Thursday 22nd of April 2021

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් තහනම්


2020-03-09 6633

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට අද ( 09) සිට කටාර් රාජ්‍යට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තවිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ (08) නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය , පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.

වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞදි බලධාරින් කළ දැනුම් දීම්වලට අනුව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි සංස්කෘතික ශාලාව අද (9) සිට නැවත දැනුම් දෙන තුරු සියලු කටයුතු සඳහා වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා සිටී.

සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කරනු ලැබ ඇති එම රටවලට ගුවන් සහ නාවික ගමන්වාර ද මේ වන විට නවතා දමා ඇතැයි ද වෛරසය පැතිරයාම හේතුවෙන් සෞදි අරාබියේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල යළි දැනුම් දෙනතුරු වසා දමා තිබෙන බවද රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වේ.

බොරතෙල් නිෂ්පාදනය කෙරෙන කටීෆ් පළාතේ සියලුම පොදු සහ පෞද්ගලික ආයතන ද තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

Advertiesment