Friday 23rd of April 2021

English Tamil
Advertiesment


රාවුෆ් හකීම්ගේ ගෝලයෝ ජල සම්පාදනයෙන් කෝටි ගණනක් ගහලා..!


2019-07-02 2426

සභාපතිවරයා ජල සම්පාදනය හිඳියි-ජල ගාස්තු වැඩි වෙයි..?

 දුෂිතයාට තවත් කෝටි ගණනක ව්‍යාපෘතියක් භාර දීලා..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍ය රාහුෆ් හකීම්  මහතා යටතේ පවතින ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අදාළ බලධාරීන් රුපියල් කෝටි ගණනක් ගසා කා ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණු විගණන පරීක්ෂණයේදී හෙළි වීතිබේ.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශය මගින්  සිදු කෙරෙමින් පවතින විගණන පරීක්ෂණය යටතේ දැනට හෙළි වී තිබෙන තොරතුරු අනුව රුපියල් කෝටි පනහකට අධික මුදලක් ගසා කා තිබේ.

මේ මහ පරිමාණ හොරකම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර්,කොළඹ දිස්ත්‍රික් නැගෙනනහිර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් ටී එම් රශිල්,එම මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී,අදාළ ව්‍යාපෘතිය භාර අතිරේක සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන ඉංජිනේරුවන් සහ ව්‍යාපෘති ඉංජිනේරුවන් වග කිව යුතු බව විගණන වාර්තාව මගින් චෝදනා කරනු ලැබ තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාගේ අනුදැනුම සහ සහයෝගය යටතේ ඒ සියලු දෙනා වෙනුවෙන් මේ දූෂණ,වංචා සහ අක්‍රමිකතා සිදු කර ඇත්තේ අදාළ  කොළඹ දිස්ත්‍රික් නැගෙනනහිර ජල සම්පාදන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක එම් ටී එම් රශිල් මහතා බව ද විගණන පරීක්ෂණය මගින් ඔප්පු කර ඇත.

කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු ගත මුදලට පරිභාහිරව එම ව්‍යාපෘතිය වෙනුවෙන්  රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තුවක් ද ඉදිරිපත් කරමින් ව්‍යාපෘති අධ්‍යක්ෂක එම් ටී එම් රශිල් මහතා විවිධ ගෙවීම් ලෙස මුදල් ලබා ගෙන තිබේ.

මේ ව්‍යාපෘතියේ මූලික සහ අතිරේක ඇස්තමේන්තුවට අදාළව එම් ටී එම් රශීල් මහතා ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි ගණනක බිල් පත් සම්බන්ධයෙන් රජයේ විගණන අංශ දැනට සිදු කර ඇති  විශේෂ විමර්ශනය මගින් සොයා ගෙන ඇත්තේ ඒ බිල් පත් අතර තිබෙන  ව්‍යාජ සහ වංචා සහගත බිල් පත්වල වටිනාකම රුපියල් කෝටි 40 ඉක්ම වන බවය.

ඒ අනුව එම් ටී එම් රශීල් මහතා මේ ව්‍යාපෘතියට අදාළව ඉදිරිපත් කර ඇති රුපියල් කෝටි ගණනක බිල් පත්වලින් දැනට රුපියල් කෝටි 40ක් අකමැත්තෙන් හෝ  කප්පාදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට සිදුව තිබේ.

කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘති අධ්‍යක්ෂක එම් ටී එම් රශීල් මහතා ව්‍යාපෘති කාර්ය මණ්ඩලයට කාර්යාල සැපයීමට යැයි කියා රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂ හැත්තෑ නම දහස් පන්සීය හැට දෙකක් ලබා ගෙන එමහින්  රුපියල් හැට ලක්ෂයක් ගසා කා ඇත.

ව්‍යාපෘතියට අදාළව ඒ ඒ අවශ්‍යතා පරිදි ඒ ඒ ස්ථාන  පස් යොදා පිරවීමට යන වියදම සඳහා ගෙවීම් කළ නොහැකි වුවත් මොහු ඒ වෙනුවෙන් බිල් පත් ඉදිරිපත් කර රුපියල් දෙකෝටි විසි අට ලක්ෂ පනස් දෙදහස් දෙසිය දෙකක් ලබා ගෙන තිබෙන බව ද විගණන පරීක්ෂණයයේදී හෙළි වී තිබේ.

එමෙන්ම ගෙවීම් කළ නොහැකි “Bedding” සහ “Mastic” යන අමුද්‍රව්‍ය  සඳහා දහසය කෝටි තිස් එක්ලක්ෂ හතලිස් හය දහස් එකසිය පහක ගෙවීමක් සිදු කර තිබෙන බව ද විගණන වාර්තාව පෙන්වා දෙයි.

ඉතා ඉහළ වටිනාකමකින් යුතු ජල මීටර් 30,000ක් මිල දී ගෙන එමගින් රුපියල් කෝටි 4 ½ ක් වංචා කර ඇති අතර වාහන වැඩි දුර ධාවනය කරමින් ඒ වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ විසි දෙදහස් එකසිය පනහක් ගෙවා ඇති බව ද හෙළි වී තිබේ.

කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළව එම් ටී එම් රශීල් මහතාට රුපියල් කෝටි ගණනක දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා සාක්කි සහ සාධක ඇතිව ඔප්පු වී ඇතත් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර් මහතා ඇතුළු බලධාරීන් ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය හෝ විනය පියවරක් ගෙන නොමැත.

ඊට හේතු වී තිබෙන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර් සහ කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘති අධ්‍යක්ෂ එම් ටී එම් රශීල් යන මහත්වරුන්  ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍ය රාහුෆ් හකීම මහතාගේ සමීපතමයින් වීමය.

ඒ අනුව  ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර් මහතා ඇතුළු බලධාරීන් කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතියට අදාළව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ආයතනයේ අභ්‍යන්තර විගණන ඒකකය මගින් සිදු කෙරුණු විගණන පරීක්ෂණ  වාර්තා සියල්ල යට ගසා තිබෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

මහ පරිමාණ දුෂණ,වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින එම් ටී එම් රශීල් මහතාට එරෙහිව විනය සහ නීතිමය පියවර ගැනීම වෙනුවට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එම් කේ අලහුදීන් අන්සාර් මහතා සිදු කර තිබෙන්නේ  ඇමරිකානු ඩොලර් මිලයන 360ක ඇස්තමේන්තු වටිනාකමකින් යුතු කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස ද ඔහු පත් කිරීමය.

මේ රුපියල් කෝටි ගණනක මහා පරිමාණ දුෂණය ඇතුළු ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සිදු වෙමින් පවතින හොරකම් හේතුවෙන් මණ්ඩලයට සිදුව තිබෙන පාඩුව පියවා ගැනීම සඳහා ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට ද සිදු වනු ඇතැයි එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

   

Advertiesment