Thursday 25th of April 2024

English Tamil
Advertiesment


වසංගත සමයක මැතිවරණ- විද්‍යුත් ක්‍රමයට ඡන්දය දීම විසඳුමක් නොවේ


2020-03-22 7608

(රොහාන් සමරජීව)

කොවිඩ්-19 ආසාදනයවීම වැලැක්වීම සදහා සමාජයීය දුරස්ථභාවයක් පවත්වා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින හා මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එයට පිළිතුරක් ලෙස ඈත සිට විද්‍යුත් ක්‍රමයට ඡන්දය දීම ගැන යෝජනා ඉදිරිපත් කිරීම ස්වභාවිකය. ඡන්දය දීමේ විධික්‍රම නවීකරණය කිරීමට විදේශගත ශ්‍රමිකයන්ගේ ඡන්ද අයිතිය ලබාදීම සහ ඡන්දය ගණන් කිරීම වේගවත් කිරීම ඇතුළු බොහෝ හේතු ඇත. කෙසේ වෙතත්, මේ මොහොතේ වඩාත් ආකර්ශනීය වන්නේ මහජනයා ඒකරාශි රැස්වීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමේ හැකියාවත්, එමගින් රෝගය පැතිරීමේ අවදානම අඩු කර ගැනීමත් ය.

විද්‍යුත් ඡන්ද යන්ත්‍ර භාවිතය හා විද්‍යුත් ඡන්දය දීම අතර වෙනස

ලෝකයේ විශාලතම මැතිවරණ පවත්වන ඉන්දියාව, ඉතාම කැපී පෙනෙන ලෙස මැතිවරණ ගණනාවක් සඳහා විද්‍යුත් ඡන්දය දීමේ යන්ත්‍ර යොදා ගෙන ඇත. ඡන්දය දීමේ ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් විද්‍යුත් ඡන්දය දීමේ යන්ත්‍ර මගින් ස්වයංක්‍රීය කරනු ලබයි. යන්ත්‍ර භාවිත කලද, ඡන්දදායකයින්ට තවමත් සිදු වන්නේ සාම්ප්‍රදායික ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් තමන්ගේ ඡන්දය දීමේ අයිතිය හා අනන්‍යතාවය සම්ප්‍රදායික ක්‍රමයට තහවුරු කර ඡන්දය දැමීමටයි. වගුගත කිරීමේ දී ඇතිවන වැරදි අඩුකර ගැනීමට සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඉක්මන් කිරීමටත් එමගින් හැකිවන නමුත් මහජනයා ඒකරාශිවීමේ අවශ්‍යතාවය එමගින් ඉවත්කරන්නේ නැත. විදේශගත ශ්‍රමිකයන්ට ඡන්දය දීමේ අවස්ථාව ලබාදීමේ ප්‍රශ්නයට ද එමගින් විසඳුමක් ලැබෙන්නේ නැත.

මෙම විශේෂිත විසඳුමට අවශ්‍ය වන්නේ නියමාකාරයෙන් වලංගු කරන ලද විද්‍යුත් ඡන්දය දීමේ යන්ත්‍ර පමණකි. දත්ත සන්නිවේදනය පවා අවශ්‍ය වන්නේ නැත. ඒ ඒ පක්ෂ හෝ අපේක්ෂකයන්ට ලැබුණු ඡන්ද සංඛ්‍යා විද්‍යුත් ඡන්ද යන්ත්‍රයේ ගබඩා කරගත හැකි අතර සබඳතාවය ලැබුණු විට ඒවා එකතුකිරීමේ මධ්‍යස්ථානයට සම්ප්‍රේෂණය කළ හැකිය. මෙහි දී අවධානය යොමු වන්නේ අයුතු ලෙස විද්‍යුත් ඡන්ද යන්ත්‍ර හැසිරවීමට එනම් දත්ත වෙනස් කිරීමට හැකියාවක් ඇත්ද යන්න හා පසු අවස්ථාවක ප්‍රශ්න මතු වුවහොත් විගණනයට ඉඩ තිබේ ද යන්න පිළිබඳවය.

යන්ත්‍ර හා සම්බන්ධව හඳුනාගත් ප්‍රශ්න සඳහා විසඳුම් ඇත. එසේ වුව ද, අකමැති ප්‍රතිඵලයක් ලැබුණු සැනින් ජිල්මාට් ගැන ප්‍රශ්න මතුකිරීමේ අපේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් විශ්වාසය පිලිබඳ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය දෙමින් විද්‍යුත් ඡන්ද යන්ත්‍ර පිලිබඳව පරිස්සමින් සලකා බැලීම හොඳම ක්‍රමයයි.

දුරස්ථව ඡන්දය දීම

අන්තර්ජාල ඡන්දය දීම ලෙස ද හඳුන්වනු ලබන විද්‍යුත් ක්‍රමයේ ඡන්දය දීම යනු ඡන්දය දීමේ ක්‍රියාවලියේ බොහෝ අංශ වෙනස් කරන වඩා ඉදිරිගාමී විසඳුමකි. මෙහි දී ඡන්දදායකයින් නිශ්චිත කාල පරාසයක් තුල විශේෂ ස්ථානයකට කැඳවා ගැනීමේ අවශ්‍යතාවය අඩුවීම හෝ නැතිකිරීම සිදුවනු ඇත. පුද්ගලයින්ට විදේශ රටවල් ඇතුළු තමන් සිටින ඕනෑම ස්ථානයක සිට නියමිත කාල පරිච්ඡේදයක් තුළ (එය අද තිබෙන පැය කිහිපයට වඩා බොහෝ දිගු විය හැකි ය) තම ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙයි.

සුදුසුකම හෝ අනන්‍යතාවය තහවුරු කිරීම තව දුරටත් හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන්, හඬනගා නම් කියවීමෙන්, නිරීක්ෂකයින් විසින් ලැයිස්තු පරීක්ෂා කිරීමෙන් හා එබඳු වෙනත් ක්‍රියාමාර්ග මගින් සිදු නොකරනු ඇත. ඡන්දදායකයා සිටිනු ඇත්තේ කිසිදු නිලධාරියකුගේ නිරීක්ෂණය යටතේ නොව ඈත ස්ථානයක ය. සුදුසුකම් හා අනන්‍යතාව සාක්ෂාත් කිරීම සඳහා ඉහලම මට්ටමේ තාක්ෂණික විධික්‍රම තිබිය යුතු ය.

විද්‍යුත් ඡන්දය දීම යොදාගෙන මැතිවරණ පවත්වන රටවල් ගණනාවක් ඇත. ඒ අතුරින් ප්‍රසිද්ධම වනුයේ එස්තෝනියාව යි. විදෙස් රටක සංචාරය කරමින් සිටිය දී ජාතික මැතිවරණයේ ඡන්දය පාවිච්චි කළ එස්තෝනියානු පුරවැසියෝ මට හමුවී ඇත. විද්‍යුත් ඡන්දය දීමට පුර්ව කොන්දේසි දෙකක් අවශ්‍ය ය. එනම් අනන්‍යතාව සාක්ෂාත් කර ගැනීමේ දියුණු විද්‍යුත් ක්‍රමවේදයක් පැවතීම සහ අන්තර්ජාලය භාවිතයෙන් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීමේ හැකියාව යි. තොරතුරු සහ සංනිවේදන තාක්‍ෂණය අතින් දියුණු තත්ත්වයක සිටින එස්තෝනියාව මෙම අවශ්‍යතා දෙක ම සපුරා ඇත.

එස්තෝනියාවේ දුරස්ථව සිට ඡන්දය පාවිච්චි කරන පුද්ගල සංඛ්‍යාව වසර ගණනාවක් තිස්සේ වැඩි වී ඇත. 2019 දී එය සියයට 44 ක් විය. එයින් පෙන්නුම් කෙරෙන්නේ දුරස්ථව සිට ඡන්දය දීමේ අවස්ථාව ඇතත්, ඡන්දදායකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් තම ඡන්ද අයිතිය පාවිච්චි කිරීමට ඡන්ද පොළට යාම තෝරාගෙන ඇති බව යි. විද්‍යුත් ඡන්දය දීම මගින් සම්ප්‍රදායික ඡන්දය දීම පහසුවෙන් විස්ථාපනය වන්නේ නැත. ගෝලීය වසංගත තත්ත්වයක් පවතිද්දී මැතිවරණ පැවැත්වීමේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුමක් විද්‍යුත් ඡන්දය දීමේ ක්‍රමයකින් ලැබෙන්නේ යයි සිතීම වැරදි ය.

වර්ධනාත්මක ප්‍රවේශයක්

කෙසේ වෙතත් විදේශ රටවල තාවකාලිකව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් මෙන්ම, ශ්‍රී ලංකාව තුළමත් තමන් ඡන්දය සඳහා ලියාපදිංචි ව සිටින ස්ථානයට බැහැර ස්ථානයක පදිංචිව හෝ සේවය කරමින් හෝ සිටින උදවිය මුහුණ දෙන ප්‍රශ්නවලට තාක්ෂණික විසඳුම් සදහා ක්‍රියාත්මක වීමට අපට සිදු වී තිබේ. මෙබඳු කටයුතුවල දී විශ්වාසය ඉතා වැදගත් ය. එමනිසා කුඩාවට පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් ව්‍යප්තකිරීම හොඳම ක්‍රමය වන්නේය.

වඩාත්ම උචිත ආරම්භක ස්ථානය වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදේශයන්හී රැකියාවල නියුතුවූවන්ට ඡන්දයදීමේ අයිතිය ලබාදීම යි. ඔවුන් ලියාපදිංචිවීම නීතිමය අවශ්‍යතාවයකි. එලෙස ලියාපදිංචි වන අවස්ථාවේ දී අනන්‍යතාව තහවුරු කර ගැනීමේ හැකියාව ඇති , එස්තෝනියාවේ භාවිතාකරන ආකාරයේ ස්මාට් කාඩ් පතක් ඔවුන්ට ලබාදිය හැකි ය.

සාධාරණ ලෙස විදේශ රටවල පදිංචි පුරවැසියන්ට ඡන්දය දීමේ අවස්ථාව ලබාදීමට විද්‍යුත් ඡන්ද ක්‍රමවේදය හැර විකල්පයක් නැත. තම ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයන්ට ගමන් කිරීමට සිදුවන දුර බොහෝ විට අති විශාල වන නිසා ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම සාර්ථක විසදුමක් නොවේ. උදාහරණයක් ලෙස සෞදි අරාබියේ තානාපති කාර්යාලය ඇත්තේ රියාද් නගරයේ ය. ජෙඩ්ඩා නගරයේ සිට එම ස්ථානයට පැමිණීමට පැය අටක පමණ කාලයක් අවම වශයෙන් අවශ්‍ය වෙයි.

විද්‍යුත් ක්‍රමවේදය මගින් දුරස්ථව ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ විට, එය දැන් තැපැල් ඡන්ද භාවිතා කරන රජයේ සේවකයන්ටද ලබා දිය හැකි වන අතර ඉන්පසුව එය ඡන්දය පාවිච්චි කිරීම සඳහා දැන් කෙටි හෝ දිග නිවාඩු ලබාගන්නා පෞද්ගලික අංශයේ සේවකයන්ට ආදී වශයෙන් ව්‍යාප්ත කළ හැකි වෙයි. අනන්‍යතාවය තහවුරුකරගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ගත් උත්සාහයන්ට මේ දක්වා බාධා කළ රජයේ ආයතනවල අභ්‍යන්තර ගැටුම් පාලනය කළ හැකි වන්නේ නම්, මෙම ක්‍රියාවලිය වේගවත් කළ හැකි වන අතර ඡන්දදායකයන්ට තමන් කැමති තැනක සිට කැමති වෙලාවක තම ඡන්ද අයිතිය භාවිතා කළ හැකි වෙයි.

ඒ කෙසේ වෙතත්, වසංගතයක් මැද මැතිවරණ පැවැත්වීමේ ප්‍රශ්නයට මෙමගින් විසඳුම් ලැබෙන්නේ නැත.

 

 

Advertiesment