Sunday 5th of July 2020

English Tamil
Advertiesment


ස්විස් දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කොරෝනා වෛරසය


2020-03-23 1289

යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ දේවස්ථානයක දේව මෙහෙයක් පැවැත්වූ, නව කොරෝනාවෛරසය ආසාදිත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට ද එම වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

එම පුද්ගලයා දේව මෙහෙයට සහභාගි වූ අයෙකු නොවන අතර දේවගැතිවරයා ලැගුම්ගෙන සිටි ස්ථානයට ගොස් ඔහු හමුවූ අයෙකි.

අදාළ දේව මෙහෙයට සහභාගි වූ පුද්ගලයන් 240 දෙනෙකු සදුදා (මාර්තු 23) වන විට හඳුනාගෙන ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර, පී එස් එම් චාල්ස් බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

"පුද්ගලයන් 240ක් ආරක්ෂක අංශවල අධික්ෂණය මත තමන්ගේ නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් වෙනවා. එම දේවගැතිවරයාව සමීපව ඇසුරු කළ පුද්ගලයන් 20 දෙනෙක් හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටිනවා. ඒ අය සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරිගේ අධීක්ෂණයට ලක්වෙනවා. අද වන විට උතුරු පළාත ලොක්ඩවුන්. හෙට තත්ත්වය සලකා බලා තීරණයක් ගන්නවා,'' යනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩිදුරත් පැවසුවාය.

යුරෝපය හා අනෙකුත් රටවල සිට පැමිණි, යාපනය, මන්නාරම, වවුනියා, කිලිනොචිචි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල ජීවත් වන 880 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය


කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 පෙරවරු 6.00ට ඉවත් කෙරේ. එම දිස්ත්‍රික්කවල එදින දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය මාර්තු 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත්වේ. එම දිස්ත්‍රික්කවල 27 වන දා දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල මාර්තු 23 දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදින ම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේ ම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට අවසර දෙනු ලැබේ.

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 1754ක් අත්අඩංගුවට
මාර්තු 20 වන සිකුරාදා පස්වරු 6.00 සිට මාර්තු 23 සඳුදා පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ, ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 1754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම පුද්ගලයන් ගමන් කළ වාහන 447ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

වැඩි ම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නිකරුණේ මාර්ගයේ ගමන් කිරීමේ චෝදනාව මතය.

ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහන වලින් ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙස හැසිරීම සහ වෙළඳාම් කිරීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සෙසු චෝදනා අතර වේ.

නව කොරෝනාවෛරසය වැළඳුණු බවට ශ්‍රී ලංකාව තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 87ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 227කි.

මාර්තු 23 දා පෙරවරු හයට ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශ වල පිහිටි වෙළෙඳසල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු හා වෛද්‍ය මධ්‍යස්ථාන ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් ද යොදවා තිබිණි.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටරයක් පමණ තබා ගන්නැයි කළ ඉල්ලීම්වලට බොහෝ දෙනෙකුගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

 

 

BBC සිංහල සේවය 

Advertiesment