Saturday 26th of September 2020

English Tamil
Advertiesment


සිය දේශපාලන පව් හොදා ගත හැකි මග කිරිඇල්ල රනිල්ට පෙන්වයි  


2020-03-12 6309

තර්ජනාත්මක ලිපි යවා පාක්ෂිකයින් බිය ගැන්වීමට අකිලට බැහැ 

 

සන්ධානයට ආවා කියා එජාප සාමාජිකත්වය අහිමි වන්නේ නැහැ

 

පාස්කු ප්‍රහාරයේ නියමුවෝ එකට එකතු වෙලා 

 

නීතිපති ස්ථාවරය නිවැරදියි  

"නව සන්ධානය එක්සත් ජාතික පක්ෂයේම කොටසක්.එමනිසා සන්ධානයට සහය දැක්වූවා කියා පක්ෂ සාමාජිකත්වය අහිමි වන්නේ නැහැ.මැතිවරණ නීතිය අනුව ලකුණ වෙනස් කිරිමේ කාලය අවසන්. සමගි ජන බල වේගයේ ලකුණත් මේ වන විට එළිදක්වා අවසන්.මීට පෙරත් මා ප‍්‍රකාශ කළා සමගි ජන බල වේගය අහම්බෙන් ආරම්භ වුණේ නැහැ.තෙමසක් මුළුල්ලේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි මේ සන්ධානය ආරම්භ වුණේ.  

සජිත් පේ‍්‍රමදාස මැතිතුමා සන්ධානයේ නායකයා කළෙත් අගමැති අපේක්ෂකයා කළෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන්. අප සියලු දෙනාම එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඉතින් මේ තීරණාත්මක මොහොතේ මා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ආයාචනය කරනවා සන්ධානය නමැති මල් වට්ටියට අත ගසන්න කියා.

අපේ ආගමේ නිතර මෙනෙහි කරන බණ පදයක් තිබෙනවා "උපන් දා සිට කළ පව් නැත වරක් වැන්දොත් කැළණියේ" කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පක්ෂයත් සමගි ජන බල වේගය නමැති මල් වට්ටියට අත ගැසුවොත් පසුගිය කාලයේ සිදු වූ අමනාපකම් රටේ ජනතාවත් අමතක කරන බව පැහැදිළිව ප‍්‍රකාශ කරන්න පුළුවන්."  

මෙහිදි එක්සත් ජාතික පක්ෂය "අලියා" ලකුණින් තරඟ කරන බවට එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියන කතාව පිළිබඳව ජන මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතරු දෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

"පසුගිය කාලයේ අපි පළාත් පාලන මන්ති‍්‍රවරුන් සමග කතා කළා. අති බහුතරයක්, සියයට අනූනමයක්ම ඉන්නේ සමගි ජන බලවේගය සමග. අපට සහයෝගය දෙන මන්ති‍්‍රවරුන්ට ලිපියක් යොමු කරලා තිබෙනවා ඒ අයව අධෛර්යමත් කර බිය ගැන්වීම සඳහා. නීතිඥවරයෙක් ලෙස මම ඒ අයට ප‍්‍රකාශ කරන්න කැමතියි සමගි ජන බලවේගයට සහය දුන්නා කියා ඒ අයගේ මන්ති‍්‍ර ධූර හෝ පක්ෂ සාමාජිකත්වය  අහිමි වන්නේ නැහැ. මොකද සන්ධානය හැදුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව.  

අකිල විරාජ් මහ ලේකම්තුමා අපිත් එක්ක මාස 3ක් තිස්සේ සාකච්ඡා කළේ සමගි ජන බලවේග සන්ධානය පිහිටු වන්නේ කොහොමද කියලා.එතුමා දැන ගන්න  ඕන සන්ධානය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක්.මෙහිදී වඩා වැදගත් වන්නේ පක්ෂය නොව අපේ දේශපාලන අරමුණයි.පසුගිය කාලයේ පොහොට්ටුව ආරම්භ වුණාම නොයෙක් කතා ඇති වුණා. නමුත් පොහොට්ටුව අනෙක් පක්ෂ සියල්ල අභිභවා ගියා.ඉතින් අපේ අරමුණයි මේ වෙලාවේ වැදගත්.ආණ්ඩුව සමග ගණුදෙණු කරන කිසිවෙක් සමගි ජන බලවේගයේ නැහැ. අපේ අත් පිරිසුදුයි. ඉතින් මෙවැනි පුහු තර්ක දාලා සමගිය කඩන්න හදන්නේ ඇයි..? ආණ්ඩුව සමග ගණුදෙණු කරන පිරිසක් තමයි අපේ සන්ධානයේ සමගිය කඩාකප්පල් කරන්න හදන්නේ." 

ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන සටන් පාඨයක් වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු නොවීම ගැන ජන මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.
 
"එළඹෙන අපේ‍්‍රල් මාසය වන විට අවුරුද්දක් සම්පුර්ණ වෙනවා පාස්කු ප‍්‍රහාරයට.මේ ගැන සොයන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කළා. දැන් ජනාධිපති කොමිසමක් පත් කරලා තිබෙනවා. නමුත් කිසි කෙනෙක් අත්තඩංගුවට ගත්තේ නැහැ.මම කිහිප සැරයක් ප‍්‍රකාශ කළා මේ ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙක් අත්තඩංගුවට ගන්නේ නැහැ. මොකද මේ පාස්කු ප‍්‍රහාරය නිසා තමයි ආණ්ඩුව බලයට පත් වුණේ. දින 52 සිදුවීමෙන් පස්සේ අපේ ආණ්ඩුව අමාරුවේ දාන්න මාන බලමින් හිටියේ.ඉතින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ තොරතුරක් ආවා. අහක බලා ගෙන රට ගියා. මොකද ප‍්‍රහාරයෙන් පසුව අමාරුවේ වැටෙන්නේ ආණ්ඩුව. ප‍්‍රහාරයෙන් පසුවත් පැය 48ක් යන තුරු රටට ආවේ නැහැ. දැන් හොදටම පැහැදිලියි පාස්කු ප‍්‍රහාරයෙන් වාසි ලබා ගෙන ගොඩ ගිය පොහොට්ටුවයි ප‍්‍රහාරය පිළිබඳ දැන දැන අහක බලා ගෙන සිටි අයයි දැන් එකම පක්ෂයේ සන්ධාන ගත වෙලා.කාදිනල්තුමත් පසුගිය සතියේ පැහැදිළිව ප‍්‍රකාශ කළා රජය ගත් කි‍්‍රයා මාර්ග පිළිබදව ප‍්‍රකාශයක් කළ යුතුයි කියා. එතුමාටත් දැන් පැහැදිළියි මේ කුමන්ත‍්‍රණය පිළිබඳව." 

අනතුරුව ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් අධිකරණයේ පවතින නඩු ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීම සහ ඊට නීතිපතිවරයා දුන් පිළිතුර සම්බන්ධව ජන මාධ්‍යවේදීන් විමසා සිටිමේදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.  

"නීතිපතිවරයා සියයට සියයක් නිවැරදියි. අධිකරණයේ පවතින නඩුවක් නැවැත්විය හැක්කේ සාමාන්තර අධීකරණයකට හෝ ඉහළ අධිකරණයකට පමණයි. ඉතින් ජනාධිපති කොමිසමට බලයක් නැහැ අධීකරණයේ පවතින නඩු නවත්වන්න, කල්දමන්න හෝ ඒ සම්බන්ධව නියෝග දෙන්න. නීතිපතිවරයාගේ ලිපිය අනුව එතුමා නිවැරදි  ප‍්‍රකාශයක් සිදු කරලා තිබෙනවා ජනාධිපති කොමිසමට එසේ කළ නොහැකි බවට. උදාහරණයක් ලෙස මේ වනවිට මුළු  ලෝකයම බලා සිටිනවා සිසුන් 11දෙනෙකු අතුරුදහන් වීමේ නඩු තීන්දුව පිළිබදව. ඒ නඩුව වහාම නවත්වන්න කියා ජනාධිපති කොමිෂම නියෝගයක් දුන්නා. ඉතින් නීතිපතිතුමා ප‍්‍රකාශ කළා එය කළ නොහැකි බවට. එතුමා නිවැරදියි."
 

Advertiesment