Saturday 20th of April 2024

English Tamil
Advertiesment


රවීට එරෙහිව නීතිපතියි-කොටුව මහේස්ත්‍රාත්වරයායි නීතිය නවලා..!  


2020-03-13 7597

"වරෙන්තුව නීතියට පටහැනියි-ද්වේශ සහගතයි"

 

"මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය පක්ෂග්‍රාහියි-ද්වේශ සහගතයි" 

 

"කොටුව මහේස්ත්‍රාත්වරයාගේ බිරිය මහ බැංකු නිලධාරිනියක්" 

 

"රවීගේ නම බැඳුම්කර වර්තාවේත්වත් නැහැ" 

 

ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වයි

       

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට විරුද්ධව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි ඔහු  වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ තමා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා,වැඩ බලන පොලිස්පතිවරයාට කළ නියෝගයට එරෙහිව ගොනු කර තිබෙන රීට් පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචනා අධිකරණයේ දී බ්‍රහස්පතින්දා (12) සලකා බැලූ අවස්ථාවේදීය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස් දෙනෙක් ගොනු කළ රීට් පෙත්සම් පහ මෙසේ බ්‍රහස්පතින්දා (12) අභියාචනා අධිකරණය හමුවේ කැඳ වූයේ දෙවැනි දිනයටය. 

එහිදී පෙත්සම්කාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කරුණු දක්වමින් මෙසේද කීය.

"මගේ සේවාදායකයාට එරෙහිව ලබා ගෙන ඇති වරෙන්තුව නීතියට පටහැනියි.මෙහිදී බලධාරීන් කටයුතු කර ඇත්තේ ස්වභාව යුක්ත මූල ධර්මයට පටහැනිවයි.මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ පක්ෂග්‍රාහීවයි.මගේ සේවාදායකයාට එරෙහිව ක්‍රියා කර ඇත්තේ ද්වේෂ සහගතවයි.

මෙම සිද්ධිය පිළිබඳ සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරිනියක් හැටියට කටයුතු කරන නිසා අගතියක් වන බවට කරුණු දැක්වීමට අවසර ඉල්ලුවත් ඊට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ නැහැ.

මෙම "බී" වාර්තාවේ සැකකරුවන් ගෙන් එක් අයෙකුට පමණක් වරෙන්තු නිකුත් කළේ නැහැ.ඒ ක්‍රියාව අගතිගාමීයි.මෙහි මුල් නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙනවා.එහිම කොටසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීම වැරදියි.එසේ නම් මේ ක්‍රියාව හිතාමතා සහ සැලසුම් සහගතව කළ බව පැහැදිළියි.මෙම බැදුම්කර වෙන්දේසි දෙකම ගැන බැදුම්කර වාර්තාවේ  සඳහන් වන අතර ඒ ගනුදෙනු දෙකම එකම ක්‍රියාවලියක් බව ඉතා පැහැදිළියි."

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා - "පළමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී පසුව මෙහාට කරුණු දැක්විය යුතුයි."

ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා - "එහෙම කළොත් අත්අඩංගුවට ගන්නවානේ..."බී" වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (2) වගන්තිය අනුවයි.එහෙත් වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 වගන්තිය යටතේයි.ඒ ක්‍රියා මාර්ගය වැරදියි.ඒ වගේම   මගේ සේවාදායකයාට එරෙහිව කිසිඳු චෝදනාවක් බැදුම්කර වාර්තාවේ සඳහන් වී නැහැ.මෙම සිදුවීම් මාලාව සිදු වන්නේ රටෙ ජනාධිපතිවරයා තෝරා ගෙන  දින කිහිපයකදියි."

මේ අතර තෙවැනි සහ සිව් වැනි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

"නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා මාගේ සේවාදායකයින්ට අදාළ නැහැ.මගේ සේවාදායකයින්ට නගා ඇති චෝදනා වන්නේ ආධාර අනුබල දීමයි.මගේ සේවාදායක ඉන්දික සමන් කුමාර, වරලත් මූල්‍ය විශ්ලේෂකයෙක්.ඔහු අර්ථ සාධක අරමුදල සමඟ කටයුතු කරන්නේ ද්විතීයක වෙළඳ පොල ගැණුම්කරුවෙකු හැටියටයි.

ඒ සෑම ගනුදෙනුවක්ම ඔහුගේ ප‍්‍රධානියා අනුමත කරනවා.ඔහු ප‍්‍රාථමික වෙළඳ පොළ සම්බන්ධයෙන් කිසිඳු සම්බන්ධයක් නැහැ.ඒ අනුව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම වැරදියි.මගේ ඊළඟ සේවාදායකයාට ඇත්තේ දුරකතන ඇමතුම් ලබා ගැනීම පිළිබඳ චෝදනා පමණයි.ඒ අනුව මගේ සේවාදායකයින් දෙදෙනාම නිර්දෝෂීයි"

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කර රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව තමා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන්, බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර සහ චිත්ත රංජන් හුළුගල්ල යන අය අභියාචනා අධිකරණය හමුවේ මෙම රීට් පෙත්සම් පහ ගොනු කළහ.

නීතිඥවරුන් වන ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා යන අයගේ නීතිඥ සමාගම මගින් ගොනු කර ඇති මෙම රීට් පෙත්සම්හී වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.අම්පාවිල, වැඩ බලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 2016 වසරේ සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙක මගින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 2020 පෙබරවාරි මස 6 වැනි සිකුරාදා වරෙන්තු නිකුත් කළ අතර ඔහු එම වරෙන්තු නිකුත් කිරීම සිදු කර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමැති නීතිමය මූල ධර්මයට පටහැනි බවය. 

එබැවින් මෙම නඩු කෘත්‍යට අදාළව පොලිසිය ගොනු කර තිබෙන "බී" වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

ඊට අමතරව තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කරනු ලැබූ නියෝගය ද   බල රහිත කරන ලෙස පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.

එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර සුදුසු  මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ද,තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි නිසා මේ  රීට් පෙත්සම විභාගයට ගන්නැයි   ද, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.

 

Advertiesment