Sunday 20th of September 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව නොකැඳවා සිටීමට ඉඩ නොතබමු


2020-03-27 1815

පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම ජනපති-අගමැති තේරුම් ගත යුතුයි 

 

පාර්ලිමේන්තුව නොකැඳ වන්නේ නම් ඊට හේතු කිව යුතුයි 

 

වසංගතයේ බරපතළකම ආණ්ඩුවයි-රටයි-ජනතාවයි තේරුම් ගෙන නැහැ 

 

මුළු රටම මහ ආහාර අර්බුදයක මුව විට 

 

 
(වික්ටර් අයිවන්)  

මේ සටහන ලියන්නට පෙළඹුණේ පළපුරුදු වෛද්‍යවරයෙකු සමග කරනු ලැබූ දුරකථන සංවාදයක දී ඔහුගෙන් පාරිලිමේන්තුව ගැන අසන්නට ලැබුණු  ප්‍රකාශයක් නිසාය.ඔහු මා සමග කතා කළේ ගෝලිය වශයෙන් සහ ශ්‍රී ලංකාව කෙරෙහිද බලපා තිබෙන වසංගත තත්ත්වය ගැනය.වසංගත මර්දනයේදී ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින සීමාසහිතකම් ගැනද කතා කළේය.ඒ සියලු දේ කියන අතර "පාර්ලිමේන්තුව නම් කැදවනවාට වඩා වහලම තියෙන එක හොදයි" කියාද කීවේය.

ශ්‍රී ලංකාවේ පාරලිමේන්තුව දූෂණයෙන් කුණුවී තිබෙන ආයතනයක් වන බවට සැකයක් නැත.එහෙත් පාරලිමේන්තුව එම තත්ත්වයෙන් මුදා ගැනීමට හේතු වන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇති කරන තෙක් පාර්ලිමේන්තුව වසා දමා හිතුවක්කාරි පාලනයකට ඉඩ හැරීම භයානකය.

පාරලිමේන්තුව දූෂිත තත්ත්වයක තිබියදීත් මුළු මනින් නොවෙතත් කිසියම් ප්‍රමාණයක කාර්ය භාරයක් එමගින් සිදු විය.මහා බැංකුවේ බැඳුම්කර වංචා  සොයා  ගැනීමට හැකි වූයේ පාර්ලිමේන්තුවක් තිබුණ නිසාය.පාස්කු පහරදීමේ සැඟ වුණු තතු කිසියම් ප්‍රමාණයකට හෝ දැන ගැනීමට හැකි වූයේ පාරලිමේන්තුවක් තිබුණ නිසාය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව තිබෙනුයේ මීට පෙර කවදාක්වත් මුහුණ දී නැති තරමේ දැවැන්ත සහ සංකීර්ණ අර්බුදයක් ඉදිරියේය.මහ ජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙකු සිටියට එම ජනාධිපතිට විධායක බලයක් නැත.තාවකාලික භාරකාර ආණ්ඩුවක් තිබුණ ද ඊට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න්ට පුළුවන්කම ලැබෙනු ඇත්තේ කොයි කවරදාද යන්න කිසිවකුත් දන්නේ නැත.ඒ කාලය ඇතුළත කොපමණ  මිනිසුන් සංක්‍යාවකට මිය යන්නට සිදු වේද කියාද කිසිවකු දන්නේ නැත.රාජ්‍යයේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය.සියලුම රාජ්‍ය ආයතන ව්‍යවස්ථානුකුලව වග කිව යුත්තේද පාර්ලිමේන්තුවටය.

පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා දින නියමයක් නැතිව පාර්ලිමේන්තුවේ පැවැත්ම අහෝසි කිරීම එම සියලු ව්‍යවස්ථාපිත ආයතනවල නිත්‍යානුකුල  පැවැතම අහෝසි කීරීමකට සමානය.විගණකාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකුල පැවැත්ම රැදී ඇත්තේ ද පාර්ලිමේන්තුවේ පැවැත්ම මතය.

රටට මේ මොහොතේ විධායක බලය නැති ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබූ තාවකාලික භාරකාර ආණ්ඩුවක් ඇතත් පාර්ලිමේන්තුවක් නැත.සිය ඉතිහාසයේ මුහුණ දීමට සිදුව තිබෙන දැවැනතම අර්බුදයට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන්නේ පාර්ලිමේන්තුවක් සහ  පාර්ලිමේන්තු අධීක්ෂණයක් නැතිවය.

රාජ්‍යයකට අදාළව හැම දෙයක්ම සිදු විය යුත්තේ නිසි අධීක්ෂණයකට යටත්වය.මෙවැනි දැවැන්ත අර්බුදයකදී ඕනෑම රජයක් අතින් වැරදි සිදු විය හැකිය.ඒ වැරදි මහ ජනයාගේ ජීවිතවල පැවැත්ම කෙරෙහි සේම රටේ පැවැත්ම කෙරෙහිද විනාශකාරි ලෙස බල පෑ හැකිය.එම ධර්මතාව මේ ආණ්ඩුවට ද අදාළය.මේ අර්බුදය කළමනාකරණයේ දී මේ ආණ්ඩුව අතින්ද වැරදි සිදුවී තිබේ.සමහර විට දූෂිත වුවත් පාරිලිමේන්තුවක් තිබුණේ නම් පාරිලිමේන්තුවේ සංවාදයට සහ  අධීක්ෂණයට ලක්වීම මත සමහර විට සමහර වැරදි නිවරදි කර ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. 

වසංගත තත්ත්වක් තිබියදී ඒ ගැන හරි තක්සේරුවක් නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බව විශ්වාස කළ අතර එම වැරදි තක්සේරුව ව්‍යාප්තියට කිසියම් ප්‍රමාණයකට හෝ බල පෑවේය.

මෙම වසංගත තත්ත්වය සලකන ලද්දේ එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධයටත් වඩා සුළු දෙයක් ලෙසය.එම යුද්ධයේ දී පවා "Lock Dawn" කරන පිළිවෙතක් අනුගමනය නොකළේ නම් "Corona" මර්දනය කිරීම සදහා "Lock Dawn" ප්‍රතිපත්තියක් අවශ්‍යවන්නේ ඇයි දැයි ජනාධිවරයා ප්‍රශ්න  කළේය.

ඊට පටහැනිව "Lock Dawn" පිළිවෙතක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී ඇතත් එක දිගට කීසියම් කාලයක් "Lock Dawn" ප්‍රත්පතියක් අනුගමනය නොකිරීම නිසා "Lock Dawn" ප්‍රතිපත්තියෙන් ලබා ගත හැකි උපරිමප්‍රතිලාභ ලබා ගැනීමට රටක් ලෙස අප අසමත් විය.මහ ජනයා නිවාසවලට සීමා කරන කාලය ඇතුළත ඔවුන්ට අවශ්‍ය අහාර ද්‍රව්‍ය ඔවුන් සිටින නිවාසවලට ලබාදීම සදහා වන ප්‍රායෝගික වැඩ සටහනක් ආණ්ඩුවට නොතිබුණේය.

ඇගළුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රධානතම අංශය යැයි කිව හැකිය.රටේ කාන්තා ශ්‍රම බලකායෙන් ලොකුපංගුවක් ජීවත් වන්නේ ඇදුම් මැසීමෙනි.එවැනි පසුබිමක් තිබියදී පවා රටට අවශ්‍ය මුහුණු ආවරණ නිපදවා ගැනීමට හැකි වී නැත.

ඉදිරියේ ලොකු ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතී.එහෙත් අද දක්වා රටේ ග්‍රාමිය ජනයා වගා සංග්‍රාමයකට යොමු කිරීමට හැකිවී නැත.
වසංගතය මරදනය කිරීම සදහා ජාතික මට්ටමෙන් ගොඩනගා තිබෙන කාර්ය සාධක බල මණ්ඩලයට ඇස,කන සහ නාසය පිළිබඳ වන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළත්ව ඇතත් වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයන්ප්‍රමාණවත් තරමින් ඇතුළත් කර ගෙන තිබෙන බව පෙනෙන්ට නැත.

දූෂිත වුවත් පාර්ලිමේන්තුවක් තිබුණේ නම් අදාළ ප්‍රශ්න පාරිලිමේන්තුවේ සාකච්ඡාවට ලක් වන්නට ඉඩ තිබුණු අතර ඒ මගින් තිබෙන අඩු පාඩුකම් නිවැරදි  කර ගැනීමටද හැකි වන්නට ඉඩ තිබුණි.මෙම අර්බුදයේදී ලොකු වැය බර පැත්තක් තිබෙන අතර මහා පරිමාණයෙන් විදේශ ණය ලබා ගැනීමටද සිදුවනු ඇත.ඒ සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව නම් එම ක්‍රියාවලිය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය.

පාර්ලිමේන්තුවකින් සහ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව මෙවැනි අර්බුදකාරි අවස්ථාවකදී පාලනයක් පවත්වා ගෙන යාම රටේ යහපතට හේතු වන්නේ නැත.ඒ නිසා පාර්ලිමේන්තුව කැදවීමේ වැදගත්කම ජනාධිපතිවරයා සේම අගමැතිවර යා ප්‍රධාන ආණ්ඩුව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.

පාර්ලිමේන්තුව නොකැදවන්නේ නම් ඊට හේතු රටට පැහැදිළි කළ යුතුය.ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඊට එරෙහි ව්‍යාපාර ගොඩනැංවීමට විරුද්ධ පක්ෂවලට හැකි අතර මේ ප්‍රශ්නය අධිකරණය හමුවට ගෙන යාමට පුරවැසියන්ට හැකිය. 

Advertiesment