Sunday 29th of November 2020

English Tamil
Advertiesment


කොරෝනා මර්දනයට ජනපති-අගමැති අත ගසයි


2020-03-14 5644

යුරෝපා ජාතිකයන්ට වීසා තහනම්

 

වීෂ බීජ හරණයට පියවර

 

කාර්ය සාධක බළකායට නිවහනක්

 

Covid – 19 හෙවත් Coronavirus ශ්‍රී ලංකාවේ පැතිරයාම වැළැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමර්ග හේතුවෙන් රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට හැකි වූ අතර වෛරසය පැතිර ගිය රටවල් සමග සංසන්දනය කර බලන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටී.

එම ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට සියළු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Coronavirus හෙවත් Covid – 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ සිකුරාදා (13) පැවති සාකච්ඡාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.

වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිවරයා යුරෝපා රටවල් රැසක වෛරසය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව ද ප්‍රකාශ කළේය.

ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතළ තත්ත්වයක් පවතින අතර ඒ පිළිබඳ කොරෝනා මර්දන බළකායක් පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන ලෙස නියෝග කළේය.

තවද යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට ද තීරණය කෙරිණ.

අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබන Coronavirus ආසාදිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට ලක් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ රෝගය වැළක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට ද තීරණය කෙරිණි.

කාර්ය සාධක බළකාය ස්ථිර කාර්යාලයක ස්ථාපිත කොට තොරතුරු රැස්කරමින් තීරණ ගන්නා ලෙසත් ජනාධිපතිවරයා නියම කෙළේය. රෝග නිර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව පර්යේෂණ උපකරණ සපයා ගැනීමට පියවර ගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව රෝගය පැතිර යෑම වැළක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බවත් ජනාධිපතිවරයා කීවේය.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. පාලන මිලක් යටතේ ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. දිනකට මුඛ ආවරණ එක් ලක්ෂ පනස් දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේ දී සඳහන් කෙරිණ.

ආරක්ෂක අංශයේ සහය ඇතිව පොදු මඟී ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය ද සෙනසුරාදා (14) සිට විෂබීජ හරණය කිරීමට ද තීරණය කර ඇත.

චීනය මේ වන විට ඉතා සාර්ථකව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර තිබේ. සමාජ චර්යාවන් සහ ක්‍රියාකාරකම් රෝග මර්දනයට ඉවහල් වන අයුරින් හැසිරවීමට චීනය ප්‍රමුඛත්වය දුන්නේය. එරට අනුගමනය කළ ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වා ගැනීම හා පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යයන් අන්තර්ජාලය ඔස්සේ නිවෙසේ සිට සිදු කිරීම අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇතැයි ජනාධිපති රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරනු මිස සමාජ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ.

මෙම සාකච්ඡාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මිහු සහ රාජ්‍ය ආයතන රැසක නිලධාරීහු එක්ව සිටියහ.

 

Advertiesment