Sunday 20th of September 2020

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ විද්වතුන් පමණක්ද ..?


2020-03-08 1423

පාර්ලිමේන්තුවට තෝරා පත් කරගත යුත්තේ කවර සුදුසුකම් සපුරාලන ජනතා නියෝජිතයන් ද යන ගැටලුව අද ඊයේ පැන නැඟුණක් නොවේ. මේ කරුණ සැමදා විවාදයට ගැනෙන්නේ ජනතා කැමැත්තෙන් පත්වන නියෝජිතයන් සිය මුඛ්‍ය අරමුණ පසෙක ලා වෙනත් අරමුණු කෙරෙහි ආසක්ත වන ප්‍රමාණය අනුවය. මේ කරුණ පිළිබඳ විවාදයේදී උගත් හා බුද්ධිමත් යන වදන් හි තක්සේරුවට හිමි වන්නේ ප්‍රමුඛ වටිනාකමකි.

උගත් කෙසේ වෙතත් ‘බුද්ධිමත්‘ යන්නට දෙන නිර්වචනය පිළිබඳව ද ගැටලුවක් පවතී. උගත් යන්නට සහතික තිබේ. එහෙත් සහතික තිබූ පලියට ජනතා සේවය කළ හැකිද; කුමන හෝ නිර්ණායක යටතට ගත්තද බුද්ධිමත් වූ පමණින්ම ජනතා නියෝජිතයකු වේද? මේ කිසි සහතිකයක් නැතත් මහපොළොවේ සුවඳ හඳුනන, සාමාන්‍ය මිනිසාගේ අවශ්‍යතා හඳුනන ජනතා සේවකයන් අපට සිටියේ නැද්ද? මේ සැමදා අප හමුවේ තිබූ ගැටලු ය.

සැබැවින් ම ජනතා සේවයකයන් හෙවත් ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේදී ඡන්ද දායකයන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සමාජය සවිඥානක විය යුතුව ඇත. මේ ළඟ එන මහ මැතිවරණයේ දී ඡන්ද දායකයන්ගේ වගකීම කවරාකාර වේද යන්න ගැන කළ විමසුමකි.

මෙහිදී ද මේ විද්වතුන් අවධාරණය කරන්නේ උගත්, බුද්ධිමත් සේම ජනමන ගැන හා මේ මහපොළොවේ සුවඳ හඳුනන ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ අවශ්‍යතාව ගැනයි.

"ජනතාවගේ ගෞරවය රැකගන්නට පුළුවන් අය විය යුතුයි"- කේ. ඩී ලාල්කාන්ත, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

උගත් බුද්ධිමත් කියන කාරණාව අංග සම්පුර්ණ පාර්ලිමේන්තු නියෝජිතයකුගේ ලක්ෂණයක් නොවෙයි. අවශ්‍ය වෙන්නේ සැබෑ මහජන නි‍යෝජිතයන්. රටක පාර්ලිමේන්තුවක මහජන නියෝජිතයකුට තියනවා කාර්යභාරයක්. ඒ කාර්යභාරය ඉටුකරන්න සමත් අයයි පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය වෙන්න ඕන. නීති සම්පාදනය කිරීමට සම්බන්ධ වෙන්න ඕන. තම ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කිරීමට හැකිවිය යුතුයි. ඒ යෝජනා තහවුරු කිරිමට මැදිහත් වීමක් කරගත හැකිවිය යුතුයි. තමන් පාර්ලිමේන්තුවේ නැගිට්ටාම පෞරුෂයෙන් කටයුතු කළ හැකි අය විය යුතුයි. එවැනි හැකියාවක් දක්ෂතාවක් මහජනතාව කෙරෙහි ළෙන්ගතුකමක් තිබිය යුතුයි. පොදුජන සැබැ නියෝජිතයන් විය යුතුයි. පාර්ලිමේන්තුවට යැවිය යුතු වන්නේ ආණ්ඩුවේ ඉන්නවා ද; විපක්ෂයේ ඉන්නවා ද කියන තර්කය මත‍ නොවෙයි.

පාර්ලිමේන්තුවේ කාර්යය භාරය ඉටුකිරීමට සමත් ශක්තිමත් මහජන නියෝජිතයන් අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන් හය දෙනා පාර්ලිමේන්තු කාර්යය භාරය කියන කාරණාව මැනවින් ඉටු කළ බව ජනතාව දන්නවා. අපි හැමවෙලාවෙම බැලුවේ යෝජනාවක් එන්නේ ආණ්ඩුවෙන්ද විපක්ෂයෙන් ද කියලා නොවෙයි. ඒ යෝජනාව රටට සමාජයට වැදගත් ද කියන කාරණාවයි. වැදගත් නම් එයට කැමති වුණා; නොවැදගත් නම් එයට එරෙහි ව හිටගත්තා. ඒ බලය පුළුල් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. ජනතා‍ව මෝඩයි කියලා අපි කිවයුතු නැහැ. මතවාදයකින් පමණක් ජනතාව දේශපාලන පරිවර්තනවලට ලක් වෙන්නේ නැහැ.

මතවාද ගෙන එන්නන් ජනතාව අතර සමීප සබඳතාවක් තිබිය යුතුයි. ඒ රූපවාහිනි, රේඩියෝ, සමාජජාලා වෙබ් අඩවි වලින් හදන්න පුළුවන් දෙයක් නොවෙයි. සැබෑ ලෙසම ජනතාව සමඟ ජීවත් වෙන ගැටෙන සංවාදයේ යෙදෙන මිනිසුන් අවශ්‍යයි. ඒවා සම්පුර්ණ වනවිටයි ඒ මතවාද සමග ජනතාව සම්බන්ධ වෙන්නේ. එසේ සිතලා තමන්ට සම්බන්ධ වෙන්න පුළුවන්, තමන්ගේ මතය ඉදිරියට අරගෙන යන්නට පුළුවන්, ශක්තිමත් පෞරුෂයකුත් ඇතිව තමන්ගේ ගෞරවය ජනතාවගේ ගෞරවය රැකගන්නට පුළුවන් අය විය යුතුයි.

"සුදුසු අය යැවිය යුතුයි කියලා මා හිතන්නේ"- මහාචාර්ය චරිත හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යලය

මූලික වශයෙන් පා‍ර්ලිමේන්තුව කියලා කියන්නේ ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාමය කරුණු තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධානම කාර්යයභාරය වශයෙන් හැඳින්වෙන්නේ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක කියලා හඳුන්වන්නේ. නීති, ප්‍රතිපත්ති, මුල්‍ය පාලනය කියන කාරණු එකට ගැටගැහිල‍ා තියෙනවා.

පාර්ලිමේන්තුවට පත්වන අයට යම් විධායක බලයක් හම්බ වෙනවා. ඒ නිසා බොහෝ අය කල්පනා කරන්නේ කැබිනට් මණ්ඩලය හරහා සිදුවන විධායක හැසිරීම හරහා තමයි විවිධ සංවර්ධන කටයුතුවලදි මන්ත්‍රිවරුන්ගේ සම්බන්ධතාවය ගොඩනගන්නේ. නමුත් පළල් අර්ථයෙන් ගත් විට පාර්ලිමේන්තුවට අයත් වන්නේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති නිර්මාණය කිරීම සහ රජයේ මහජන පොදු අරමුදල් පාලනය කිරීම කියන කරුණු තුනයි.

නිදහස ලබපු කාලයේ අපිට වඩා පසුපසින් හිටපු රටවල් ඉදිරියට යෑමේදි අපි ඉතාමත්ම වේගයෙන් පසුපසට ගිහින් තියෙන්නේ මේ ප්‍රධාන හේතුව නිසයි. එනම් ව්‍යවස්ථාදායකය නිසි ප්‍රමිතියකින් වෘත්තිය භාවයක කටයුතු නොකිරීමයි. මේ ව්‍යවස්ථාදායකයේ වපසරිය ප්‍රධාන කාර්යභාරය තේරුම් ගැනීම.

ඡන්දය පාවිච්චි කිරිමේදි එය ඉතා වැදගත්. ජනතාවට තමන් කැමැති කෙනෙක් පාර්ලිමේන්තුට පත් කරන්න; මේ වනවිට පාර්ලිමේන්තු විසුරුවා හැරලා තියෙන්නේ. හිටපු දෙසිය විසිපහම ගේනවාද; අලුත් අය ගේනවාද කියලා අප තිරණය කළ යුතුයි.

මේ මොහොතේ ජනතාව එය තිරණය කළ යුතුයි. මම හිතන්නේ අපේ ර‍ටේ පාර්ලිමේන්තුවේ හොඳ අය ඉන්නවා; වැඩකරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් පුළුල් වශයෙන් මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්ය භාරය වන නීති ප්‍රතිපත්ති හදන, ‍මුදල් පාලනයට සුදුසු, වෘත්තීයමය සුදුසුකම් ඇති තව කණ්ඩායමක් තෝරාගෙන පාර්ලිමේන්තුව නිර්මාණය කිරීම මෙවර සුදුසුයි කියලා මම හිතනවා.

එ් නිසා පාර්ලිමේන්තු කියන එක අපි ‍හැ‍මෝගෙම ජිවිතවලට සම්බන්ධ තීන්දු තිර්ණ ගන්නා ආයතනයක් ලෙස තේරුම් ගන්න. එන ‍ඕනම කෙනකුට ඡන්දය ලබාදීම නොවෙයි. නිශ්චිත ආකාරයට සුදුසු අය යැවිය යුතුයි කියලා මා හිතන්නේ.

"ආචාර ධාර්මික දේශපාලඥයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුතුයි"- රෝහණ හෙට්ටිආරච්චි, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මුල්‍ය කළමනාකරණයයි. පාර්ලිමේන්තුවට යන අයට මේ හැකියාව තියෙන්නට ඕන. එයට උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. නමුත් උගත්කම, බුද්ධිමත්කම පමණ ක් පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවේ උගතුන් දෙසිය විසිපහකින් තේරි පත් වුණා කියලා මේ රටේ මිනිස්සු අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව බුද්ධිමතුන් දෙසිය විසිපහකින් පිරෙව්වා කියලත් එය වෙන්නේ නැහැ. ඒ දෙකම තිබිය යුතුයි. නමුත් ඒ දෙකම තිබුණා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ . දුෂිතයන් නොවන 225ක් ගියා කියලත් ජනතාව අපේක්ෂා කරන දේ වෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවට විශේෂයෙන් ජනතා ප්‍රශ්නවලට සංවේදී මිනිසුන් අවශ්‍ය වෙනවා. රට ගැන, මිනිසුන් ගැන සංවේදිභාවයක් තියෙන මිනිසුන් විය යුතුයි. රට ගැන මිනිසුන් ගැන සංවේදි වෙලා පමණක් වැඩක් නැහැ. ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය දැනුම බුද්ධිය තිබිය යුුතුයි. ඒ දැනුම කළමනාකරණය කරගන්න බුද්ධියක් තියෙන්නට ඕන.

දැනුමයි බුද්ධියයි එක්ක දැක්මක් තිබිය යුතුයි. මේ රට තව ඉදිරියට වසර පනහක් ඉදිරියට යන්නේ කෙසේද කියන කාරණාව තීරණය වන්නේ මේ පාර්ලිමේන්තුවට තෝරා පත් කරන තීන්දු මතයි. අද ගන්නා තීන්දුව අනාගතයේ දරුවන්ට බලපානවා.

රට ගැන හැඟීමක් තියන පුරවැසියන්ගේ ගැටලු ගැන සංවේදිභාවයක් තියන අය විය යුතු සේම එ් ප්‍රශ්න කළමනාරණය කිරීමට දැනුමක් දැක්මක් තියෙන්නට ඕන. ගෝලීය කළමනාකරණය කරන තාක්ෂණයත් අවශ්‍ය වෙන්නට ඕන. මේ සියලු දෙයින්ම සංකලනය වන පිරිසක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නට ඕන කියලා එයින් කියන්නේ නැහැ.

සර්ව සම්පුර්ණ අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්නට පුළුවන් කියලා මා මෙහිදී කියන්නේ නැහැ. නමුත් ඉන්න අයගෙන් වැඩිපිරිසක් එවැනි හැකියාවන්ගෙන් පිරිපුන් අය වුවහොත් මිනිසුන්ගේ අපේක්ෂාවලට අනුගතව රට මෙහෙයවයි. සංවර්ධනය කොතැනකද කේන්ද්‍ර ගතවන්නේ? අපේ ආර්ථිකය, ආහාරපාන, පරිසරය තීන්දු වෙන්නේ මිනිසුන්ගේ වටිනාකම් තින්දු වෙන්නේ මේ රටේ ව්‍යවස්ථාදායක හැසිරීම තුළයි; ඒ සඳහා අපි පත් කරලා යවන කොටස නිසයි. ඒ නිසා ඉරක් ගහලා බුද්ධිමතුන් උගතුන් යැවිවා කියලා මේ දේ වෙන්නේ නැහැ. ඒ දෙක ව‍ගේම පෙර සඳහන් කළ ගුණාංගත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.

ඒ වගේම මිනිසුන් මේ සමාජයට අනුගත වන ආකාරයට හැසිරුණේ නැති නම් බුද්ධිමතුන් ‍හෝ උගතුන් ඒ බුද්ධිමත් උගත් අකාරයට මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම් ගත්තේ නැති නම් ඒ ආකාරයට සමාජය පමණක් නොවෙයි පාර්ලිමේන්තුවත් ප්‍රතිනිර්මාණය වේවි.

"නායකත්වයට උගත්කම, බුද්ධිමත්කම විතරක් තිබිලා මදි"- නීතිඥ මධුර විතානගේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාපති

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ රටේ හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දීලා මිනිස්සු ලොකු විශ්වාසයක් පළ කළා. ඒ පළ කළේ ලොකු බලාපො‍රොත්තුවක් ඇතිව. ඒ බලාපොරොත්තුව පසුගිය වසර පහක කාලයකදී ජනතාව අපේක්ෂා කරපු යහපාලනය ඉටු නොවීම නිසා එම පාලනයෙන් හෙම්බත් වූ මිනිසුන්ට බලාපොරොත්තුවක් වුණා. ගෝඨාභය මහතාගේ නායකත්වය ගැනත් අපේක්ෂාවේ ප්‍රතිඵලයක් ලෙසත් ඒ විශිෂ්ට ජයග්‍රහණය අත්පත් කරගත්තේ. ඒ ජයග්‍රහණය යථාර්ථයක් බවට පත් කර ගැනීමට සහ ඒ කාරණාව ඉෂ්ට කර ගැනීමට නම් ක්‍රමවේදයේ වෙනසක් කිරීමට සිදු වෙනවා. නමුත් හැම පාර්ලිමේන්තු මැතිවරණයකදීම අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට යනවා. ඒ අය ගිය පමණින් ජනතා අපේක්ෂා ඉටු වෙනවාද කියන කාරණාව මතු වෙනවා. උගත් බුද්ධිමත් මිනිසුන් පමණක් නොවෙයි; මේ ක්‍රමවේදයේ යම් වෙනසක් කිරීමට හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මේ රටේ මිනිස්සුන්ට නායකත්වය දෙන්න පුළුවන් දාඩිය සුවඳ හඳුනන සමාජ සංස්කෘතික කාරණා හඳුනාගෙන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් විය යුතුයි. උගත්කම බුද්ධිමත්කම විතරක් මදි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම; එතුමාගේ ඒ පොතේ තියෙන වචන අකුරු යථාර්ථයක් බවට පත් කර ගැනීමට පිරිසක් අවශ්‍යයි. මෙය සාමූහික ප්‍රයත්නයක්. සාමාන්‍යයෙන් සියලු දෙනාම ඔසවා තැබිය හැකි නායකත්වයක් පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය යුතුයි.

වෘත්තීය කුසලතාව ඇති පිරිසක් අපි තෝරා ගත යුතුයි. රැකියා ප්‍රශ්නයට විසඳුමක් කෙසේද අපි සැලසුම් කරන්නෙ. දිගුකාලීන, මධ්‍යකාලීන විසඳුම් මොනවාද? රටේ ඇති ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. එයට අවශ්‍ය සුදුසු විශේෂඥ දැනුම අවශ්‍යයි. මේ රටේ නීති රීති යාවත්කාලීන කළ යුතුයි. වර්තමානයට නොගැළපෙන මේ නීති රීති ඒ වගේ ප්‍රතිපත්ති හදන කොට ඒ සම්බන්ධ දැනුම ඇති අය අවශ්‍යයි.

ඒ වගේම විශේෂයෙන්ම ආපදා කළමනාකරණයට අවශ්‍ය දැනුම ඇති අය අවශ්‍යයි. පසුගිය කෙටි කාලයේ ඇති වුණ ව්‍යසන නිසා නැවත වරක් අපේ රටත් ඉදිරියට යා හැකි ආකාරයට සූදානම් කළ යුතුයි. ජාතික ආරක්ෂාව ජනතා රැකවරණයට ප්‍රමුඛතාව දීමට හැකි ජනතාව සමඟ හිටගන්නා පිරිසක් මෙයට යැවිය යුතුයි. රටේ ජනතාවට මෙහෙම කියන්න පුළුවන්. අපිට පසුගිය කාලයේ ඔබ දුන්න මනාප තුළින් පත් කළ අපේක්ෂකයන් ඔබේ අපේක්ෂා ඉටු කළාද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි.

උගතුන් බුද්ධිමතුන් අවශ්‍යයි කියලා ඇතැමුන් කිව්වත් මේ මහ පොළවේ පයගහලා නැතිනම්; සීතල කාමරවල ඉදලා වැඩ කරනවා නම් ඒ අය ප්‍රායෝගික දේශපාලනයේ නිරත වෙන අය නොවෙයි.

පසුගිය මාර්තු 2 වැනිදා ඉවර වුණ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රිවරුන්ගේ නම අපි අහලවත් නැහැ. පාර්ලිමේන්තු පුස්තකාලය පාවිච්චි කරලා තියෙන්නේ අතිශයින්ම සුළුතරයක් පමණයි. එවැනි අවාසනාවන්ත තැනක තමයි අද ව්‍යවස්ථාදායකය තියෙන්නේ. මෙය අපි වෙනස් කළ යුතුයි.

"සමාජය වෙනස් කරන්න පුළුවන් පිරිසක් අපිට අවශ්‍යයි"- මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කැලණිය විශ්වවිද්‍යාලය

අපේ පාර්ලිමේන්තුවට කෙබදු පුද්ගලයන් තෝරා පත්කර ගත යුතුද කියන කාරණාව අපි සාකච්ඡා කළ යුතු වන්නේ දැන් පවතින පාර්ලිමේන්තුව සම්බන්ධ කතිකා, විවාද උදාහරණයට ගනිමිනුයි. උදාහරණයක් ලෙස මේ වන විට පාර්ලිමේන්තුවට ගන්න අවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් සෑහෙන මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු එක සැසිවාරයකටවත් සම්බන්ධ නොවු අය බවට වාර්තා වෙලා තිබෙනවා. මේ වටපිටාවේ ඉඳගෙන බැලූ විට රටේ තිබුණු විශේෂ විවාද බැඳුම්කර, එයාර්ලංකා, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විවාදවලදී අපි දන්නා ආකාරයට මේවා අර්ථදායි ප්‍රතිඵලදායි යමක් සමාජයට ප්‍රධානය කළාද යන්න සලකා බැලිය යුතුයි. පාර්ලිමේන්තු විවාද ඇතුළු අදහස් මතු වුණාද; මෙතෙක් මතු නොවු කරුණු කාරණා නිරාවරණය වුණාද; මේ සම්බන්ධයෙන් රටේ තිබුණු විශේෂිත වාද විවාද වලදී ආපහු සමාලෝචනයක නිරත වුවහොත් වර්තමානයේ පාර්ලිමේන්තු වාද විවාදවල ගුණාත්මක භාවය අඩු වී තිබෙන බව පැහැදිලි වේ.

ඒ අකාරයෙන් ගත් විට 1977 පසුව ලංකාවේ ඉතා විශාල වශයෙන් දේශපාලනික වශයෙන් පාර්ලිමේන්තු විවාදයේ බිඳ වැටීමක් ඇති වී ඇතැයි කියන කාරණය සමාජයේ කතිකාවක් ගොඩ නැගී තිබේ.පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ඇතැම් සිදුවීම් සමඟ ජනතාව තුළ අප්‍රසාදයක් මතු වුණා. දවස් දෙකක් පමණක් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් කෝටි ගණනක වාහන රැගෙන ඇති බව වාර්තා වේ. ජනතාව මෙවැනි කාරණා සම්බන්ධයෙන් අතිශයින්ම කලකිරී සිටිනවා. පාර්ලිමේන්තු නොපැමිණ එවැනි අය කරන සමාජ කාර්යය භාර්ය කුමක්ද?

උගතුන් බුද්ධිමතුන් තෝරා පත්කර ගැනීමම ප්‍රමාණවත් ද යන්නත් ගැටලුකාරීයි. පසුගිය කාලවල යම් ක්ෂේත්‍රවල ප්‍රාමාණික බුද්ධිමතුන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. ව්‍යවස්ථා සංශෝධනය වැනි කාරණා වලදී අද ලොකු ගැටලු මතුවෙලා තියෙනවා. මහා ප්‍රාඥයෝ භාවිත කරලා හදපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අසාර්ථක වීමක් පවතිනවා. මිනිසුන්ට ආදරය කරන සමාජ වගකීම් දරාගත්ත යම් පසුබිමක් තියන සමාජ ක්‍රියාකාරීන් දේශපාලන ක්‍රියාකාරීන් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතුයි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් වැඩ සටහනක් ඇති කළ යුතුයි.

නිදහසින් අවුරුදු 70ක් ගත වීත් මේ රටේ දුප්පතුන් 50% ක් වැඩි වී තිබෙනවා. ආදායම් බෙදී යෑමේ විසමතාව බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. ලංකාවේ පොහොසත් මිනිසුන්ගේ ධනයෙන් සියයට 20ක්; සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් අතර බෙදී ගොස් තිබෙනවා. දුප්පතුන් 20%කට එනම්, 4.5කට සියයට 5% ක් වත් බෙදිලා නැහැ. අපචාර වැඩිවෙලා තියෙනවා. වැඩිහිටියෝ, තරුණ තරුණියෝ ළමුන්, කාන්තාවන් අනාරක්ෂිතයි. මේවට විසදුම් සෙවිය යුතුයි. හොඳ ප්‍රතිඵල අත්පත් කරගත හැකි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි කියලා මා අදහස් කරන්නේ.

මේ සමාජ වගකීම දරන්නට හැකි යම් අදහස් ඇති කෙනෙක් හෝ නිර්මාණශීලීව යමක් දායාද කරන්න පුළුවන් පිරිසක් අපට අවශ්‍යයයි. අපේ රටේ ගැටලුවල ස්වභාවය සංකීර්ණයි. ගම නියෝජනය කරන්න ඕන ගමට සැලැස්මක් ඉදිරිපත් කළ හැකි පිරිසක්. නිදහසින් පසුව ලංකාවේ වඩා වැදගත් තරුණයෝ ලක්ෂ ගණනක් අපි මරා දානවා. තරුණ කැරලි, ජනවාර්ගික ගැටලු භීෂණ ලෙසින් මේවා හඳුන්වනවා. නමුත් අපි කරලා තියෙන්නේ රටේ ප්‍රතිපත්ති, තීරණ, රටේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවිය නොහැකි නිසා සමාජය ඉදිරියේ නොයෙක් කැරලි ගහනවා. ජනවාර්ගික කැරලි, තරුණ කැරලි විදිහට මේවා ඉදිරියට එනවා. මම හිතන්නේ මේවා දෙස නිර්මාණශීලීව හිතන්නට පුළුවන් පිරිසක් තෝරා පත් කළ යුතුයි කියලා මා හිතන්නේ. අලුතින් හිතන්න, සැලැස්මක් ඉදිරිපත් කරන්න පුළුවන්, සමාජය වෙනස් කරන්න පුළුවන් පිරිසක් අපිට අවශ්‍යයි කියලා මම හිතන්නේ.

"වචනවලට අවංක ‍දේශපාලකයන් පත් කළ යුතුයි"- කරු පරණවිතාන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි

පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති සම්පාදනය කරන ආයතනය. ඇමැති මණ්ඩලය පත්වෙන්නේ ඒ වගේම මන්ත්‍රීවරු තෝරා පත්වෙන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය යන දෙකටම පත් කළ හැකි අයයි. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ පරිහාණිය නිසා රටේ මතයක් ඇතිවෙලා තියෙනවා හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න කියලා. නමුත් හොඳ මිනිසුන් කියලා තෝරන්නේ කොහොමද? සමහර අය කියනවා උගතුන් පාර්ලිමේන්තු යවන්න කියලා.

උගතකු වු පමණින් හොඳ මිනිහෙක් වෙන්නේ නැහැ. අපි දන්නවා මහ බැංකුව කොල්ල කෑවේ ආණ්ඩු දෙකේම හොඳ උගත්තු. ඒ අයට අපි කියන්නේ සුදු කරපටි අපරාදකාරයෝ කියලා. දැන් අපිට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෝ. ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයකට අවශ්‍ය වෙනවා ප්‍රජාතන්ත්‍රවාදියෝ.

ප්‍රජාතන්ත්‍රවාදියෝ නැතුව ‍ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්නට බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මතවාදයක්, පාලන ක්‍රමයක්, ජීවන ක්‍රමයක්. මුලින්ම බලන්නට ඕන ආචාර ධාර්මිකව හැසිරෙන තමන් කියන වචනවලට අවංක ‍දේශපාලඥයෙක්; කාර්යශූර කෙනෙක්; වැඩ කරන කෙනෙක්; වචනවලට අවංක කෙනෙක්. එහෙම නැතිව ඡන්දෙ දීලා පත්කරල ඊට පහුවෙනිදා ඉදලා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන; පාර්ලිමේන්තුව ‍යටවෙන්න ඕන කියලා සාපකරලා හරියන්නේ නැහැ. ඒ නිසා ආචාර ධාර්මික දේශපාලඥයන් තෝරා පත්කර යවන්නට ඕන.

 

 

 

-සිළුමිණ-

Advertiesment