරගත යුතු බව දන්නා කෙනෙකි.

ඇඳිරි නීතිය අතර, යාඥාවකට සහභාගි වූ හොරොව්පොතාන කිවුලේකඩ 80 දෙනාගෙන් අසුවුණේ 11 දෙනෙකි. එයින් දෙදෙනෙකු නිදහස් කර ඉතිරි අයට නඩු පවරන බව ප‍්‍රචාරය විය. නිදහස් කළ දෙදෙනා පූජකයා සහ පල්ලි සමිතියේ සභාපතිය. මේ තේරීම කර යැවීමට උපදෙස් දුන්නේ කවුද? අකුරණ සහ අටුලූගම පුද්ගලයන් දෙදෙනා ගුවන් තෙටේ සිට නිදහසේ නිවෙසේ වලට පැමිණ නිදැල්ලේ හැසිරෙන අවසරය ලැබුණේ දේශපාලන හයියෙනි. මේ තත්වය යටතේ ජාතික ආරක්‍ෂාව තබා ගෙදර දරු මල්ලන් හෝ සුරක්‍ෂිත නැත. විකල්ප මාධ්‍ය අවහිරව ඇත. කවුරු හෝ මේ ප‍්‍රශ්න මතු කළ යුතුව ඇත. හෙට අනිද්දා දරුවන් බඩ සාදුන් හඬන විට එදිනෙදා කුලී වැඩ කළ ශ‍්‍රමිකයන් මං කොල්ලකෑම් ආරම්භ කරනු ඇත. කොස් ගෙඩියක් කඩා ගැනීමේ වරදට කැති පාරක් කෑවේ එදා වේල සොයා ගන්නා පීඩිතයෙකු බව නිරීක්‍ෂණය කළ යුතුවේ. ලංකාව මෙහෙම වෙන්නේ ඇයි? මේවා ජාතික ආරක්‍ෂාව තහවුරු වූ පාලනයක සිද්ධ විය යුතු හෝ අපේක්‍ෂා කළ යුතු දේ නොවේ. මේවා ඉස්මතු කරන්නන් සකච්ඡා කරන්නන් බිය ගැන්විය හැකිය. අතුරුදන් කළ හැකිය. එහෙත් මේ තත්වය මෝරා ගිය පසුව සැගවීමට තැනක් නො තිබෙනු ඇත.

කොරෝනා වෛරස්  අවදානම ආරම්භය හමුවේ එහි බරපතලකම දැනගත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්්දේ අසුරු සැනෙන් ජය ගැනීමේ අපේක්‍ෂාවෙනි. දැන් තත්වය වෙනස් ය. මුලූ රටේම වගකීම අතට ගත් ගෝඨාභය රාජපක්‍ෂ සිය මානසිකත්වය වහා වෙනස් කර ගත යුතුවේ. ඒ බව ඔහුට රටට ඒත්තු ගැන්විිම හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණකි. ඔහු ඒ පියවර ගැනීමට බියෙන් පසුවේ. ඇයි? මේ අවදානම නොතකා කරන දේශපාලන සූදුව හෙළිවෙන හෙයිනි. බැසිල් රාජපක්‍ෂට පැවරූ වගකීම් ඊට උදාහරණයකි. ඒ පත් කිරිම සත්තකින්ම රාජපක්‍ක්‍ෂ පවුල උදයංග විරතුංග නිශාන්ත වික‍්‍රමසිංහ පත් කළා වැනි තවත් නැහැදිච්චකමකි. මේ මොහොතේ රටේ පවත්වා අවදානම් තත්වය සහ මැතිවරණ උණුසුම අනුව, බැසිල් රාජපක්‍ෂ මැදමුලන කෙනෙකු වීමට වඩා රට දකින්නේ බැසිල් රාජපක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හැටියටය. එය යහපත් නැත. ඒ වගකීම සිවිල් පරිපාලකයෙකුට භාර කළ යුතුවේ.

ඉඳ හිට චණ්ඩි පාට් දාන මැතිවරණ කොමිෂමේ සභාපතිි මහින්ද දේශපි‍්‍රය මේ බව නො දන්නෙහිද? තම වගකීම් අතර කෙලින් සිට ගැනීම ගැන යම් ගෞරවයක් උපයා ගෙන සිටින මහින්ද දේශපි‍්‍රය බැසිල්ගේ පත්වීම ගැන පියවර ගැනීමට කාගේවත් පැමිණිල්ලක් අවශ්‍ය නොවේ. මහින්ද දේශපි‍්‍රය ද අත යටින් කොළේ ඇද සෙල්ලම් කළ අවස්ථා නැතිවා නොවේ. ඡන්ද අපේක්‍ෂකයෙකු පවත්නා තත්වය තුළ සිය ප‍්‍රවර්ධන කි‍්‍රයා කිරිමෙන් ජනතාවට හානියක් වේ නම් ඒ ගැන යම් පියවරක් ගැනීමට මහින්ද දේශපි‍්‍රයට ශක්තිය මෙන්ම නෛතික බලය ද ඇත. එකම වරද කළ ඩලස්, කාංචන, පාඨලී තිදෙනාගෙන් පාඨලී කළ වරද පමණක් උලුප්පා දැක්වීම තුල අදාල මාධ්‍ය ආයතනය කරන්නේ එක් දේශපාලන පක්‍ෂයකට වෙන්ව සැලකීමකි. ඒ වරද බෙහෙවින් බරපතල වේ. අප මහින්ද දේශපි‍්‍රයගෙන් ඇසිය යුත්තේ මොකද ආතතියද කියා පමණකි.

Advertiesment