Friday 5th of June 2020

English Tamil
Advertiesment


හඳුනාගත් රෝගීන් සියදෙනාගෙන් රෝගීන් 500 ක් බිහිවිය හැකියි


2020-03-28 5147

දැනට හඳුනාගත් Covid  - 19​ හෙවත් කොරෝනා රෝගීන් 100 ආශ්‍රයෙන් මෙතෙක් හඳුනා නොගත් කොරෝනා රෝගීන් 500 ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියි.  

තව ද මෙම රෝගීන් 100 ඇසුරු කිරීම හේතුවෙන්  නිරෝධායනය කරමින් සිටින 18000 ක පිරිස අතරත් මෙම රෝගීන් සිටිය හැකි බව ද වෛද්‍ය නවින්ද සොයිසා පැවසිය.

එක් රෝගියකුට මෙම වෛරසය හේතුවෙන් තවත් රෝගීන් 406 ක ප්‍රමාණයක් බිහි කළ හැකි  අතර සමාජ ගැටීම් සියයට 75 කින් අඩු නොකළහොත් මේ තත්ත්වය තව දුරටත් වර්ධනය වෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.  

නමුත් මෙම රෝගය ව්‍යාප්තිය අවම කර ගැනීමට සමාජයේ ජිවත්වන සෑම  පුද්ගලයෙකුටම යම් වගකීමක් ඇති බව සඳහන් කළ  ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රෝගය බෝවී ඇති අයෙක් සමාජයෙන් ඈත්වී තම නිවසේ සිටියහොත් රෝගය බෝවීම සිදුවන්නේ සියයට 2.5 කට පමණක් බව බවය.

එක් රෝගියකුගෙන් තවත් පුද්ගලයින්  406 කට රෝගය බෝවෙන්නේ නම්, අපේ රටේ සමාජගතවී සිටින රෝගීන් සංඛ්‍යාව නිශ්චිතව  අනුමාන කළ නොහැකි බව ප්‍රකාශ කළ වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කර සිටින්නේ ඒ අනුව  අප රට පසුවන්නේ ඉතාමත් අවදානම් සීමාවේ බවය.

හඳුනාගත් රෝගීන් 100 න් 35 ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 65 නිසා තවත් 500ක 600ක පමණ පිරිසක් නිරෝධායනය විය යුතු බවට සැක කරනු ලබන බව පැවසිය.  

මෙම වසංගත රෝගී තත්ත්වය පියවර 4 කින් යුක්තවෙන අතර පළමුවැන්න කිසිම රෝගියකු නොවීමයි. දෙවැන්න අහඹු ලෙස රෝගීන් සිටීමයි. තුන්වැන්න රෝගීන් සමූහයක් වශයෙන් සිටීමයි. සිව්වැන්න සමාජගත ව්‍යාප්තියයි. ඒ අනුව මේ වන විට අප සිටින්නේ තුන්වැනි පියවරේ ‘බී’ කොටසේය. මේ වෙනවිට පවුලෙන් එළියට රෝගය ව්‍යාප්තවී ඇති බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය සොයිසා මහතා මෙසේ ද ප්‍රකාශ කර  සිටියේය.

හදිසි තත්ත්වයක් යටතේ මෙම රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත නොහැකිවනු ඇත. මේ හඳුනාගත් රෝගීන් 100 න් 18,000 ක් ගැන අවධානය යොමුකර ඇත.නමුත් සමාජ ගත රෝගී විය හැකි පිරිස ගැන පැහැදිලිව කිව නොහැක.  

එම නිසා මේ පිරිස් ගැටෙන එක අවම කළ යුතු අතර මේ වන විට  වැඩි රෝගීන් පිරිසක් සිටින්නේ කොළඹය.අනෙකුත් ප්‍රදේශ වන්නේ  කළුතර ගම්පහ යන  ප්‍රදේශයි. මෙම රෝගීන් අතරත්  පළාතෙන් බැහැරට ගිය අය සිටිය හැක. 

ඉන්දියාව දින 21 ක් සියල්ල නතර කර ඇත. සියයට 75 කට වඩා රටේ සංචරණය නතර කර ඇත. ඒ අය සඳහා ජන ජීවිතය ගෙන යාමට තීන්දු තීරණ ගත යුතුව ඇත. ද්‍රව්‍ය නිවාසවලට ගෙන ගොස් දීමේ  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. රෝගය ප්‍රබල වූ පසු ප්‍රතිකාර කිරීමට අපට ඇති අවස්ථාවන් සීමා සහිතය. එබැවින්   මේ ගැන සියලු දෙනාම තම අවධානය යොමු කර කටයුතු කළ යුතුව ඇත.

කොතලාවල වෛද්‍ය පීඨයට අදාළ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය යොදා ගැනීමට පියවර ගෙන ඇත. ඇඳන් 80 ක් 100 ක් අතර ප්‍රමාණයක් එහි සැකසිය හැකි වෙයි. ඉදිරියේදී තදබදයක් ඇතිවුවහොත් එයට සූදානම් විය යුතුව ඇත. රෝගය බරපතළ වුවහොත් තදබදයක් ඇති නොවනසේ පියවර ගැනීමට සූදානමක් තිබිය යුතුව ඇත. හදිසි ප්‍රතිකාර, විශේෂයෙන් නිර්වින්දන වෛද්‍යවරු මේ ගැන සාකච්ඡා කර තිබේ.  

මේ තාක්ෂණය යොදා ගත හැකි අවස්ථාවකි. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබාදීමේදී තාක්ෂණය දියුණු කළ යුතුව ඇත. මේ වන විටත් වෛද්‍යවරු 10 ක් පමණ නිරෝධායනයට යෙදවීමට සිදුවී ඇත. වෛද්‍යවරු යෙදවීමට නොහැකි වුවහොත් එය බරපතළ ප්‍රශ්නයකි. වෙනත් රටවල වෛද්‍යවරු බොහොමයක් සේවයෙන් ඉවත්වී ඇත.  

මේ තත්ත්වයන් මත අප්‍රේල් 1 සිට 7 වැනිදා වෙනතුරුවත් මෙහි උච්චම අවස්ථා ලෙස සැලකිය යුතුය. සමාජ දුරස්ථතාවය දෙවැනි පියවර යටතේ තිබිය යුතුය. දැනට තිබෙන දත්ත අනුව පසුගිය 23 හා 24 දිනවල කරන ලද ක්‍රියාකාරකම් සමග එතැන සිට සති දෙකක් බැලිය යුතුය. ගිය 13 වැනිදා සිට 27 වැනිදා දක්වා එක් අවස්ථාවක්ද, දෙවැනි අවදානම අප්‍රේල් මුල් සතියේද විය යුතුයි. ඒ අනුව මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා ඉතා අවදානම් කාලයක් ලෙස සලකා ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට වහා පියවර ගතයුතු බවද හෙතෙම අවධාරණය කළේය.  

 

Advertiesment