Thursday 1st of October 2020

English Tamil
Advertiesment


නොක් ඩවුන් කළ පසු ලොක් ඩවුන් කිරීම සහ අපි මගහරින අපේ වගකීම


2020-03-31 1465

 
(අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු) 

කොරෝනා දෙවන බිල්ලද ගෙන තිබේ.තවත් සියගණනක් රෝහල් ගතව සිටීයි. වසංගතයක් යැයි කීවාට තවමත් ඒ බව බහුතරයකට දැනී නැත.එහෙයින් අනාගතය පිළිබඳ පියවි සිහිය ඇති කා තුළ හෝ ඇති වන්නේ බලවත් ව්‍යාකූල තත්ත්වයකි.

මේවන විට කොරෝනා මර්ධනයට රජය ඉතා නිවැරදි ප්‍රවේශයකට එළබ ඇත.නමුත් ජනතාව ඊට දක්වන සහයෝගය අන්තිම කැතය. කෙසේ වෙතත් ආණ්ඩුව මෙකී ප්‍රවේශය ගත යුතුව තිබුණේ මීට සති කීපයකට පෙරය.අවම වශයෙන් ප්‍රථම ශ්‍රී ලාංකික රෝගියා වාර්තාවූ අවස්තාවේය. ඒ අවස්තාවේ රට ලොක් ඩවුන් නොකළාට ගුවන් තොටුපලේ පැමිණීමේ පර්‍යන්තය දෙසතියකට වසා දැම්මා නම් ප්‍රශ්ණය මීට වඩා පහසුවෙන් කළමණාකරනය කරන්නට තිබුනා නොවේද..?

ගුවන් සහ නාවික යාත්‍රා මගීන් පාමිණීම නතර කොට දෙදිනක් රටට ඇඳිරිනීතිය පනවා සංචාරකයන් සහ විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන් පිළිබඳ අවදානය යොමුකොට ඔවුන් නිරෝධායනය කළ යුතුව තිබුණි. 

ඉන් අනතුරුව ගුවන් තොටුපොල විවෘත කළ හැකිව තිබුණි. අනතුරුව පැමිණෙන මගීන්ට දින14 නිරෝධායන පහසුකම් සලසා එම කටයුත්ත ඇරඹිය හැකිව තිබුණි. එහෙත් අප ඒ සියල්ල කළේ පමාවීය.අදට ද නිරෝධායනය නිසි පරිදි සිදුවන්නේද නැත. අකුරණ සහ බණ්ඩාරගම ගිනි තැබූවන් නිරෝධායනය නොවී රටපුරා ඇවිදින්නේ එනිසා නොවේද..?

දැනට සිටින රෝගීන්ගෙන් හරි අඩක් පමණ විදෙස් ගතව සිට පැමිණියෝ වෙති.අන් අය ඔවුන් හා සමීපව් ඇසුරු කළෝ වෙති.නිසි අවස්ථාවේ ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කළේ නම් මේ ලෙස රටම අඩාල වෙන්නේ නැත. ඒ ගැන රජයට නිසි අවස්ථාවේ අනතුරු ඇගවිමට සෞඛ්‍ය බලධාරින්ට වගකීමක් තිබුණි.වෛද්‍ය නිළධාරි සංගමය පවා මේ පිළිබඳ හරියට කතා කළේ පසුගිය 15 වෙනිදායින් පසුවය.ඒ ජනාධිපති ලොක්ඩවුන් කිරීම හාස්‍යට ගැනීමට සමාන්තරවය. ඩෙංගු ගැන ගොඩනැගු සමාජ මතය කොරෝනා ඇති කරන්නට මෙතරම් පමා වූයේ ඇයි.

"කෙසේ හෝ මේ සියලු  පමාවීම් මැඳ අවසානයේ අපි රට ලොක් ඩවුන් කළෙමු. ඒත් කොරෝනා ඊට පෙර අප නොක් ඩවුන් කළේය".

සෞඛ්‍ය ,හමුදා,පොලිසිය,සහ රාජ්‍ය පරිපාලනය දැන් නිවැරදිව කටයුතු මෙහෙයවයි. ඒත් දැන් ලොකුම ප්‍රශ්ණය කොරෝනා නොව මිනිසුන්ගේ හැසිරීමය. වෛරසය පරදවන්න දැමු ඇඳිරි නීතිය ඔවුන් තකන්නේ නැත. ඖෂධ ලබා ගැනීමට යාමට බෙහෙත් වට්ටෝරුව බල පත්‍රයක් කළ පසු මිනිසුන් පරණ බෙහෙත් තුන්ඩු රැගෙන හතර අත ඇවිද්දෝය.තවත් අය යතුරු පැදියේ උදැල්ලක් බැද වගා කටයුතු වලට මුවාවී රට පුරා රවුම් ගැසුවෝය. හාල් කිලෝ දහයක් ගන්නට එකෙකුත්,ෆොන් කාඩ් එක ගන්නට එකෙකුත් ලෙස එකම ගෙදරින් දෙදෙනෙක් මගට බසිති. විශේෂඥ වෛද්‍යවරු මුඛ ආවරණ අනවශ්‍ය බව කියද්දි පොලිසිය මිනිසුන්ගේ ඇදිවත ගලවා මූනේ බදිති.

මෙන්න මේ වැනි ගැටළු නිවැරදි කරගන්නේ නම් කොරෝනා ජය ගැනීම කජ්ජක් නොවේ. එක අතකින් මෙය අමුතු දෙයක් නොවේ. සුනාමියට පසු අපට තිබුනේ සුනාමි ට්‍රිප් යෑමේ ආසාවය.ඒ අපේ හැටි විය හැක.නමුත් මෙතැන් සිට හෝ එය වෙනස් විය යුතු නොවේද..?

පසුගිය 20 ඇඳිරි නීතිය පැනවුයේ හදිසි කලබලයක් මඩින්නට නොවේ දෙසැම්බරයේ සිට පැමිණෙතැයි බලාපොරොත්තු වූ වෛරසයක්  මඩින්නටය.එහෙයින් ඇඳිරි නීතිය පැනවිය යුතුව තිබුනේ දින දෙකකට  කලින් දන්වාය .එසේ කළා නම්  නිදහස් වෙළඳ කලාප සේවකයන් ගමේ යවන්නට අද දක්වාම හමුදාවට වෙහෙසෙන්න වෙන්නේ නැත.මිනිසුන්ද හැකි පමණින්  ආහාර ද්‍රව්‍ය රැස් කරගනු ඇත.

බහුතර ජනයා මේ දරා සිටින්නේ ඇඳිරි නීතිය දරාගත හැකි අවසාන කාලසීමාවය. එදිනෙදා කුලීවැඩ කරමින් ජීවත් වූවෝ අද අන්ත අසරණය.සෑම දිළිදු පුද්ගලයාම සමෘද්ධි ලාභියෙක් නොවේ. එහෙයින් කුමනාකාරයේ සලාකයක් හෝ දුප්පතුන්ට බෙදාදීම ආණ්ඩුවේ වගකීමය.පසුගිය කාලයේ මිනිසුන් පාරට බැස්සේ ජොලියටය එහෙත් හෙට අනිද්දා ඔවුන් බඩගින්න විසින් පාරට බස්සනු ඇත.එය කොරෝනාට වඩා දරුණු වනු ඇත.

Advertiesment