Monday 6th of December 2021

English Tamil
Advertiesment


හතර කේන්දරයම පාළු වෙලා..!


2019-07-02 5795

දේශපාලකයින් අධාර්මිකයි..! රට අරාජිකයි..!

නීච බුධ රවී එක්ක රජය  මඤ්ඤං කරවයි..!

ශ්‍රී ලංකා කේන්දරයේ හතර කේන්දරයම පාළු වී රට අරාජික තත්ත්වයට පත් වන බව පෙනේ.  දේශපාලකයින් වෛරී මානසිකත්වයෙන් කටයුතු කරන විට  සෙස්සෝ ද ඊට සමගාමීව කටයුතු කරති.  මුළු රටම වෛරයෙන්, ක්‍රෝධයෙන්,ඉරිසියාවෙන්  පිරිණු ජරා ජීර්ණ රටක් බවට පත් වෙයි.

මේ හැම කෙනෙක්ම රටට ආදරය ඇත්තෝ නොවෙති.සිය බලය, තනතුර, වාසිය ගැන පමණක් සිතන්නෝය.  රටට සේවය කිරීමට බලය සහ  තනතුරුම අවශ්‍ය නැත. එමනිසා බලය සහ තනතුරු වෙනුවෙන්  කුලල් කා ගැනීමට, ගහ මරා ගැනීමට අවශ්‍ය නැත.

ශ්‍රී ලංකාවේ තරම් බණ කියන, බණ අසන රටක් ලෝකයේ සතර දිග් බාගයෙවත් නොමැත. ඒ නමුත්, බහුතරයක් ගත කරන්නේ අධාර්මිකවය.  රට හසුරු වන දේශපාලකයාගේ සිට පාසල් දරුවා දක්වාම දැහැමි බව තුරන් වී ගොස්ය.  හතර කේන්දරයම පුරන් වී ගොස්  කියන්නේ මේ තත්ත්වයටය.

කුජ සෙනසුරු සමඟ යෝග වී ගමන් කරන්නේ යහපත් මඟක නොවේ.  පාතාලය හිස ඔසවයි.  පළි ගැනීම් වැඩි වෙයි.  මරණ සංඛාවන් ඉහළ යයි. දරුණු අපරාධ වැඩි වෙයි.  මංකොල්ල කෑම්, දූෂණ, වංචා සහ අක්‍රමිකතා ඇතුළු අපරාධවලින් පොලිස් පැමිණිලි පොත් පිරී යයි.  පොලිසිවලටද වැඩ වැඩි වෙයි.

නීච බුධ උදා වෙමින්, නිවෘත වෙමින් සහ වක්‍ර වෙමින් මේ වසරේ මැයි මස නම වැනිදා  දක්වා ගමන් කරන්නේ රාජ්‍ය කාරක රවි සමඟය.මේ ග්‍රහ ගමන රජය ද මඤ්ඤං කරවයි. රජයේ ඉහළ මොළ අවුල් කරවයි. කියන දේ නොකරයි.  නොකරන දේ කියයි.  අවසානයේ ඇණ ගනියි.  ජනතාව අතිශයින්ම කල කිරෙයි.ජනතාවට සියල්ල එපා වෙයි.  ඒ හේතුවෙන් ජනයා කෝප වෙයි.  ඊට පසු තත්ත්වය භයානක වෙයි.

රාහු සය වැන්නේ සිට දොලොස්වැන්න දකියි.  නීතිමය තීරණ තීන්දු පවා අවුල් වෙයි.  තුලාවේ සමබරතාවය බිඳී යයි. ඒ තත්ත්වය ජනතාවට තදින්ම දැනේ.අධිකරණය, නීතියේ ආධිපත්‍ය සහ පොලීසිය පිළිබඳ තිබු විශ්වාසය ජනතාව කෙරෙන් ඈත් වීමට පුළුවන.

සතර කේන්දරය පාළු වී යන මේ මොහොතේ විශේෂයෙන්ම රටේ පාලකයින් සරල විය යුතුයි. පරිවාර සේනා සමග වාහන පිරිවරා ගෙන හෝ හෙළිකොප්ටර් මගින් ගුවනින්  ගොස් හෝ  රට ගැන විමසනවාට වඩා දෙපයින් ගොස් ගම් නියම්ගම්  මට්ටමින් කරුණු සෙවීම වැදගත්ය.

එසේම, වස්ත්‍රවලින් දැහැම් බව මවා පනවාට  වඩා හදවතින්ම දැහැමි වීම ඉතා වටියි.  මේ මොහොතේ වඩාත් අවශ්‍ය වන්නේ ඉවසීම,සමාව දීම සහ සමාව භාජනය කිරීමයි. සරල බවයි. ආධ්‍යාත්මික පෝෂණයයි.සාධාරණත්වය, සමානත්වය සහ  පොදු බවයි.

සරලවම අප සියලු දෙනා “ මනුෂ්‍යයෝය ", “කිනම් මොහොතක හෝ මිය යන්නෝය” යන ස්ථාවරත්වයේ සිට කටයුතු කිරීමයි. ඊට ජාති,ආගම්,කුලමල,දේශපාලන පක්ෂ සහ පාට භේද අවශ්‍ය වන්නේ නැත.මේ බව පාලකයෝ වඩාත් දැනුවත් කරත්වා..! පාලිතයෝ අනතුරුව  ඒ අනුව ගමන් කරත්වා ...!

 ජ්‍යෙතිෂ විද්‍යාඥ

ආචාර්ය රෙක්ස් ගුණවර්ධන

072-4040500

011-4282555

Advertiesment