Saturday 11th of July 2020

English Tamil
Advertiesment


විල්පත්තුව සහ කෝමාරිකා ව්‍යාපෘතිය - නීතිවිරෝධී වැඩක් පරිසර හිතකාමීන් නිහඬ ඇයි..?


2020-03-09 1262

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය හා ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 1500 ක් යොදා ගනිමින් සිදු කෙරෙන 'කෝමාරිකා' වගා කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු නීති විරෝධී යයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළත් පරිසර විෂයභාර කැබිනට් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන එය පිළි නොගෙන ක්‍රියාකිරීම ගැන පරිසරවේදීහු විමතිය පළ කරති.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී බව පවසන මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස පරිසර ඇමතිවරයා සහභාගි වීම ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයට තුඩු දී තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයක් යොදා ගනිමින් සිදු කරනු ලබන ඉහත කී 'කෝමාරිකා' ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර, පරිසර ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති බව අදාළ ආයෝජකයා බීබීසී සිංහල සේවය කළ විමසීමක දී තහවුරු කළේය

එහෙත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව අයත්, පරිසර විෂය භාර කැබිනට් අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය නීත්‍යානුකූල යැයි පැවසීමත් සමඟ එම දෙපාර්තමේන්තුවල නිරත නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීම කෙරෙහි බලපෑමක් එල්ල වීමේ විශාල අවදානමක් මතුවන බව පරිසරවේදී, නිතීඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

කෙසේ වෙතත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසන්නේ, තමන් නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම ව්‍යාපෘතිය තුළින් රැකියා මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බැවින් එම කෝමාරිකා වගාවට ආශීර්වාද කළ යුතු බවය.

අක්කර ලක්ෂයක කෝමාරිකා වගාවක්

ඩොලර් මිලියන 370ක් පමණ ආයෝජනයෙන් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විල්පත්තු කෝමාරිකා ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කර ලක්ෂයක් අවශ්‍ය වන බව එහි ආයෝජකයා ලෙස ක්‍රියාකරන චන්දික විරාජ් පවසයි.

කෝමාරිකා වගාව සඳහා ගොවිබිම් හෙළිපෙහෙළි කර ඇති ආකාරය

ඒ සඳහා අවශ්‍ය කෝමාරිකා පැළ තවානට අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ බලපත්‍ර හිමි ගොවීන් සතු ඉඩම් අක්කර 1500ක් තෝරාගෙන තිබේ.

''මම ගොවියාගේ ඉඩම් ගන්නේ නෑ. 'ඕරා ලංකා හර්බල් ප්‍රයිවට් ලිමිටඩ්' කියලා ආයතනයක් හදලා ගොවීන්ට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කරලා කෝමාරිකා වලින් බෙහෙත් වර්ග පහක් හදන එක තමයි ඉලක්කය," ආයෝජක චන්දික විරාජ් පවසයි.

ඔහු පවසන පරිදි ව්‍යාපෘතිය සඳහා මේවන විට ඉඩම් අක්කර අසූවක් (80) පමණ එළිපෙහෙළි කර ඇත.

කෝමාරිකා වගාව හා විල්පත්තුව අතර සම්බන්ධය

ඉහත කී කෝමාරිකා වගාව හා විල්පත්තුව ජාතික වනෝද්‍යානය අතර සෘජු සම්බන්ධයක් පවතී. ඒ, වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය තුළ බැම්මක් බැඳීමට සැලසුම් කර තිබෙන බැවිනි.

එහෙත් එම සැලැසුමට අවශ්‍ය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා අනුමැතිය ලබා ගෙන නොමැත.

කිසියම් භූමියක හෙක්ටයාරයකට වැඩි වනාන්තරය, වනාන්තර නොවන කාර්යයක් සඳහා යොදාගන්නේ නම් ජාතික පාරිසරික පනතේ 23 (අ) සහ (ආ) වගන්ති අනුව පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් තිබිය යුතුය.

එමෙන්ම ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් පමණ කලාපයක් තුළ (ප්‍රේරක කලාපය තුළ) යම්කිසි ව්‍යාපෘතියක් සිදු කරන්නේ නම්, එම භූමියේ ප්‍රමාණය නොසලකා, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 9 (අ) වගන්තිය යටතේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් පිළියෙළ කොට ඊට අනුමැතිය ලබා ගත යුතුය. එම පරිසර වාර්තාව සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමට දින තිහක (30) කාලයක් ලබා දිය යුතුව තිබේ.

 

පරිසර වාර්තාවක් අවශ්‍යයි - ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර

"ඒ වගේම පනත යටතේ පිහිටුවා තියෙනවා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ උපදේශක සභාව කියල විද්වත් කමිටුවක්. එම විද්වත් කමිටුවේ නිරීක්ෂණ හා අදහස් ඉදිරිපත් කිරීමටත් දින හැටක (60) කාලයක් ලබා දිය යුතුයි. මේ සියලු අදහස් සැලකිල්ලට ගෙන තමයි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි ව්‍යාපෘතිවලට අවසර ලබා දිය යුත්තේ. එහෙම නැතිව සිදුකරන මේ කෝමාරිකා ව්‍යාපෘතිය නීති විරෝධී වැඩක්." පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේය.

ගොවීන් 18 දෙනෙකුට 'නඩු පැවරුවා'

කෝමාරිකා වගාව සඳහා දැනට සිදුකර තිබෙන්නේ විල්පත්තුවේ ප්‍රේරක කලාපයෙන් පිට භූමිය විශාල ලෙස එළිපෙහෙළි කිරීමය. එබැවින් එම ඉඩම්වල හිමිකාරිත්වය දරණ ගොවීන් දහඅට (18) දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ නිලධාරිනී හෂිනි සරත්චන්ද්‍ර බීබීසී සිංහල සේවයට කියා සිටියාය. ඊට අදාළ නඩුව මාර්තු 10 වැනිදා තඹුත්තේගම අධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතව තිබේ.

"මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ගන්නේ නැතිව. මහවැලි 'එච්' කලාපයට අයිති ඉඩම් සහ වන සංරක්ෂණයට අයිති ඉඩම් මෙතන තියෙනවා. ඒවා බලපත්‍ර යටතේ ගොවියන් හේන් කරපු ඉඩම්,'' යනුවෙන් හෂිනි සරත්චන්ද්‍ර පවසන්නීය.

පරිසර හිතකාමීන් නිහඬ ඇයි ? විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඈතින් පිහිටි 'කල්ලාරු' රක්ෂිතයේ වන විනාශය ගැන සමාජ මාධ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල විය. එහෙත් වර්තමානයේ විල්පත්තුවේ ප්‍රේරක කලාපය තුළ හා ඊට යාබදව සිදු කෙරෙන විනාශය ගැන කලින් අවස්ථාවේ මෙන් විරෝධයක් දැන් පෙනෙන්නට නැත. ඒ පිළිබඳව අදහස් දැක්වූ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ උපදේශකවරියක වන ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර මෙසේ සඳහන් කළාය.

"මිනිස් ක්‍රියාකාරකම් නිසා විල්පත්තුවට සිදුවන හානිය වළක්වා ගන්න - එහි ප්‍රේරක කලාපය ඉතා වැදගත් වෙනවා. ප්‍රේරක කලාපයෙන් පිටත වුනත් එකවර විශාල ප්‍රදේශයක් එලිපෙහෙළි කරනවානම්, ඒ කලාපයේ සංවේදීතාවය වැඩි නිසා පරිසර පද්ධතියේ වෙනස්වීමට හේතුවෙන ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි පරිසර බලපෑම් වාර්තාවක් කලින් පිළියෙළ කිරීම අවශ්‍ය කරන්නේ."

වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඉරේෂා හරිශ්චන්ද්‍ර ඒ අභියෝගය විස්තර කරන ලද්දේ මෙපරිද්දෙනි.

"කෝමාරිකා කියන්නේ ඉතා අඩු උසක් සහිත, පොළව මට්ටමේ වැඩෙන ශාකයක්. එවැනි වගාවන් සඳහා භූමිය සම්පුර්ණයෙන් නිරාවරණය කෙරෙන අතර, පස පෙරලීමක් ද සිදු කෙරෙනවා. එවිට එම භූමියේ කලින් සිටි ජීවීන්ට සෘජු බලපෑමක් එල්ල වෙනවා. එමෙන්ම දේශගුණ විපර්යාසයන්හි බලපෑමට ලක්වන, වනාන්තර හායනය නිසා ජීවත්වීමට අපහසු තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙවන් අවිධිමත් ක්‍රියා සිදු නොවිය යුතුයි."

මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා ඒ අවට පරිසරය තුළ සිය පර්යේෂණ කටයුතු සිදුකළ, 'ලයිකන' පිලිබඳ විශේෂඥවරියක වන ආචාර්ය ගෝතමී වීරකෝන් බීබීසී සිංහල සේවයට පැවසුවේ "මෙවැනි සංවේදී පරිසර පද්ධතීන් තව තවත් ආරක්ෂා කළ යුතු කාලයක ඉහත කී ආකාරයේ විනාශයන් සිදුකරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි," බවය.

''අපි ජාතික වනෝද්‍යානයේ සීමාව,ප්‍රේරක කලාපයේ සීමාව කියල වැට කඩුලු, මායිම් දැම්මට පරිසරයේ හා සතුන්ගේ ක්‍රියාකාරිත්වය ඒවා තුළින් සීමා කරන්න බෑ. විශේෂයෙන් විල්පත්තුව වගේ සංවේදී පරිසරයකට බලපාන මේ වගේ විනාශයන් සිදු වෙන්න දෙන්න බෑ. ඒක නිසා මේ වගේ නීති විරෝධී වැඩ වලට එරෙහිව අපි හඬ නගන්න ඕන. ඒත් අවාසනාවකට එහෙම තත්වයක් අද දකින්න නෑ," ආචාර්ය ගෝතමී වීරකෝන් පෙන්වා දෙන්නීය.

 

-BBC  සිංහල සේවය-

Advertiesment