Monday 6th of July 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තු මැතිවරණය හා අරාජකත්වය


2020-03-14 1620

(වික්ටර් අයිවන්)

පාර්ලිමේන්තු මැතිවරණය රටේ උගතුන්ගේ පමණක් නොව සමාජයේද උනන්දුවට හේතුවී තිබෙන ප්‍රධාන කාරණය බවට පත්ව තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ සැණකෙළියට යටින් ගලා යමින් තිබෙන අරාජකත්වයේ අඳුරු සෙවනැලි ඔවුන්ට නොපෙනීම අවාසනාවකි.

රට දිනෙන් දින නොනවත්වා ගමන් ගනිමින් තිබෙන්නේ පොදුවේ මුළු රටටම ලොකු විනාශයක් ඇති කිරීමට හේතුවන අතිවිශාල අර්බුදයකටය. රටේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබෙන්නේ පුපුරන්නට ආසන්න තත්ත්වයක තිබෙන මහා අර්බුදයකය. බිහිසුණුම දේ වනුයේ රටේ සාමාන්‍ය ජනයාට පමණක් නොව, රටේ දේශපාලන නායකයන්ට සේ ම උගතුන්ටද එය නොපෙනීමය. පෙනෙන අය පවා එය නොසලකා අන්ධයන් ලෙස ක්‍රියාකිරීමය.

යහපාලන කාලයේදී පවා මේ අර්බුදය තිබුණේ පාලනය කිරීමට බැරි තරමට මෝරා ගිය තත්ත්වයකය. යහපාලන ආණ්ඩුව එහිදී අනුගමනය කළේ අර්බුදයේ වැඩිදුර වර්ධනයට ඉඩ නොදෙන ආරක්ෂාසහගත ප්‍රතිපත්තියක් නොව අර්බුදය වර්ධනය කිරීමට හේතුවන නාස්තිකාර ප්‍රතිපත්තියකි. එම පාලකයන් අතින් සිදුවූ බිහිසුණුම වරදක් ලෙස සැලකිය හැක්කේ රට ගිල ගනිමින් තිබුණ අර්බුදයේ යථාර්ථය මහජනයාට පැහැදිලි කිරීමෙන් තොරව එය වසන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

ආණ්ඩුක්‍රමයේ අවුල

19 වැනි සංශෝධන අනුව ජනාධිපතිගේ බලතල වෙනස් වී තිබෙන බව ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට සේ ම මහජනයාටද ඒ ගැන අවබෝධයක් නොතිබුණි. ජනාධිපතිවරණය ආශ්‍රයෙන් ඇතිවූ සමාජ දේශපාලන සංවාදයේදී ඒ ගැන කෙරෙන කිසිම කතාබහක් සිදුවූයේම නැතැයි කිව හැකිය.

ජනාධිපතිවරණයේදී රටේ බහුතර සිංහල ජනතාව ගෝඨාභය රාජපක්ෂට එක පොදියට ඡන්දය දී ඔහු ජනාධිපති ධුරයට තෝරා ගත්තේ සිංහල බෞද්ධ පැවැත්ම ආරක්ෂා කරගනිමින් ලංකාව සිංගප්පූරුවක් මෙන් දියුණු ධනවත් රටක් බවට පත්කිරීමේ හැකියාව ඔහුට ඇතැයි කියන විශ්වාසයකින් යුතුවය. එහෙත් 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිට විධායක බලයක් නැති බව හා ඇත්තේ නාමමාත්‍රික බලයක් පමණක් බව ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි ඡන්දය පාවිච්චි කළ ජනයා දැන සිටියේ නැත. ජනාධිපතිවරණයෙන් ලබන ජයග්‍රහණය තෙක් ඒ බව නව ජනාධිපතිවරයාද හොඳින් දැන සිටි බවක් පෙනෙන්නේ නැත.

ලංකාව තිබෙන්නේ පාලනය කිරීමට බැරි තරම් අතිවිශාල අර්බුදයක බව බලයට පත් ජනාධිපතිවරයා සේ ම නව ආණ්ඩුවද ඉක්මින් දැනගත යුතුව තිබුණු අතර, ඒ ගැන මහජනයා දැනුවත් කිරීමේ වගකීමක්ද ඔවුන්ට තිබුණි. එහෙත් ඔවුන් අතින් ද ඒ දේ සිදු නොවීය. ඔවුන්ගේද ප්‍රධාන අවධානයට යොමුවී තිබුණේ රට මුහුණ දී තිබුණ අර්බුදය නොව, ඊළඟට අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහිය. පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා රට මුහුණ දී තිබුණු බරපතළ අර්බුදය නොසලකා ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කරන්නට නව ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුවට සිදුවූ අතර, එම තත්ත්වය උග්‍ර තත්ත්වයක තිබූ රටේ අර්බුදය තව වටයකින් වර්ධනය කිරීමට හේතුවිය. දැන් ලංකාව තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රට අරාජකත්වයකට තල්ලු වී යා හැකි අවාසනාවන්ත තත්ත්වයකය.

අරාජකත්වයේ සෙවණැලි

ඇතිවන්නට නියමිත අරාජකත්වයේ ඇතැම් ලක්ෂණ දැනටමත් විiමාන වීම ආරම්භ වී තිබෙන්නේ යැයි කිව හැකිය. රටේ සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබෙන්නේ අතිවිශාල අවුලකය. ඒ බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. දේශපාලන ක්‍රමය තුළ තිබෙන මහා අවුල උග්‍ර කිරීමට හේතුවන අලුත් සාධක ගණනාවක් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කරළියට පැමිණ තිබෙන්නේය.

19 වැනි සංශෝධනයේ හොඳ නරක කුමක් වුවත් නීතිය අනුව දැන් විධායක බලය තිබෙන්නේ ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවටය. රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපතිට තිබූ කාලයේදී පවා රාජ්‍යයේ මූල්‍ය පාලන බලය තිබුණේ පාර්ලිමේන්තුවටය. නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබූ එජාප ප්‍රමුඛ සන්ධානය ආණ්ඩු බලය අතහැර එම බලය පොහොට්ටුව නියෝජනය කළ පොදු ජන පෙරමුණට ලබා දුන්නේය. ඒ නිසා පාර්ලිමේන්තු බලයේ වෙනසක් ඇති වුවද අලුතෙන් බලය ලැබූ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණි. ජනාධිපතිවරණයෙන් පසුව අලුතෙන් පිහිටුවා ගත් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති මැතිවරණය තෙක් ඇති කරගත් තාවකාලික ආණ්ඩුවක් විය.

එම ආණ්ඩුව රාජ්‍ය පාලනයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි 36,000ක තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එම යෝජනාව පරාජය කරනු ඇතැයි කියන සැකය නිසා එම පරිපූරක ඇස්තමේන්තුව ඇතුළත් යෝජනාව ආණ්ඩුව ඉල්ලා අස්කර ගත්තේය. ඊළඟ අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීම අගෝස්තු, සැප්තැම්බර් සහ සමහරවිට ඔක්තෝබර් දක්වා වන කාලයක් ගතවිය හැකි අතර රාජ්‍යයේ සියලු මූල්‍ය කටයුතු සිදුවනු ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව වෙන් කළ මුදල් නැතිව හා වැය කරන මුදල් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ව්‍යවස්ථා විරෝධී හා හිතුවක්කාරී ආකාරයටය. මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කළ යුතුව තිබුණ ඉතාමත් වැදගත් බරපතල ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි වුවත් ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය එම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කළේ නැත.

ව්‍යවස්ථා විරෝධී ස්වභාවය ඊළඟ අය වැය ලේඛනය සම්මත කරගැනීම දක්වා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ඇතුළුව රටේ රාජ්‍ය පාලනයට අදාළ සියලු වියදම් දරන්නට සිදුවී තිබෙන්නේ විවිධ කාර්යයන් සඳහා අය වැය ලේඛනයකින් හෝ තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවකින් විධිමත් ලෙස මුදල් වෙන් කර ගැනීමක් නැතිව හිතුවක්කාරී හා ව්‍යවස්ථා විරෝධී ආකාරයටය. තත්ත්වයේ බැරෑරුම්කම සඳහා දැක්විය හැකි හොඳම කාලීන නිදර්ශනය වනුයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන විදයම වෙන්කර නොතිබීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නය. මැතිවරණ කොමසාරිස්වරයාට අනුව පසුගිය ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණාලයෙන් ලබා ගත් සේවාවන් සඳහා මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට ගෙවිය යුතු රුපියල් කෝටි 300ක මුදලක් තවමත් රජයේ මුද්‍රණාලයට ගෙවා නැත. මැතිවරණ කොමසාරිස්වරයා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවශ්‍ය මුද්‍රණ වියදම රුපියල් කෝටි 700ක් බවත් ඒ මුදල ලබා නොදෙන්නේ නම් එම කාර්යයන් ණයට කරගැනීමේ හැකියාවක් නැති බවය.

මෙය එක තැනක පමණක් නොව, හැම තැනකම පාහේ අඩු වැඩි ප්‍රමාණයකට දක්නට තිබෙන තත්ත්වයකි. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතී. රජයේ සැපයුම්කරුවන්ට හා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්නට තිබෙන ණය දිගින් දිගට ප්‍රමාද කිරීම නිසා ඒ අංශවල වැඩ අඩපණවීමක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මූල්‍යමය වශයෙන් රජය තිබෙන්නේ ශක්තිමත් තත්ත්වයක නොව අවුල්සහගත තත්ත්වයකය. ඒ නිසා එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යෑම ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්ව තිබේ.

නව ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි බදු බර සැහැල්ලු කිරීම පිණිස බදු ක්‍රමය සංශෝධනය කළේය. එය බදුකරුවන්ට සහනශීලී විය හැකි වුවත් එය රටේ ආර්ථික අර්බුදයට සහනශීලී වන්නේ නැත. එම බදු සංශෝධන දැනට ක්‍රියාත්මක තත්ත්වයක පවත්නාමුත් එම බදු සංශෝධනවලට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැත. බදු විෂය අයත් වන්නේ ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එවැනි බදු සංශෝධනයක් ඇති කොට ක්‍රියාත්මක කිරීමේ බලය මුදල් ඇමතිට ඇතත් ජනාධිපතිට නැත.

බොහෝ දේවල් සිදුවෙමින් තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල විධිමත් ආකාරයකට නොව අවිධිමත් ආකාරයකටය. එවැනි දේවල් මේ ආණ්ඩු කාලයේදී පමණක් නොව, යහපාලන ආණ්ඩු කාලයේද සිදුවිය. අගවිනිසුරු මොහාන් පීරිස්ගේ හොඳ නරක කුමක් වුවත් ඔහු තනතුරෙන් පහ කෙරුණේ ව්‍යවස්ථාවට අනුකූල විධිමත් ආකාරයට නොව, අවිධිමත් ආකාරයකටය. 19 වැනි සංශෝධනය නීතිගත කර ගත්තේද ව්‍යවස්ථාවට හෝ අධිකරණය ලබාදී තිබූ මගපෙන්වීම්වලට අනුකූල විධිමත් ආකාරයකට නොව අවිධිමත් ආකාරයකටය.

ඉන්පසු නව ආණ්ඩුව යටතේ දැන් බොහෝ දේවල් සිදුවන්නේද ව්‍යවස්ථාවට අනුකූල විධිමත් ආකාරයකට නොව, අවිධිමත් ආකාරයකටය. හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් තොරව පොලිසියේ කටයුතු සඳහා යුද්ධ හමුදාව යොදාගත නොහැකිය. එහෙත් ඒ ප්‍රශ්නයේදී විරුද්ධ පක්ෂයෙන් පවා කිසිදු විරෝධයක් එල්ල නොවීය. ව්‍යවස්ථාවට අනුකූල නොවන අවිධිමත් දේවල පැවැත්ම හා ක්‍රියාකාරීත්වය හා අරාජකත්වය අතර ගැඹුරු අන්තර් සම්බන්ධයක් පවතී.

අර්බුදයේ අත්තිවාරම්

විදේශ ණය සේවාකරණ ප්‍රශ්නය මේ වනවිට ලංකාවේ අර්බුදය අධිනිශ්‍යකරණ සාධකය බවට පත්ව තිබුණද ලංකාවේ අර්බුදය ඊට පමණක් සීමා නොවූ සමාජ-දේශපාලන ක්‍රමයේද ආර්ථිකයේද ඇතිවී තිබෙන පරිහානිය හා බිඳ වැටීම පදනම් කරගත් සංකීර්ණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එම අර්බුදය කෙරෙහි රටේ ඇතිවූ ප්‍රචණ්ඩ අරගල හා ඒ සඳහා යොදාගැනුණ මර්ධනයන්ද ඒ ආශ්‍රයෙන් සමාජය මත මුදා හැරුණු කෲරත්වයද, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමද බලපෑවේය. එසේම රාජ්‍ය පාලනය රටේ වස්තුව කොල්ලකන ක්‍රමයක් බවට පත්වීමද, රාජ්‍යයේ නිලධරතන්ත්‍රය දේශපාලනතන්ත්‍රය විසින් කරන වස්තු කොල්ලයේ ආධාරකරුවන් ලෙස ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවීමද රාජ්‍යයේ ඇතිවී තිබුණු කුණුවීමේ ක්‍රියාදාමය වේගවත් කරන හා වර්ධනය කරන සාධක ලෙස ක්‍රියා කළේය.

1977 සිට විටින් විට බලයට පත් පාලන පක්ෂ සිය ගජමිතුරන් හා රාජ්‍ය නිලධරතන්ත්‍රයේ සහාය ඇතිව කර තිබෙන වස්තු කොල්ලයේ පරිමාව අතිවිශාලය. මෙම වස්තු කොල්ලයට හසු නොවූ මොනව ආයතන ක්‍රමයක්වත් නැති තරම්ය. එම ක්‍රියාදාමය සමස්ත ආයතන ක්‍රමය දූෂිත කිරීමෙන් නොනැවතී සියලු ආයතනද රටද බංකොළෙෘත් කිරීමට හේතුවිය. ඒ නිසා රට උපරිම ලෙස සාරය උරා බීම නිසා නිසරු හපයක් බවට පත්වන විට කොල්ලකරුවන් විශාල ධනවතුන් බවට පත්කිරීමට හේතුවිය. පෞද්ගලික අංශයේ ගජ මිතුරන්ද මෙම කොල්ලයේ වැදගත් පංගුකාරයන් පිරිසක් ලෙස ක්‍රියා කළේය. මෙම කොල්ලකරුවන්ගේ අත්වල දූෂණයේ කැත කුණු පමණක් නොව ලේ ද තැවරී තිබෙන්නේය.

මහ බැංකු කොල්ලය පාලන කාල දෙකක් තුළ මහ බැංකුවේ සිදුවී තිබෙන බැඳුම්කර වංචා පිළිබඳව පළවී තිබෙන පරීක්ෂණ වාර්තා නිසා එම පාලන කාල දෙක තුළ පාලක පක්ෂ පුද්ගලික අංශයේ ගජ මිතුරන් හා මහ බැංකුවේ නිලධරතන්ත්‍රය මහ බැංකුවේ තිබෙන වස්තුව පමණක් නොව, කොටස් වෙළෙඳපොළ කොල්ල කා තිබෙන තුච්ඡ හා සාහසික ආකාරය තේරුම් ගැනීමේ හැකියාව මහජනතාවට ලැබුනේය. අයථා ලෙස උපයාගෙන තිබෙන ධනයේ ප්‍රමාණය අතිවිශාලය. මහ බැංකුවේ සිදුවී තිබෙන මේ කොල්ලය මහින්ද රාජපක්ෂ පාලන කාලයට හෝ යහපාලන පාලන කාලයට සීමාවූ දෙයක් නොවන බව අවධාරණයෙන් කිව යුතුය. සිදුවී තිබෙන දූෂණවල පරිමාවේ වෙනස්කම් තිබිය හැකි වුවත් එවැනි කොල්ලකෑම් ඊට පෙරත් සිදුවී තිබෙන බවට උපකල්පනය කළ හැකිය.

ලංකාවේ මුදල්, මූල්‍ය සහ ගෙවීම් පද්ධති පරිපාලනය, අධීක්ෂණය හා නියාමනයද විනිමය අනුපාතිකය නියාමනය කිරීම හා මුදල් නෝට්ටු නිකුත් කිරීමේ අධිකාරී බලය ඇති එකම ආයතනය වන්නේ මහ බැංකුවය. එවැනි සුපිරි හා ගාම්භීර පෙනුමකින් යුතු බලවත් ආයතනයක් තිබෙන්නේ උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයක නම් රාජ්‍යයේ අනෙකුත් ආයතන තිබිය හැක්කේ කෙබඳු තත්ත්වයකද? මහ බැංකුව තිබෙන්නේ එවැනි දූෂිත තත්ත්වයක නම් එහි පාලනය යටතේ තිබෙන බැංකු, ෆිනෑන්ස් සමාගම්, කොටස් වෙළෙඳපොළ වැනි ආයතන හොඳ පිරිසිදු තත්ත්වයක තිබිය නොහැකිය. මෙය මහ බැංකුවට හා එහි පාලනය යටතේ තිබෙන ආයතනවලට පමණක් නොව ප්‍රධාන කොට රාජ්‍යයට හා එහි ආයතන ක්‍රමයට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. මෙම කොල්ලයට හසු නොවී පිරිසිදුකම ආරක්ෂා කරගත් එකදු ආයතනයක්වත් ලංකාවේ නැති තරම් වේ යැයි කිව හැකිය.

තර්කානුකූල අවසානය මා කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ රාජ්‍ය, එහි ආයතන ක්‍රමය, රාජ්‍ය නායකයන් හා දේශපාලන පක්ෂ, ලංකාවේ සමාජ ක්‍රමය, එහි වර්ග, කුල හා ආගම් ගැන, ලංකාවේ ආර්ථිකය හා එහි දේවල් සිදුවන ආකාරය ගැන උනන්දුවෙන් කරුණු හැදෑරූ විචාරකයකු ලෙස සැලකිය හැකිය. ලංකාවේ රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ගරාහැලීම හා කුණුවීම මගේ වඩාත්ම උනන්දුවට හේතුවුණු විෂය ක්ෂේත්‍රය වී යැයි කිව හැකිය. මා අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ ලියන ලද ලිපිවලින් වැඩි ප්‍රමාණයක්ද, ලියන ලද පොත්වලින් දෙකක් හැර අන් සියලු පොත්ද ඒ ගැන ලියා තිබෙන ඒවා ලෙස සැලකිය හැකිය.

අභ්‍යන්තර යුද්ධය අවසන් වූ පසු මා ලංකාවේ රාජ්‍ය හා සමාජ ක්‍රමය ගැන ඇති කරගත් නිරීක්ෂණය වූයේ ලංකාවේ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමය ද සමාජ ක්‍රමය ද ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ලෙස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට ලක්කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි තරමට ඒවා අවුල් වූ ජරාජීර්ණ වූ හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන බවය. එම අවශ්‍යතාව රටේ දේශපාලන නායකයන්ට හා සමාජයට පෙන්වාදීමට විශාල උත්සාහයක නිරත වුවද එය සාර්ථක නොවීය.

එම අසාර්ථක උත්සාහයෙන් පසුව මා ඇති කරගත් නිරීක්ෂණය වූයේ දේශපාලනතන්ත්‍රය හෝ සමාජය අතින් එම ව්‍යුහමය ප්‍රතිසංස්කරණ සිදුවීමට පුලුවන්කමක් නැති බවත්, බාහිර බලපෑමෙන් තොරව ක්‍රමයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මතම සමස්ත ක්‍රමය කිසියම් අවස්ථාවකදී කඩා බිඳ වැටී අරාජක තත්තවයකට පත්වනු ඇති බවය. මාගේ එම අදහස පැහැදිලි කිරීම සඳහා 2011දී ‘ලංකාව ගලවා ගැනීම’ යන හිසින් පොතක් ලියා පළකරන්නටද මට සිදුවිය.

මගේ මතය අනුව ඉන් වසර 9කට පසුව දැන් ලංකාව තිබෙන්නේ ඒ දේ සිදුවන්නට ඉතාමත් ආසන්න තත්ත්වයකය.

අජිත් කණකසුන්දරම්

මා ලංකාවේ ක්‍රමයේ ඇතිවී තිබෙන මහා විඳ වැටීම තේරුම් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන කුණුවීම යන ‘පදය’ මේ වනවිට ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයේ පාවිච්චි කෙරෙන ජනප්‍රිය පදයක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. මා එම පදය ආශ්‍රයෙන් ලංකාව සඳහා ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණයට සමාන නිරීක්ෂණයක් ප්‍රකට ආර්ථික විiාඥයකු හා දේශපාලන විශ්ලේෂකයකු වන අජිත් කණකසුන්දරම් ද ඉදිරිපත් කර තිබෙන බව කිව යුතුය. අජිත් කණකසුන්දරම් ජාත්‍යන්තර මට්ටමේ මහා ව්‍යාපාරිකයකු බවට පත්වන්නේ 83 කළු ජූලියත් සමග සිංගප්පූරුවට යෑමෙන් පසුවය. එහෙත් ඔහු සිය මව්බිම සමග තිබූ සම්බන්ධය අත්නොහැරියේය. ඔහු එල්ටීටීඊයේ බෙදුම්වාදී වැඩසටහන විවේචනයට ලක් කළ විචාරකයකු ලෙස ද සැලකිය හැකිය.

ඔහු ලංකාව හා සිංගප්පූරුව පදනම් කොටගෙන “Tale of Two Countries” යන හිසින් 2018 වසරේදී කදිම පොතක් ලියා පළ කළේය. එහි සිංහල පරිවර්තනයක්ද ‘දෙරටක කතාව’ නමින් පළවී තිබේ. එය ලංකාව තේරුම් ගැනීමට උනන්දුවක් දක්වන හැම කෙනකු විසින්ම කියවිය යුතු පොතකි.

ලංකාව පිළිබඳව මා පළකර තිබෙන නිරීක්ෂණයට සමාන නිරීක්ෂණයක් ඔහු පළකර තිබෙනුයේ එම පොතේය. ඔහු ලංකාවේ රාජ්‍යය හඳුන්වා තිබෙන්නේ රෝදවලින් විසන්ධි වූ මෝටර් රථයක් ලෙසය. තවත් තැනක එය හඳුන්වා තිබෙන්නේ “සුළගේ හා රළ පහරේ අභිමතය මත එහා මෙහා පැද්දෙන සුක්කානමක් නැති නැවක්” වශයෙනි. ඔහුද එහිදී ලංකාව සඳහා ‘කුණුවීම’ යන පදයද යොදාගෙන තිබේ. ඔහුට අනුව ලංකාවේ කුණුවීම ආරම්භ වන්නේ 77 ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීය. වසර 5කින් හෝ 7කින් (ඒ අනුව 2023දී හෝ 2025දී) ග්‍රීසියට සිදුවූ දේ ලංකාවටද සිදුවන්නේය. මගේ මතය වන්නේ ඒ දේ 2023ට පෙර සිදුවන බවය. බොහෝ විට එය 2021දී සිදුවිය හැකිය.

 

Advertiesment